brand logo
logo
රැල්ලක් සේ යන හිර ගෙදර කැරැල්ල මොකක්ද?

රැල්ලක් සේ යන හිර ගෙදර කැරැල්ල මොකක්ද?

08 August 2026

මීගමුව බන්ධනාගාරයේ වූ ගැටුමට පසු, ගිය සති අන්තයේ මහර බන්ධනාගාරයේ ගැටුමක් ඇති විය. ඉක්බිතිව පෙරේදා රාත්‍රියේ මැගසින්, කුරුවිට හා පල්ලන්සේන බන්ධනාගාරවලටද රැල්ලක් සේ පැතිර ගියේය. මීට ඉහත මෑත ඉතිහාසයේ බන්ධනාගාර කෝලාහලයක් ඇති වූයේ දෙදහස් විස්සේ මහර බන්ධනාගාරයේදීය. ඒත් එදා සාර්ථකව බන්ධනාගාර කැරැල්ල මැඬ පැවැත්වූ හෙයින් වෙනත් බන්ධනාගාරවලට පැතිර ගියේ නැත. එදා මහර බන්ධනාගාර අධිකාරි හැටියට රාජකාරි කළේ ද ජගත් වීරසිංහය බන්ධනාගාර කොමසාරිස්වරයකු ලෙස වීශ්‍රාම ගිය ඔහු, රැල්ලක් සේ පැතිරෙන බන්ධනාගාර ගැටුම් පාලනය ගැන අදහස් දැක්වුයේ ​ෙමසේය.


මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් පසු මේ වන විට මහර, මැගසින් හා පල්ලන්සේන කුරුවිට බන්ධනාගාරවල දිගින් දිගටම ගැටුම් ඇතිවුණා. ඇමැති හර්ෂණ නානායක්කාර කියන විදියට මෙය බන්ධනාගාර කටයුතු අඩපණ කරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්ද?

බන්ධනාගාරවල දැන් තියෙන තත්ත්වයත් එක්ක මොකක්ද වෙන්නේ කියලා නිශ්චිතවම මට කියන්න බැහැ. ඇමැතිතුමා කියනවනම්, ඒ ගැන බුද්ධි අංශ වාර්තා තියෙනවනම් එය නොසලකා හරින්න අපිට පුළුවන්කමක් නැහැ. දැන් තියෙන අධික තදබදයත් නිසා මිනිසුන්ට මූලික පහසුකම්වල අඩුපාඩුවත් එක්ක මෙහෙම ප්‍රශ්න ඇති වෙනවද නැත්නම් මත්ද්‍රව්‍ය හිඟකම නිසා ප්‍රශ්න ඇති වෙනවද කියන්න හරියටම දන්නේ නැහැ.


මෙය කුමන්ත්‍රණයක් නම් රැඳවූවන්ට කුමන්ත්‍රණ සැලසුම් කරන්න බන්ධනාගාර ඇතුළේ අවස්ථාවක් තියෙනවද?

බන්ධනාගාරය ඇතුළෙ ඉන්නේ අපරාධ චර්යා තියෙන අය. මේ අයගේ කොතැනක හරි පාතාල ක්‍රියාකාරකම් සමග සම්බන්ධතා තියෙන්න පුළුවන්. විසිට් එකකදී හරි අදහස් හුවමාරු කරගන්න එයාලට පුළුවන්. මොනතරම් ජැමර් සවිකළත් විසිට් එකකට ඇවිල්ලා හරි අදහස් හුවමාරු කරගන්න පුළුවන්. එළියේ ඉන්න අයයි ඇතුළේ ඉන්න අයයි අතර සන්නිවේදනයේ දුරස් බවක් හදන්න කොච්චර උත්සාහ කළත් එය සියයට සියයක් සාර්ථක නැහැ.


කොහොමත් බන්ධනාගාරයක ගැටුමක් ඇති වුණාම වෙනත් බන්ධනාගාරයක ඉන්න රැඳවූවන් එය ප්‍රවෘත්තියක් විදියට හෝ දැනගන්නව නේද?

ඔව්. බන්ධනාගාර රැඳවූවන්ට රූපවාහිනි, පත්තර බලන්න පහසුකම් දීලයි තියෙන්නේ. එතකොට වෙනත් බන්ධනාගාරයක ගැටුමක් ඇති වුණොත් එය අනිත් බන්ධනාගාරවල රැඳවූවන් දැනගන්නවා. එය නවත්වලා නිදහස සීමා කරන්න බැහැ. බන්ධනාගාරයේ ඉන්න හැමෝම ප්‍රචණ්ඩකාරී නැහැ. බහුතරයක් ඉන්නේ ප්‍රචණ්ඩත්වයට අකැමැති මිනිස්සු. ඒ නිසා විද්‍යාත්මකව හිතලයි විසඳුමක් හොයාගන්න වෙන්නේ.

බන්ධනාගාර ගැටුම් රැල්ලක් විදියට පැතිරීමේ අවදානමක් තියෙනව නේද?

බන්ධනාගාරවල ඉන්නේ සාක්ෂරතාව බොහෝ අඩු අය. මේ අයට එක මොහොතක එක වචනයකින් එක සිද්ධියකින් ඕනෑම බන්ධනාගාරයක ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේවායේ සියයට අසූවක්ම ඉන්නේ ඉස්කෝලේ හයේ පන්තියේදි විතර නැවතුණු අය. සාක්ෂරතාව අඩු අයත් එක්ක වැඩ කරනකොට ඒ මිනිස්සුන්ව තේරුම් ගන්න අපිට පුළුවන්. සමහරවිට ප්‍රචණ්ඩත්වය රැල්ලක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ මිනිස්සු පිට කරන්නේ පීඩනය වෙන්න පුළුවන්. නැත්නම් කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම බොහොම අවධානයෙන් ඉන්න ඕන කාලයකයි අපි දැන් ඉන්නේ. එහෙත් ගැහුවා අපිත් ගහන්න ඕන කියන මානසිකත්වය මිනිස්සුන්ට ඇතිවෙන්න පුළුවන්. ඒ තත්ත්වය ඇතිවෙන්න නොදී බන්ධනාගාරය රැකගන්න එකයි අපි හැමෝගෙම වගකීම. බන්ධනාගාරයේ ඉන්න හතළිස් එක්දහසම නිදහස් සමාජයට ගියොත් එතැනදී වෙන භීෂණය අපිට දරාගන්න බැහැ. ඒ බලපෑම සමාජයට දරුණු විදිහට බලපාන්න පුළුවන්.


බන්ධනාගාර රැඳවූවන්ට බන්ධනාගාරයේදී පහර දෙන බවට චෝදනා තියෙනවා. එහෙම කළාම තව තවත් ගැටුම් ඇතිවීමේ අවදානමක් තියෙනව නේද?

නිලධාරීන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ රැඳවූවන් එක්ක සුහදව ඉන්නයි. මගේ සේවා කාලයේදී නම් අහේතුකව කිසිම රැඳවූවෙකුට පහර දීලා නැහැ. හැබැයි නිලධාරීන්ට යම් අවස්ථාවකදී අවම බලය පාවිච්චි කරන්න අයිතිය තියෙනවා. ගැටුමක් වෙලාවකදී, පුතේ මෙහෙට එන්න.... කියලා කතා කළාට එයාල එන්නේ නැහැ. එතකොට අවම බලය පාවිච්චි කරන්න වෙනවා. එහෙම කරලා නීත්‍යනුකූල අත්අඩංගුවේ තියාගන්න වෙනවා. එවැනි අවස්ථාවලට නිලධාරීන් විදියට සහ දෙපාර්තමේන්තුවක් විදියට අපි මුහුණ දෙන්න ඕන. ඒත් මම කිසිම අවස්ථාවක හිතන්නෙ නැහැ අපේ නිලධාරීන් අමානුෂික විදියට පහර දෙනවා කියලා.


බන්ධනාගාර නිලධාරියකුට කෙතරම් දුරට අවම බලය පාවිච්චි කරන්න පුළුවන්ද?

මනුස්සයකුට වෙඩි තැබීම දක්වා අවම බලය පාවිච්චි කරන්න බන්ධනාගාර නිලධාරීන්ට අවසර තියෙනවා. හැබැයි බන්ධනාගාර නිලධාරීන් සාමාන්‍ය අවස්ථාවකදී බන්ධනාගාරය ඇතුළට ආයුධ අරගෙන යන්නේ නැහැ. කුලුනු හතරෙ විතරයි ආයුධ තියෙන්නේ. බැටන් එකක් විතරයි අතේ තියෙන්නේ. ඒක තමයි ලොකුම ආයුධය. හැබැයි බන්ධනාගාරයෙන් පැන යන්න කුමන්ත්‍රණය කරනවනම් බන්ධනාගාර දොරටු කඩලා විවෘත කරන්න කුමන්ත්‍රණය කරනවනම් ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙනවනම් අවවාද පිළිගන්නෙත් නැත්නම් කඳුළු ගෑස්වලටත් පාලනය වෙන්නේ නැත්නම් රබර් උණ්ඩවලින් වෙඩි තියලත් අහසට වෙඩි තියලත් පාලනය වෙන්නේ නැත්නම් අපේ නිලධාරීන්ට නොනවත්වා වුණත් රැඳවූවන් මර්දනය කරන්න වෙඩි තියන්න අයිතිය තියෙනවා. ඒ මොහොතේ ඉන්න ප්‍රධාන නිලධාරියාට අවශ්‍ය බලය දීලා තියෙනවා.


බන්ධනාගාර ගැටුම් නවත්තගන්න මොනවද කරන්න ඕන?

මම හිතන්නේ රජය දැනටමත් යම් දේවල් ටිකක් කරනවා. අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණය තමයි බන්ධනාගාරයේ ඉන්න හතළිස් එක් දහසකින් තිස්එක් දහසක්ම ඉන්නේ රිමාන්ඩ් ගතකළ අය බව. ඒ කියන්නේ තවමත් සැකපිට ඉන්න අය. අච්චු කළ අය ඉන්නෙ දස දහසක් පමණයි. ඒ අයගේ ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. ගැටලුව තියෙන්නේ රිමාන්ඩ් අයගෙයි. මෙතනිනුත් වැඩි පිරිස මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි. 54 වගන්තිය ගහපු අයයි වැඩිපුරම ඉන්නේ. මේ අයගේ රස පරීක්ෂක වාර්තා ඒම ඉක්මන් වුණොත් ඇප දීමත් ඉක්මන් වෙනවා. ගැටලුව තියෙන්නේ නිලධාරීන්ගේ හිඟකම. රස පරීක්ෂක වාර්තාවක් එන්න මාස හත අටක් ගත වෙනවනම් අහිංසක මනුස්සයෙක් හිටියොත් නිරපරාදේ මාස හත අටක් මෙතැන රැඳෙනවා. තමන් වරදක් කරලා නැත්නම් ඉක්මනටම සමාජයට යන්න පුළුවන් කියන බලාපොරොත්තුවක් අපි මිනිස්සුන්ට දෙන්න ඕන. එතකොට මිනිස්සු ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්න දඟලන්නේ නැහැ.


බන්ධනාගාර තදබදය අවම කරන්න මොකක්ද කරන්න පුළුවන්?

බන්ධනාගාරයේ වැඩිපුරම ඉන්නේ මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ අයයි. මත්ද්‍රව්‍ය භාවිත කරන අය. මේ අයව බන්ධනාගාරයෙන් එළියට ගන්න ඕන. මේ අයට වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න ඕන. මොකද ඒ මිනිස්සු ලෙඩ්ඩු. මානසිකත්වයේ දුර්වලකම නිසයි මෙතැනට ඇවිල්ල ඉන්නේ. හොඳ පෞරුෂත්වයක් තියෙන මිනිස්සු කුඩු බොන්නේ නෑ. මත්ද්‍රව්‍යවලින් ඈත්වෙන ක්‍රමයකට මේ අයව අරගෙන යන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් මම හිතනවා ඉතාම පහසුවෙන් බන්ධනාගාර තදබදයට විසඳුමක් හම්බවෙයි කියලා. පාසල් කාලයේදීම දරුවන්ට විනය, ඉවසීම සහ සංවේදීකම කියන කරුණු තුන ධාරණය කරන්න ඕනෑ. එහෙම කරන්න පුළුවන් නම් හොඳ පෞරුෂත්වයක් තියෙන දරුවෙක් හදන්න පුළුවන්. හොඳ පෞරුෂත්වයක් තිබුණොත් තමයි කුඩු දිහා නොබලා ඉන්න පුළුවන් පුද්ගලයෙක් ගොඩනැගෙන්නේ. ඒ වගේමයි ක්‍රීඩාව සහ සෞන්දර්ය පුරුදු කරන්න ඕනෑ. හීන පෞරුෂයක් තියෙන දරුවෝ බිහි වුණාම ඒ අය සමාජයේ ඕනෑම දෙයක් ඉක්මනට වැලඳ ගන්නවා. පාතාල කල්ලියකට වුණත් ගොදුරු කරගන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි.

එයට අමතරව මගේ අත්දැකීමෙන් මම කියන්නේ ප්‍රජා විශෝධක පනත ශක්තිමත් කරන්න ඕනේ. ඒ පනත ගෙනාවෙම බන්ධනාගාර තදබදයට විසඳුමක් විදියට. සුළු වැරැදි කරපු අය ප්‍රජා විශෝධනයට දාන්න පුළුවන්. නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කාර්යාලයක පැය කිහිපයක් වැඩ කරන්න දෙන්න පුළුවන්. මේ පනත තවත් ශක්තිමත් කළොත් ලොකු පිරිසක් අපිට එළියට ගන්න පුළුවන්.


දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාරවල ඉන්න රැඳවූවන්ගේ දඩය අවසන් කරන්න ක්‍රමයක් බන්ධනාගාරයේ ක්‍රියාත්මක වෙනවද?

බන්ධනාගාර සිරකරුවන්ගෙන් බන්ධනාගාරයට ලොකු බරක් නැහැ. බන්ධනාගාරයට විශාල ආදායමක් උපයන්නේ ඒ අයයි. ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් බන්ධනාගාරවල ක්‍රියාත්මක වෙනවා. ඒ හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාර සිරකරුවන්ගෙන්. පොඩි දඩයකට ආවත් රජයට ලොකු බරක් නැහැ. පල්ලේකැලේ සිර කඳවුර ගත්තත් අවුරුද්දකට කෝටි ගාණක ලාභයක් තියෙනවා. මෙතැන තියෙන්නේ රිමාන්ඩ් අයගේ ප්‍රශ්නයයි.පොඩි පොඩි දඩ මුදල් තියෙන්නේ මාස කිහිපයකට ඇතුළට ආව අයටයි. රාජ්‍ය නොවන සංවිධානවල අය දඩ ගෙවන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ අය ඉල්ලන්නේ කුඩු නැති නඩු. එහෙම අය අඩුයි. කුඩු බොන අයගේ දඩය ගෙවලා එළියට ගන්න ගොඩක් අය කැමැති නැහැ. කුඩු බොන කෙනෙක් එළියට දාන්න හොඳ නැහැ කියල සමාජයේ මතයක් තියෙනවා. හැබැයි වැඩි හරියක්ම දඩ තියෙන්නේ කුඩු බොන අයට.


සිරකරුවන්ට බන්ධනාගාරයේදී මනුෂ්‍යයන් විදියට සලකන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා නේද?

බන්ධනාගාර නිලධාරියකුගේ ප්‍රධාන කර්තව්‍යයන් තුනයි. රඳවා තැබීම, රැකබලා ගැනීම සහ සමාජයට පරිවර්තනය කිරීම. ඒ තුන ආරක්ෂා කරන්නයි අපේ නිලධාරීන් කැපවෙන්නේ. රඳවා තැබීමේදී ඉඩකඩ ලොකු බාධාවක් වෙලා තියෙනවා. නිලධාරීන් වගේම සිරකරුවන් යම් යම් ගැටලුවලට මුහුණ දෙනවා. උදාහරණයට ගත්තොත් ගාල්ල බන්ධනාගාරයට දාන්න පුළුවන් දෙසිය හැත්තෑවයි. අද දෙදහස් තුන්සීයක් විතර ඉන්නවා. එහෙම වෙනකොට යම් යම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. මොකද නිලධාරීන්ගෙ පැත්තෙන් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ රජය පැත්තෙන් කරන්න දෙයක් නැහැ. මොකද හොඳට ඉඩ පහසුකම් ඇතිව රඳවා තියන්න පුළුවන් කිසිම බන්ධනාගාරයක් ලංකාවේ නැහැ. එතකොට අපිට කෑම, බෙහෙත් වගේ දේවල් පමණක් දෙන්න පුළුවන්. ඒත් ධාරිතාව ඉක්මවා ගියාම පහසුකම් සීමිත වෙනවා.


රැඳවූවන්ට ඒ අයගේ ප්‍රශ්න කතා කරන්න ක්‍රමයක් තියෙනවද?

ඔව් අපේ සුභසාධක කොට්ඨාසයක් තියෙනවා. එතැන සිවිල් නිලධාරින් ඉන්නේ. සිරකරුවන්ට ප්‍රශ්නයක් තියෙනව නම් ඕනම වෙලාවක මේ නිලධාරීන්ට කතා කරන්න පුළුවන්. නඩු ප්‍රශ්නයක් තියෙනවා නම් මැදිහත් වෙනවා. ගෙදර ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අපි හිතමු දවස් තුන හතරකින් ගෙදර විස්තරයක් දන්නේ නැත්නම් සුභසාධක කොට්ඨාසය හරහා අපි දුරකථන ඇමතුමක් ගන්න රැඳවියට අවස්ථාව දෙනවා. බන්ධනාගාරය පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය බන්ධනාගාර නිලධාරීන් කරනවා.

මහර බන්ධනාගාර ගැටුමට රැඳවූවන්ගේ පහසුකම් සීමිත කිරීම හේතුවුණා කියනවා. ඔවුන්ට එළියෙන් දෙන්න පුළුවන් භාණ්ඩ සීමිත කළා කියනවා. ඇත්තද මේ කියන කතාව.

සාමාන්‍යයෙන් අච්චු කළ කෙනකුට එළියෙන් කෑම දෙන්න බැහැ. ඒ අයට මාසයට එක් වතාවක් ඥාතීන් බලන්න පුළුවන්. ඒ අයට අරගෙන එන්න පුළුවන් සනීපාරක්ෂක ද්‍රව්‍ය විතරයි. රිමාන්ඩ් අයව සතියට දවස් හයක් බලන්න පුළුවන්. ඒ අයටත් එදාට අවශ්‍ය කෑම ටික විතරයි දෙන්න පුළුවන්. මුළු වාට්ටුවටම කෑම ගන්න දෙන්න බැහැ. හැබැයි නිලධාරීන් මානුෂීයව බලලා ලිහිල් කරනවා ඇති. හැබැයි එහෙම දුන්නා නම් ඒක වැරදියි. එයයි බන්ධනාගාර නීතිය.

බන්ධා පොලිස් නිලධාරීන් සිරකරුවන්ට අමානුෂික විදියට සලකනවා කියන්නේ ඇත්තද?

බන්ධා පොලිස් නිලධාරීන් කිව්වම සිරකරුවන්ට පොඩි වෛරයක් එන එක සාධාරණයි. සිරකරුවන් වගේම නිලධාරීන් පරීක්ෂා කිරීමයි මේ අයගේ රාජකාරිය. ඒ නිසා නිලධාරීන් අතරත් සිරකරුවන් අතරත් අමනාපකම් තියෙන්න පුළුවන්. අපිව පරීක්ෂා කරන්න එන කෙනෙක් සමග අපේ ප්‍රසන්න හැඟීමක් නැහැනෙ. එතැනයි ගැටලුව. බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළුවීම පුළුවන් තරම් අවම කිරීමයි බන්ධා පොලිස් නිලධාරීන්ගේ වගකීම. හැබැයි සිරකරුවන්ගේ ප්‍රාර්ථනාව පුළුවන් තරම් නීති විරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරයට ගෙන ඒමයි. එතකොට තියෙන එකම බාධාව බන්ධා පොලිස් නිලධාරිනුයි. ඒ නිසා නිලධාරීන් එක්ක ගැටුම් ඇතිකර ගැනීම ස්වාභාවිකයි.

එළියෙ වෙන අපරාධ ගොඩක් සැලසුම් කරන්නේ බන්ධනාගාරය ඇතුළෙ ඉඳන් කියලා කියනවා. ඒ වගේ දැන් ඇතුළෙ වෙන ගැටුම් එළියෙ ඉඳන් සැලසුම් කරන්නත් අවස්ථාවක් තියෙනවද?

ඒක තමයි ලොකුම ගැටලුව. පාතාල ක්‍රියාකාරීන් එළියේ ඉන්නකොට ඒ අයගේ ගෝලයෝ ඇතුළේ ඉන්නවා. කොච්චර ජෑමර් තිබ්බත් මේ දෙගොල්ලොන්ගේ සම්බන්ධතා තියෙන්න පුළුවන්. සියයට සියයක්ම සාර්ථකයි කියන්න බැහැ. ඒ නිසා යම් පොඩි ප්‍රවණතාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙමමයි කියලා මම හිතන්නේ නැහැ.

පාතාල කල්ලි සාමාජිකයන් වගේම සාමාන්‍ය රැඳවූවන් එකට රඳවා තැබීමෙන් ගැටුම් වර්ධනය වෙන්න පුළුවන් නේද?

සාමාන්‍යයෙන් බන්ධනාගාරයක පාතාල ක්‍රියාකාරීන් වගේම සාමාන්‍ය රැඳවූවන් ඉන්නවා. දැන් තියෙන තදබදයත් එක්ක මේ අය වෙන් කරලා තියන්න අමාරුයි. හැබැයි බන්ධනාගාරයේ එක් අංශයක් තියෙනවා කිසිම කෙනෙක්ට මුහු වෙන්න දෙන්නේ නැහැ. එතන බහුතරයක් ඉන්නේ ප්‍රබල පාතාල ක්‍රියාකාරින්. හැම බන්ධනාගාරයකම මෙහෙම අංශයක් තියෙනවා. ඒකෙ ඉන්න අයට සාමාන්‍ය රැඳවූවන් එක්ක සම්බන්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි ඉතින් ගෝල බාලයෝ අනිත් මිනිස්සුත් එක්ක ඉන්නවා. ඒකයි තියෙන ප්‍රශ්නය.


බන්ධනාගාරවල හිතේ හැටියට මත්ද්‍රව්‍ය තියෙනවා කියලා සමහරු කියනවා. එහෙම තියෙද්දි මත්ද්‍රව්‍ය චෝදනා තියන අය බන්ධනාගාර ගත කිරීමෙන් ඵලක් තියෙනවද?

එළියේදී මත්ද්‍රව්‍ය භාවිත කරන අයමයි ඇතුළෙ ඉන්නේ. මේ අය බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගේන්න නොයෙක් ක්‍රම උපයෝගී කරගන්නවා. ලොකු බන්ධනාගාර ගොඩක් හදලා තියෙන්නේ ප්‍රධාන මාර්ගයට මායිම්ව. එතකොට රබර් බෝලයක හරි දාලා බන්ධනාගාර තාප්පයට ඉහළින් විසි කරන අවස්ථා තියෙනව. මේව පාලනය කරන්න නිලධාරීන් ලොකු කට්ටක් කනවා. රැඳවූවන් පරීක්ෂා කරද්දිත් එහෙමයි.

බන්ධනාගාර තාප්පයට ඉහළින් මත්ද්‍රව්‍ය පාර්සල් විසි කරනවා කියන එක බැලූ බැල්මට සරල කාරණයක්. මේකට විසඳුමක් විදියට අඩුම තරමේ දැල්වැටක්වත් ගහන්න බැරිද?

දැනටමත් දැල් වැටක් ගහලා තියෙනවා. හැබැයි අපිට අහසට යනකල් දැල්වැට ගහන්න බැහැනේ. නියමිත ප්‍රමාණයට වැට ගැහුවත් ඊටත් උඩින් මේ අය දානවා. රබර් බෝලයක් වගේ නම් ගොඩක් උඩට දාන්න පුළුවන්. මේ අය කරන්නේ රබර් බෝලයක් පළලා සූක්ෂමව ඇතුළට මත්ද්‍රව්‍ය දාන එකයි.

රැඳවූවන් භෞතිකව පරීක්ෂා කිරීමේදී නිලධාරීන් වගේම රැඳවූවන් අසීරුතාවට පත්වෙනවා. බන්ධනාගාරවල ස්කෑන් උපකරණ තිබියදී ඇයි නිලධාරින් ලවා පරීක්ෂා කරවන්නේ..

ස්කෑන් උපකරණ හැම බන්ධනාගාරයකම නැහැ. ප්‍රධාන බන්ධනාගාරවල පමණයි තියෙන්නේ. රැඳවූවන් ප්‍රමාණය එක්කත් කාලයත් බලද්දි මේ හැමෝම ස්කෑන් උපකරණයට දාන්න බැහැ. ඒ නිසා සැකයි කියල හිතන අය විතරයි ස්කෑන් එකට දාන්නෙ. බන්ධනාගාරයක ස්කෑන් උපකරණ තිබුණත් ප්‍රායෝගිකව කිරීමේදී ගැටලු ගොඩක් එනව. අපේ රටේ බන්ධනාගාරවල තියෙන ඉඩකඩ ප්‍රශ්නයත් එක්ක ස්කෑන් උපකරණ සවි කරලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. අලුතින් බන්ධනාගාර නිර්මාණය කරලා අලුත් ස්කෑන් උපකරණ සවිකරන්නයි වෙන්නෙ. එතකොට අධික පිරිවැයක් දරන්න වෙනවා.

අනීෂා මානගේ

 

More News..