brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම දිනති

03 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ ජපානයේ නිෂින් සිට...

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක් හිමිකරදෙමින් බංගලිදේශය සමගින් පැවැති පන්දුවාර 20 තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ් සමගින් ශ්‍රී ලංකාවේ එම පදක්කම දිනාදීම උදෙසා තුන් ඉරියව් දක්ෂතා දක්වමින් තරිඳු රත්නායක තරගයේ වීරයා බවට පත්වුණි.


නිෂින් හී පිහිටි කෝගි ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 166ක අභියෝගාත්මක ඉලක්කයක් බංගලිදේශය වෙත ලබාදුන් අතර පිළිතුරු ලෙස බංගලිදේශයට ලබාගතහැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 109ක් පමණි. 


ඉන්දියාව සමගින් අන්ත පරාජයකට පත්වූ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට මෙම තරගයකට දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාර කැඳවා තිබුණු නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමග සසඳන විට මෙය බංගලිදේශ ජාතික කණ්ඩායම හෙවත් ඔවුන්ගේ පූර්ණ ශක්තිය සහ ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළක් අතර තරගයක් බඳු විය.


 ශ්‍රී ලංකාවේ, ඉනිම ඇරැඹී පළමු කඩුලු 4 ලකුණු 21කට බිඳ වැටුණු නමුත් ශ්‍රී ලංකා ඉනිම සටන්කාමී ලකුණු එකතුවක් වෙත ගෙන යෑමට තරිඳු රත්නායක හා නායක සහන් ආරච්චිගේ සමත් වූහ.


 පන්දුව හොඳින් දඟකැවෙන සහ පන්දුවේ පැමිණීම පිළිබඳ නිශ්චය කිරීම අපහසු වූ තණතිල්ලේ ඔහු පන්දු 32කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 65ක් රැස්කරද්දී, නායක සහන් ආරච්චිගේ ස්ථානෝචිත ලෙසින් පිත්ත හසුරුවමින් ලකුණු 33ක් ලැබීය.


මුල් කඩුලු 4 නොසිතූ ඉක්මනින් බිඳවැටෙද්දී පස්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ සහ අශේන් බණ්ඩාර අතර 5වැනි කඩුල්ලේ ලකුණු 33ක සබඳතාව ඉනිම ස්ථාවර වීමට පදනම දැමීය. අනතුරුව පිටියට පිවිසි තරිඳු සහ සහන් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46කදී වාර්තා වූ ලකුණු 93ක සබඳතාව ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් බලාපොරොත්තු නැංවූ සබඳතාව බවට පත්විය. 


මෙහිදී බංගලිදේශ කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතාද ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු එකතුවක් සැදීමට අනියමින් උපකාර වුණි. 


බංගලිදේශ පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරයම නිලකුණු කඩුල්ලක් සටහන් කරමින් සයිෆ් හසන් දවාගැනීමට නුවන් තුෂාර සමත් වූ අතර දෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ තරිඳු රත්නායක අනෙක් පසින් කඩුලු දඩයම ඇරැඹීය. ඒ් අනුව බංගලිදේශ පිතිකරු ලැයිස්තුවේ පළමු තිදෙනාම ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යද්දී ලකුණු පුවරුව ලකුණු 4කට කඩුලු 3ක් ලෙසින් දිස්විය. එම ඇදවැටීමෙන් නැගීසිටීමට සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන්ද බංගලිදේශය වෙත කිසිදු අවස්ථාවක් හිමි නොවූ අතර නුවන් තුෂාර සිය පන්දුවාර 4 ලකුණු 18කට සීමාකරමින් කඩුලු 2ක් ද තරිඳු රත්නායක ලකුණු 18ට කඩුලු 2ක්ද දවාගනින්දී විජයකාන්ත් වියස්කාන්ත් මෙන්ම වනුජ සහන්ද කඩුලු 2 බැගින් දවාගත්හ. මෙහිදී වනුජ සිය පන්දුවාර 4 ලකුණු 17කට සීමා කිරීම කැපී පෙනුණි.


 අද පස්වරුවේ ජපානයේ වේලාවෙන් 1.30ට රන් පදක්කම සඳහා වන ඉන්දු-පකිස්තාන තරගය නැරැඹීමට එම දෙරටේ ප්‍රේක්ෂකයන් කල් ඇතිවම කෝගි ස්පොර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර එහිදී එම දෙරටේම ප්‍රේක්ෂකයන් පාහේ ශ්‍රී ලංකා පිළට ජය පැතීම කැපී පෙනුණි. සවස පැවැත්වෙන එම අවසන් මහා තරගයේ සියලු ආසන විකිණී හමාර විය.

 

More News..