brand logo
logo
 අංක තහඩු ලක්ෂයෙන් අරන් ගියේ 20යි

අංක තහඩු ලක්ෂයෙන් අරන් ගියේ 20යි

13 July 2026


අංක තහඩු මුද්‍රණය නතර කිරීමට පෙර මුද්‍රණය කර තිබූ අංක තහඩු ලක්ෂයක පමණ තොගය අතරින් හිමිකරුවන් රැගෙන ගොස් ඇත්තේ අංක තහඩු විස්සක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියා සිටියි.


පසුගිය 2023 හා 2024 වර්ෂවලදී මුද්‍රණය කර ඇති අංක තහඩු ලක්ෂයක පමණ තොගයක් හිමිකරුවන් භාර නොගැනීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවල ගොඩ ගැසී තිබිණි.


එම කාල‌ෙය් වාහන ආනයනය නොවූවද පැවරුම්වලදී පළාත් මාරු වූ වාහනවල අංක තහඩු මෙලෙස වැඩි වශයෙන් ගොඩ ගැසී තිබූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.


මෙලෙස ගොඩ ගැසී තිබූ අංක තහඩු ජුනි 30 වැනිදාට පෙර ලබාගන්නා ලෙසත් නොවන්නේ නම් ඒවා අබලි යකඩ සඳහා යොමුකරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් මාස දෙකකට පෙරාතුවම දැනුම්දී තිබුණත් එම කාලය තුළ හිමිකරුවන් රැගෙන ගොස් ඇත්තේ අංක තහඩු 20 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවද එම නිලධාරියා කීවේය.


මේ වන විට අංක තහඩු මුද්‍රණ කටයුතු නව සමාගමක් මගින් ආරම්භ කර ඇති පසුබිමක හිමිකරුවන් රැගෙන නොගිය සියලුම අංක තහඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීවේය.


 

More News..