මුලතිව් රෝහලට ඉන්දීය ආධාර යටතේ නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක්
16 September 2026
මුලතිව් රෝහලට ඉන්දීය ආධාර යටතේ නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක්
16 September 2026
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ දැනට පවතින රෝගී තදබදය අවම කිරීම සහ සෞඛ්‍ය පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකෙරෙන නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ සිදු විය.
ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600 කි.
නව වාට්ටු සංකීර්ණය විදුලි සෝපාන, වායුසමීකරණ පද්ධති, හදිසි විදුලි ජනන යන්ත්‍ර, ගිනි නිවන පද්ධති සහ නළ මගින් වෛද්‍ය වායු සැපයීමේ පද්ධති (Piped medical gas supply system) වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් රැසකින් සමන්විත වේ.
බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අකල් මරණ අවම කිරීම, වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයින් පරීක්ෂාවට ලක් කිරීමේ වේගය වැඩි කිරීම සහ රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීම සීමා කිරීම මෙහි මූලික අරමුණ බව සඳහන් වේ.
සමරු ඵලකය නිරාවරණය කර නව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතාබහක නිරත විය.

