brand logo
logo
රට ඉස්සන්ගෙන් දේශීය ඉස්සන්ට තර්ජනයක්

රට ඉස්සන්ගෙන් දේශීය ඉස්සන්ට තර්ජනයක්

10 November 2026


ඉන්දියාව සහ එක්වදෝරය වැනි රටවලින් ඉස්සන් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස ප්‍රතිඅපනයනය කිරීමට අවසර ලබාදීම හේතුවෙන් දේශීය ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ජල ජීවී වගා සංවර්ධන සංගමය චෝදනා කරයි.


මෙම ක්‍රියාවලියට අදාළ අනුමැතිය ලබාදීම පිටුපස රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණක් පවතින්නේද යන්න පිළිබඳව සැකයක් මතුවන බවද එම සංගමය පවසයි.


විදේශ රටවලින් ඉස්සන් මෙරටට ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම හේතුවෙන් දේශීය ඉස්සන් ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවතදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයෝ මේ බව අවධාරණය කළහ.


1980 දශකයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙරට ඉස්සන් කර්මාන්තය මේ වන විට මන්නාරම, මඩකලපුව සහ කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වී තිබේ. හෙක්ටයාර් 18,000ක පමණ භූමි ප්‍රමාණයක සිදුකරන ඉස්සන් වගාවෙන් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 11,200ක පමණ ප්‍රමාණයක් විදේශ වෙළෙඳපොළට අපනයනය කරන බවද ව්‍යාපාරිකයෝ පවසති.


මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඉස්සන් ගොවිපළ අනුකමිටුවේ ලේකම් සනත් රොද්‍රිගු මෙසේ පැවසීය.


"වත්මන් රජය බලයට පත්කර ගැනීම සඳහා ඉස්සන් ව්‍යාපාරිකයන් විශාල වෙහෙසක් ගත්තා. පසුගිය රජයන් සමයේදීත් එක්තරා පිරිසක් විදේශ රටවලින් ඉස්සන් ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම සිදු කළා. එදා එම ක්‍රියාවට එරෙහිව වත්මන් රජයේ ප්‍රබලයන් විපක්ෂයේ සිටියදී විශාල හඬක් නැඟුවා. නමුත් අද එම ක්‍රියාවටම අනුමැතිය ලබාදීම කනගාටුවට කරුණක්. ඇතැම් විට රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් නිලධාරීන් මෙම කටයුත්තට අවසර ලබාදී තිබෙනවාද යන්න පිළිබඳව අපට සැකයක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා."


මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය ප්‍රසන්න සඳරුවන් කියා සිටියේ ජපානය ඇතුළු විදේශ රටවල ශ්‍රී ලංකාවේ ඉස්සන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි. එම ඉල්ලුමට මුවාවී විදේශ රටවලින් ඉස්සන් ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම වෙනුවට දේශීය ඉස්සන් කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ අවධානය විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.


මෙම මාධ්‍ය හමුවට ජල ජීවී වගා සංවර්ධන සංගමයේ සභාපති මොහාන් ප්‍රනාන්දු සහ ලේකම් එස්. දයාපරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

More News..