brand logo
logo
බස් රියැදුරන්ට සීට් බෙල්ට්

බස් රියැදුරන්ට සීට් බෙල්ට්

30 June 2025

ආණ්ඩුව (ජාතික ප්‍රවාහන කොමිසම) බස් රියැදුරන්ටත් ආරක්ෂක බඳපටි (සීට් බෙල්ට්) පැලඳීම අනිවාර්ය කරන්නට සූදානම් වන බව සැළයි. මෙය පැහැදිලිවම රියැදුරන්ගේ මෙන්ම බස් මගීන්ගේ ද යහපතට හේතු වනු නිසැකය. සැහැල්ලු වාහනවල රියැදුරන්ට නම් සීට් බෙල්ට් පැලඳීම අත්‍යවශ්‍ය බවට නීති පනවා දැන් අවුරුදු විස්සකටත් වැඩිය. මුලදී ඒ නීතිය කඩ කළ රියැදුරන්ට දඩයක් ගෙවා ගැලවී යන්නට නොහැකි වුණේ, උසාවි යන්නට ද සිදුවූ නිසාය. එසේ වී තිබියදී මගීන් පනහක් හැටක් නංවාගෙන යන බස් රියැදුරන්ට එබඳු නීතියක් මෙතෙක් නොතිබීම ලොකු අඩුපාඩුවකි. එහෙයින් දැන්වත් එවැනි නීතියක් පැනවීමට තීරණය කිරීම ප්‍රශංසා කටයුතුය.



එසේ වුවද සියලුදෙනා මෙහිදී ඒ නීතිය සතුටින් පිළිගනීදැයි කියන්නට බැරිය. අප එසේ කියන්නේ පසුගිය දිනෙක ටෙලිවිෂන් නාළිකාවක් සිය ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මේ පිළිබඳ බස් රියැදුරන් පිරිසකගේ මත විමසුමක් කරනු අපට දකින්නට ලැබුණු නිසාය. ඊට එකතු වූ රියැදුරන්ගෙන් අඩක් පමණම අලුත් නීතියට විරෝධය පානු ඒ වැඩසටහන නැරඹූවන්ට දැකගත හැකි විය. ඒ සියලු දෙනාම පෞද්ගලික බස් රියැදුරන්ය. ආණ්ඩුව පනවන නීති පිළිපැදීමට පෞද්ගලික බස් සූදානම් නැති බව මාස කිහිපයකට කලින්ද රට දැකගත්තේය. ඒ පොලිසිය බස්රථවල සවි කර ඇති විච්චූරණ සැරසිලි ඉවත් කිරීමට සැරසුණු අවස්ථාවේය. අන්තිමේදී පොලිසියට පරාජය බාරගෙන පසුබැසීමට සිද්ධ විය.


අලුත් නීතියට ද පෞද්ගලික බස් රියැදුරන් විරෝධය පෑවොත් කුමකින් කුමක් වේදැයි කියන්නට තවමත් ඉක්මන් වැඩිය. ඊයේ පෙරේදා දවසක ⁣වෙනින් කවුරුවත් නොව රටේ ජනාධිපතිවරයාම ප්‍රසිද්ධ සභාවකදී කියා සිටියේ ර⁣ටට ඇත්තේ එක ආණ්ඩුවක් පමණක් බවය. එසේ කියන්නට හේතු වන්නට ඇත්තේ ද රටේ තන් තන්හි එක එක්කෙනාගේ එක එක ආණ්ඩු පවතින නිසාය. පෞද්ගලික බස් මාෆියාව ද රටේ පවතින එබඳු පෞද්ගලික ආණ්ඩුවකි. උහු හැමවිටම රටේ නීතියට අභියෝග කරන, පොලිසිය සමග ගැටෙන කණ්ඩායමකි. රියැදුරාගේ මතු නොව මගීන්ගේ ද යහපතට හේතු වන සීට් බෙල්ට් නීතිය, ඒ පෞද්ගලික ආණ්ඩුවේ කැලෑ නීතිය සමග ගැටේද, එසේනම් ඒ කෙසේද යන්න ඉදිරි දිනවලදී දැකගත හැකිවනු ඇත.


වංගු හා කඳු සහිත මාර්ගවල වාහන පැදවීමේදී සීට් බෙල්ට් පැලඳීම පහසු හා ආරක්ෂාකාරී බව ප්‍රවාහන විශේෂඥයන්ගේ මතයයි. එපමණක් නොවේ. දීර්ඝ හා දුෂ්කර ගමන් මාර්ගවලදී රියැදුරාට අතිරේකව මගීන් ද සීට් බෙල්ට් පැලඳ සිටිය යුතු යැයි දියුණු රටවල නීතියේ දක්වා තිබේ. අපේ රටේ ද අසීමිතව සිදුවන මාර්ග අනතුරුවල හැටියට සීට් බෙල්ට් පැලඳීමේ අවශ්‍යතාවය දවසින් දවසම වැඩි වෙන අතර අලුතින් නීතියක් ගෙන එන්නේද ඒ නිසාමය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කෙරෙද්දී ද එබඳු නීතියක් පැනවෙනු ඇතැයි අපේක්ෂා කළද එදා එය එසේ සිදුවූයේ නැත.


සිය බස්රථවල සීට් බෙල්ට් නැතැයි ද, ඒ නිසා සීට් බෙල්ට් පැලඳීමේ හැකියාවක් නැතැයි ද අප ඉහත කී ටෙලිවිෂන් වැඩසටහනේදී එක් රියැදුරෙක් කියා සිටිනු අප අසාගෙනය. ඉන් කියවෙන්නේ අද අපේ රටේ මාර්ගවල ධාවනය වන බස්රථවලින් වැඩි හරියක් යල් පිනූ වාහන බවයි. නවීන වාහනයක නම් සීට් බෙල්ට් නොතිබෙන්නට විදිහක් නැති බැවිනි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ කාරණයද සැලකිල්ලට ගන්නට සිදුවෙනවාට සැක නැත. මන්ද යත් පොදු ප්‍රවාහනයට යොදාගත යුත්තේ ලදරම් හැටියට ජනවහරේ කියවෙන කබල් බස්රථ නොවන හෙයිනි. අබලි වාහන මාර්ග අනතුරුවලට මූලික හේතුවකි.


රියැදුරෙක් සීට් බෙල්ට් නොපැලඳ වාහනයක් පැදවීම, වි⁣ශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවකදී එසේ සිදුවීම, නොවිය යුත්තේ ඔවුන්ගේ අතපසුවීම් කෙළවර වන්නේ අනුන්ගේ ජීවිතවලින් වන බැවිනි. ඒ නිසා සීට් බෙල්ට් පැලඳීම අනිවාර්ය කිරීමේ නීතිය ප්‍රශ්න කිරීමට ඉඩක් නොතිබිය යුතුය. හැබෑවටම ප්‍රශ්නය විය යුත්තේ සීට් බෙල්ට් පලඳින්නට සිදුවීම නොව ඒ මෙතෙක් නීතියේ නොතිබීමය.


මෙහි ප්‍රස්තුතය වූ⁣යේ බස්රථ රියැදුරන්ට සීට් බෙල්ට් පැලඳීම අනිවාර්ය කිරීම වුවත් ඒ නීතිය තවත් පිරිසක් විෂයයෙහි ද යෙදිය යුතුව තිබේ. ඒ බර වාහන රියැදුරන්ය. එදා මෙන් නොව මෙදා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා බර වාහනවලින් පාරවල් පිරී පවතින බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.


බස්රථ රියැදුරන්ට සීට් බෙල්ට් පැලඳීම අනිවාර්ය කිරීම පමණක් සෑහෙන්නේ නැත. රථවාහන පොලිසිය මගින් ඒ නිතර⁣ දෙවේලේ පරීක්ෂා කිරීම් සිදුකිරීම ද අවශ්‍යමය. පොලිසිය උදාසීන වන විට මාර්ග නීති කැඩීමට රියැදුරන් පසුබට නොවන බැවිනි.

 

More News..