ලංවිම අහෝසිය 27වැනිදාට පෙර
09 February 2026 | අශිකා ජයවීර
ලංවිම අහෝසිය 27වැනිදාට පෙර
09 February 2026 | අශිකා ජයවීර
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අනුව ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය මෙම මස 20 වැනිදාත් 27 වැනිදාත් අතර දිනයක ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝශන හැඩිගල්ලගේ පවසයි.
ජාතික විදුලි බල ප්‍රතිපත්තියද සකසා අවසන් වූ පසු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලබාගෙන විදුලිබල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ගැසට් කිරීම සිදුකරන බවත් එදින සිට විදුලිබල මණ්ඩලය අහෝසි වන බවත් ඔහු පැවැසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලය බෙදා සකස් කළ සමාගම් 06 ම මේ වන විට ලියාපදිංචි කර අවසන් බැවින් එම සමාගම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලද පත්කර අවසන් කර තිබේ.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසිදෙදහසකට ආසන්න සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් එනම් සේවකයන් දහ හතර දහස් අටසීයක් බෙදාහැරීමේ සමාගම සඳැහා යොමු කර තිබෙන බව ඔහු පැවැසුවේය.
ජනන කටයුතු සිදුකිරීමේ සමාගම සඳහා සේවකයන් දෙදාස් හයසීයක් ද, සම්ප්‍රේෂණ කටයුතු සිදුවන සමාගම සඳහා සේවකයන් දෙදහසක් ද, ජාතික පද්ධති ක්‍රියාකරුවන් ලෙස කටයුතු කරන සමාගම සඳහා සේවකයන් දෙසිය දහසයක් ද බෙදා වෙන් කර ඇති බව හෙතෙම කියා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී අහෝසි වුණ ද එම කාර්යාල පරිශ්‍රයන් කිසිවක් වෙනත් ස්ථානයකට ගෙන නොයන බවත් නව සමාගම් සහ එම සමාගම්වලට අදාළ කටයුතු ද සිදුවන්නේ පැරැණි ගොඩනැගිලිවලම බව ද ඔහු පැවැසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර 5ක් යටතේ සිදුවන අතර ඉන් අදියර 4ක් මේ වන විටත් සාර්ථකව අවසන් කර තිබෙන අතර මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම, දිගු කාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර එලෙස අවසන් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් පැවැසුවේය.
මෙහි අවසන් පියවර වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම තවදුරටත් සිදුවන අතර එය පෙබරවාරි මස තෙවන සතිය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ පුද්ගලයන්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදුකිරීමට නියමිතව ඇත. විදුලිබල සේවකයන් 2,173 දෙනකු ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබූ අතර ඉන් 20දෙනකු එම ඉල්ලා අස්වීම යළි කැඳවීමට තීරණය කර ඇති බව හෙතෙම පැවැසුවේය. ඒ අනුව සේවකයන් 2,153 දෙනකු ස්වේඡාවෙන් විශ්‍රාමයාම සඳහා අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ට හිමිවන වන්දි මුදල් ලබාදීමට නියමිතව තිබේ.

