මෙරු නගින්නේ නැති නාගලකන්ද
08 August 2026 | ආචාර්ය සරත් අමුණුගම
මෙරු නගින්නේ නැති නාගලකන්ද
08 August 2026 | ආචාර්ය සරත් අමුණුගම
ජනසන්නිවේදන විෂය ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූ ප්‍රකට කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, සිනමා විචාරකයෙක් මතු නොව ජාත්‍යන්තරයේ පිළිගත් විද්වතකු වූ මහාචාර්ය විමල් දිසානායක පසුගිය 07 වැනිදා සිය දිවිසැරිය නිමා කළේය. කුරුණෑගල නිකවැව, නාගලකන්ද ග්‍රාමයේ උපත ලද හේ 86 වැනි වියේදී අවසන් හුස්ම හෙළුවේ ඇමරිකාවේදීය. පේරාදෙණිය සරසවියෙන් බිහිවූ ඔහු සිංහල මහාචාර්වරයකු මෙන්ම ඉංග්‍රීසි මහාචාර්යවරයකු ලෙසින් කටයුතු කළ විද්වතෙකි. පහතින් පළ කෙරෙන්නේ විමල් දිසානායකයන් පාසල් සමයේ සිට ඇසුරු කළ, පේරාදෙණිය සරසවියේ එකම සමයක අධ්‍යාපනය ලද ආචාර්ය සරත් අමුණුගමගේ කෙටි මතකාවර්ජනයකි.
ඒ පේරාදෙණිය සාහිත්‍යයේ උච්චතම අවධියයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ සහ ගුණදාස අමරසේකර විසූ පේරාදෙණි සමයයි. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍ය නිසා පේරාදෙණි සරසවිය පිළිබඳ රටේම වූයේ සුවිශේෂ ප්‍රසාදයකි. එනිසා සිංහල උපාධියක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනාගේ පළමු තේරීම වූයේ පේරාදෙණිය සරසවියයි. මම ද එකල පේරාදෙණියේ ශිෂ්‍යයෙක්මි. එක්දහස් නවසිය පනස්අට වසරේ පේරාදෙණිය සරසවියට පැමිණි විමල් දිසානායක මා හඳුනාගන්නේ ඊට පෙර මාගේ පාසල් මිතුරකු ලෙසිනි. ඔහු හා මා පාසල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විදුහලෙනි. ඔහුට වඩා මා වසරකින් ජ්‍යෙෂ්ඨය.
ඔහු පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සමයේ සිටම කැපී පෙනෙන චරිතයකි. එකල සිංහල විශේෂවේදී උපාධිය හදාරන විද්‍යාර්ථීන් අනුබද්ධ විෂයයන් ලෙස තෝරාගන්නේ සංස්කෘත හෝ පාලිය. එහෙත් විමල් දිසානායක තම සිංහල විශේෂවේදී උපාධියේ අනු විෂයයන් ලෙස තෝරාගන්නේ ඉංග්‍රීසි සහ සංස්කෘත භාෂාවන්ය. එය එකල ජනප්‍රිය තේරීමක් නොවිණි. භාෂා තුනක් තෝරාගෙන ඉන් උපාධිය ලැබීමට නම් විශේෂ දැනුමක් අවැසිය. විමල් ඒ දුර්ලභ හැකියාවෙන් පිරිපුන් අයෙකි. සරසවි බිමට ආ පළමු දවසේ සිට විමල් කෙරෙහි ගුරුවරු තුළ තිබුණේ විශාල ගෞරවයකි. ඔහු තෝරාගත් විෂයයන්, ඔහු ලියූ දේ නිසා සරසවියේ අනෙකුත් ශිෂ්‍යයන් අතර විමල්ට තිබුණේ විශාල පිළිගැනීමකි. සැබැවින්ම විමල් පේරාදෙණිය සංස්කෘතියට විශිෂ්ට සේවයක් කළ විද්වතෙකි. සරසවි ජීවිතයේදී සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර වැනි වියතුන්ගේ සමීප ඇසුර ඔහුගේ ශාස්ත්‍රීය දිවියේ අත්තිවාරමය.
සරසවි අධ්‍යාපනයෙන් පසු ඔහු ලේක්හවුස් ආයතනයේ වාර්තාකරුවෙක් ලෙස කලක් සේවය කළේය. පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සහකාර කථිකාචාර්වරයෙක් ලෙසින් කටයුතු කළ හේ 1964 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ එවක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයට පත්වූවේය.
සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, අමරසේකර වැනි වියතුන් පේරාදෙණි බිමෙන් නික්මුණු නවසිය හැටපහ, හැටහය සමයෙන් පසු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නැතිනම් කැලණිය විශ්වවිද්‍යාලය සිංහල විචාරය, සාහිත්‍ය කලාව පිළිබඳ ප්‍රබෝධයක් තිබූ අතර එය රට තුළ ප්‍රසිද්ධියට පත්විය. විමල් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙක් ලෙසින් කටයුතු කරමින් සිටින එසමයේ ඔහු තවත් සුවිශේෂ ඓතිහාසික කටයුත්තකට මූලික විය. එනම් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශය ආරම්භ කිරීමයි. ඔහු එහි මුල් ගුරුවරයා සේම එහි අංශ ප්‍රධානියා ද විය. ජනසන්නිවේදන විෂයය මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා විමල්ය. අද කැලණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග විචාර, පෙරදිග භාෂා විශේෂයෙන් ජනසන්නිවේදන ආචාර්යවරු බොහෝ දෙනෙක් විමල් දිසානායකගේ ශිෂ්‍යයෝය. නැතිනම් ඔහුගේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යයෝය. එනිසා අද ද විමල් දිසානායක සම්ප්‍රදායය කැලණිය විශ්වවිද්‍යාලයේ ජීවමානව පවතින්නකි.
එකල සිංහල විෂය හැදෑරූ බොහෝ දෙනා ආචාර්ය උපාධිය සඳහා තෝරාගත්තේ ලන්ඩන් සරසවියයි. නමුත් විමල් දිසානායක තෝරාගන්නේ වෙනස් මගකි. හේ තෝරාගන්නේ කේම්බ්‍රිජ් සරසවියයි. එකල ප්‍රචලිතව පැවැති භාවිත විචාරයේ "Practical Criticism" මූලස්ථානය කේම්බ්‍රිජ් සරසවියයි. එහි සිටි ආචාර්ය එෆ්. ආර්. ලීවිස් එහි පුරෝගාමියා විය. මහාචාර්ය ඒ. එෆ්. සී. ලුඩොවයික්ගේ බලපෑම මත එකල පේරාදෙණිය සරසවියේ බලවත්ව පැවැති සාහිත්‍ය මත, විචාරය වූයේ මහාචාර්ය ලීවිස්ගේ මතය, විචාරය. එය පේරාදෙණි සිංහල අංශයට සරච්චන්ද්‍ර මාර්ගයෙන් සංක්‍රමණය විය. සරච්චන්ද්‍ර ලියූ ‘සාහිත්‍ය විද්‍යාව’ සහ ‘කල්පනා ලෝකය’ නමැති කෘති ද්වයෙන් ඔහු උත්සාහ කළේ සංස්කෘත සාහිත්‍ය විචාරය සහ ලීවිස්ගේ ඉංග්‍රීසි සාහිත්‍ය විචාරය අතර සම අසමතා සන්සන්දනය කිරීමටය. තම ආචාර්ය උපාධියට විමල් කේම්බ්‍රිජ් සරසවිය තෝරාගන්නේ ඒ බලපෑම් මතය. එනිසා විමල් කේම්බ්‍රිජ් සරසවියේ සාහිත්‍ය මත සමග කටයුතු කිරීම සුවිශේෂ කරුණකි. එහෙත් ඉන් මෙරටට ලැබිය යුතු දේ නොලැබිණි. ඊට හේතුව ඉන්පසු ඔහු විප්‍රවාසී වීමයි.
ඔහු එංගලන්තයේ වාසය කරන සමයේ ඔහු මැදිහත්වූ තවත් සුවිශේෂ කටයුත්තක් මට මේ මොහොතේ සිහිපත් වේ. එංගලන්තයේ බීබීසී ගුවන්විදුලියේ සතිපතා විකාශනය වූ පැයක වැටසටහනක් විය. එය ‘සංදේශය’ නමින් හැඳින්විණි. එය මෙහෙයවූයේ මෙරට ගුවන්විදුලියෙන් ගිය පිරිස්ය. එච්. එම්. ගුණසේකර, මඩවල එස්. රත්නායක, සිරිල් රාජපක්ෂ, සුනන්ද මහේන්ද්‍ර එකී පිරිසය. එකල විමල් දිසානායක සමග ගුණදාස අමරසේකර සිටියේද එංගලන්තයේය. එදා බීබීසී සංදේශයට ගුණදාස අමරසේකර, විමල් දිසානායක වැන්නන් සම්බන්ධවී කළ වැඩසටහන්වලට මෙරට මහත් ප්‍රසාදයක් තිබිණි. මෙරට පැමිණි පසු විමල් බොහෝ ගුවන්විදුලි වැඩසටහන්වලට සම්බන්ධ විය.
ඔහු චතුර කථිකයෙකි. ඕනෑම සාහිත්‍ය සභාවක ආකර්ෂණීය ලෙසින් කතා කිරීමට දක්ෂයෙකි. විමල්ට අනුව සිංහල මහා සම්ප්‍රදායයයේ, සාහිත්‍ය සමාජයේ වීරයන් පස් දෙනෙකි. ආනන්ද කුමාරස්වාමි, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගුණදාස අමරසේකර එකී වීරයෝ වෙති. ඉන් විමල්ගේ චින්තනය අපට හඳුනාගත හැකිය. සැබැවින්ම ඔවුහු තම විෂයයෙහි විශිෂ්ටයෝ වෙති. අද සෑම ක්ෂේත්‍රයකම සිටින මෙරු මෙන් ආවෝ ගියෝ නොවෙති. ඔහු අවසාන කාලයේ ලියූ විචාරයන්ට බොහෝ විට පාදක වූයේ ගුණදාස අමරසේකරගේ නිර්මාණයන්ය. ඒවා ගුණදාසගේ සාහිත්‍යය පිළිබඳ වූ ඇගැයීම් විය.
ඔහු මගේ සමීප මිතුරෙකි. මා ඉහත පැවැසූ පරිදි එය පාසල් සමයේ සිට පැමිණෙන්නකි. වරක් අපි දෙදෙනා ‘නිසදැස’ නමැති සඟරාව සංස්කරණය කළෙමු. සිරි ගුණසිංහගේ ‘මස් ලේ නැති ඇට’ කාව්‍ය සංග්‍රහය නිසා ඒ සමය නිසදැස් කවි පිළිබඳ උනන්දුවක් තිබූ සමයකි. වරක් විමල් දිසානායක සිරි ගුණසිංහගේ අනූවැනි ජන්ම දිනය වෙනුවෙන් ‘දි අයිලන්ඩ්’ පුවත්පතට ‘සිරි ගුණසිංහ සාකුන්තලය ඉගැන්වූ හැටි’ මැයෙන් ඉතා විශිෂ්ට ලිපියක් සම්පාදනය කළේය. පේරාදෙණිය යුගයේ සිටි මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර සහ සිරි ගුණසිංහ වැනි සාහිත්‍යවේදීන් හා සමතැන් ලා සැලිය හැකි ප්‍රාඥයෙක් ලෙසින් මම ඔහු හඳුනාගනිමි.
විමල් බොහෝ සුහද මෘදු චරිතයකි. සරලව ජීවත්වූ අයෙකි. තමන් ප්‍රාඥයෙක් බව හඬගා කීමට කිසිවිටෙක් උත්සාහ නොගත්තෙකි. තමන්ට පැවරූ කාර්යය ඉතා ඉහළින් ඉටුකිරීමට උත්සාහ කළා විනා ඒ වෙනුවෙන් කිසිදු ප්‍රචාරයක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවූවෙකි.
මේ කෙටි සටහනේ සිනමාව පිළිබඳ ඔහුගේ දැනුම පිළිබඳ නොකියැවුණොත් එය අඩුවක්ය. ඔහු මෙරට මෙන්ම ආසියානු සිනමාව පිළිබඳ ලියූ කෘති ඔහුගේ සිනමා දැනුමට හොඳම නිදසුන්ය. ඉන් එකක් වූ 'Indian Popular Cinema' කෘතිය ඉන්දියානු සිනමාව පිළිබඳ හදාරන, සොයන ආධුනිකයන්ට, පර් යේෂකයන්ට අත්වැලකි. එමෙන්ම ඔහු ලාංකේය සිනමාව පිළිබඳව කළ විග්‍රහයන් අමතක කළ නොහැක. ලෙස්ටර්ගේ සිනමා භාවිතය, ධර්මසේන පතිරාජගේ සිනමාව පිළිබඳ කළ විග්‍රහයන් මෙවන් කෙටි ලිපියකට සංක්‍ෂිප්ත කළ නොහැක. වරක් මා හවායි ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා සහභාගිවූ අවස්ථාවේ විමල් මා හට හමුවිය. ඔහු හවායි ජාත්‍යන්තර සිනමා උළෙලේ ආරම්භක සාමාජිකයෙකි. 1995 වසර දක්වා ඔහු එහි කටයුතු කළේය. ඔහු ඇමරිකාවේ හොනලුලුහි හවායි සරසවියේ ඊස්ට්-වෙස්ට් අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය. එපමණක් ඔහු හවායි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා විය.
විමල් හොඳ කවියෙකි. මුල්කාලයේ ඔහුගේ කවිය නිසඳැස් ආරයෙන් බිහිවිය. නමුත් පසුකාලීන කවියේ රිද්මය, සිව්පද කවිය පිළිබඳ අවධානයක් යොමුවිණි. සංකල්ප රූප ඔහුගේ කවියේ සුවිශේෂ ලක්ෂණයකි.
සිංහල සාහිත්‍යය ගැන කතා කිරීමේදී සැමවිටම සිහිපත් කරනුයේ ෂට් භාෂා පරමේෂ්වර ගැනය. බුදුරදුන් සිංහල කතා කළේ නැත. මිහිඳු හිමියන් සිංහල කතා කළේ නැත. අපේ මව් බස සුරැකිය යුතුය. එය නිවැරැදිව භාවිත කළ යුතුය. එයි තර්කයක් නැත. නමුත් එය අපේ දේවල් පිට කිරීමට බාධාවක් කර නොගත යුතුය. විමල් දිසානායක මෙන් විවෘත විය යුතුයි. ඔහු අපේ අනන්‍යතාව රැකගෙන ජාත්‍යන්තරයට ගිය විද්වතෙකි. වැටකොටු බැඳගෙන අනන්‍යතා රැකගත නොහැක. පේරාදෙණිය සාහිත්‍යයෙන් සහ විමල් දිසානායක අපට පෙන්වා දෙන සත්‍යය එයයි.

