ඒඩ්ස් පැටව් ගස්සන ගෲප් සෙක්ස්
29 October 2022
ඒඩ්ස් පැටව් ගස්සන ගෲප් සෙක්ස්
29 October 2022
ඒඩ්ස් ආසාදනයන්ට ප්‍රධානම හේතුව ගැන අනාවරණයක්
පසුගිය අවුරුදු හතළිහක හතළිස් දෙකක කාලය තිස්සේ ලෝකයේ බොහෝ දේ නිදහසේ අපේ රටද ගලා ආවේය. ඇතැමුන් කියන්නේ එය ලංකාවේ ආර්ථිකය නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ කෙසේ වෙතත් මෙසේ රටට ආ බොහෝ දේ අතර හොඳ දේ මෙන්ම නොහොඳ දේ ද විය. ගතයුතු දේ මෙන්ම නොගත යුතු දේද විය. අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේ ද විය. එච්.අයි.වී. නොහොත් ඒඩ්ස් යන වචනය මුලින්ම අසන්නට ලැබුණේ ද මේ කාලසීමාවේදීමය. නැතිනම් මීට වසර තිස් හතරකට පමණ ඉහතදීය. ලිංගික කටයුතු ඇසුරින් වැලඳෙන එච්.අයි.වී. ඒඩ්ස් වචනය පවා ඒ කාලයේ ඇති කළේ භීතියකි. හේතුව මෙම වයිරසය ශරීරගත වෙන්නා අනිවාර්‌යෙන්ම මිය යන බව ඒ කාලයේ තිබූ මතයයි. එසේම එකල ඒඩ්ස් රෝගියකු යනු රෝගියා පමණක් නොව ඔහුගේ හත්මුතු පරම්පරාවම පිළිකුලට භාජනය කරන්නක් විය. එහෙත් ඒඩ්ස්වල බිය නැති කළ අවස්ථාවක්ද විය.
‘‘හඳුනාගත් තරුණ එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් කරුණු කාරණා විමසද්දී බොහෝ දෙනෙක් ‘පාටිවලට ගිහින් Group sex කළා’ යැයි සඳහන් කරන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී පවසන්නීය.
‘‘දැන් මේ කසාද බැඳපු පිරිමි තවත් පිරිමි අය සමග සමලිංගික සම්බන්ධතා පවත්වනවා. ඊට පස්සේ ඒ අය ගිහිං ගෙවල්වල ඉන්න ඒ අයගේ බිරින්දෑවරු එක්කත් ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඒ සමලිංගිකයා එච්.අයි.වී. ආසාදිතයෙක් නම් අනේ අර ගෙවල්වල ඉන්න බිරින්දෑවරුත් නිකම්ම එච්.අයි.වී. ගොදුරු බවට පත්වෙලා නේද?’’ යැයි වෛද්‍ය රසාංජලී කියන ආකාරයට මේ කාරණයේ බරපතළ ස්වභාවය අවබෝධ වේ.

‘‘ස්මාර්ට් ජංගම දුරකතනයේ විවිධ යෙදවුම් හරහා මේ අය කණ්ඩායම් ආකාරයට එකතු වෙනවා. ඒ හමුවීම් අන්තිමට කෙළවර වෙන්නේ කණ්ඩායම් ලිංගික ක්‍රියාකාරකම් එක්කයි.’’
ඒ කාරණය එක් පසෙක තිබියදී පාලනයකින් තොරව දවසින් දවස වැඩිවන සම්භාහන මධ්‍යස්ථාන යැයි කියාගන්නා අවිධිමත් ස්පා කඩ හේතුවෙන් ද තරුණ ප්‍රජාව අතරට එච්.අයි.වී. ආසාදනය වීම සීඝ්‍රයෙන් සිදුවන බව පෙනී ගිය කරුණකි. ලිංගාශ්‍රිත ඉන්නන්, ලිංගික හර්පීස් වැනි අනෙකුත් ලිංග්‍රාශ්‍රිත රෝග මෙන් නොව එච්.අයි.වී. ආසාදිතයකුගේ බරපතළම කාරණය වන්නේ මුලදී ආසාදනය පිළිබඳව කිසිදු හෝඩුවාවක්, ලක්ෂණයක් ශරීරයෙන් බාහිරයට පෙන්නුම් නොකිරීමයි. එනම් මූණ බලා සාස්තර කියනවා වාගේ කිසිවකුටවත් මූණ බලා එච්.අයි.වී. ඇත්දැයි කීමට නම් බැරිය. අනාරක්ෂිතව සිදු කරන ලද ලිංගික හැසිරීමක් හේතුවෙන් එච්.අයි.වී. වයිරසය ආසාදනය වූවකු එසේ වී දැයි අවධානමක් නොගෙන දීර්ග කාලයක් ගතවීගියහොත් එච්.අයි.වී. වයිරසය ඒඩ්ස් තත්ත්වය බවට පෙරළයි. එවිට රෝගියා ඉන්නේ බරපතළ අඩියකය. ඒ වන විට එච්.අයි.වී. වයිරසය විසින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මුළුමනින්ම හානිකොට අවසන්ය.‘‘අවසානයට නියුමෝනියාව, වගේම නොයෙකුත් පිළිකා තත්ත්වවලට රෝගියා ගොදුරු වීමෙන් තමයි මරණයට පත්වෙන්නේ.’’

‘‘දැන් දියවැඩියාව හැදුනු මිනිස්සු දිගටම බෙහෙත් අරගෙන ජීවත් වෙන්නේ. මේකත් ඒ වගේ කල්තියා හඳුනාගෙන අඛණ්ඩව ප්‍රතිකාර අනුගමනය කරගත්තොත් වයිරසය පාලනය කර ගන්න පුළුවන්.’’
නිවැරදි ප්‍රතිකාර රටාව අනුගමනය කළහොත් එච්.අයි.වී. වයිරසයෙන් ප්‍රතිශක්තියට හානිවීම වළක්වාගත හැකි බවත් වෛද්‍ය රසාංජලී සඳහන් කළාය. එසේ හොඳින්ම මර්දනය වූ එච්.අයි.වී ආසාදිතයින්ට පසු කාලීනව ඒ තත්ත්වය යටතේ වුවත් නිරෝගීව දරුවකු වුවත් බිහි කිරීමේ අවස්ථාව තිබෙයි. එසේ සිදු කළ අයද සිටිති. ඒ නිසා කිසිවකුත් එච්.අයි.වී ආසාදිතයන් කෙරෙහි භීතියකින් බැලීමට හෝ තමන් එච්.අයි.වී ආසාදිත බව දැනගත් පසු බියට පත්වීමට හෝ අවශ්‍ය නොවේ. ලංකාව පුරා ඇති රෝහල් 42කින් මේ සම්බන්ධව ලිංගික සෞඛ්‍ය සායන පැවැත්වේ. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් උසස් සේවක පිරිසගෙන් යුතුව රජය විසින් සම්පූර්ණයෙන් නොමිලයේ සැලසෙන සේවාවකි.‘‘යම්කිසි කෙනෙක්ට තමන්ගේ අවධිමත්, අනාරක්ෂිත ලිංගික කටයුත්තක් ගැන හිතේ සැකයක් ඇත්නම් කිසි බයක් සැකයක් නැතුව මේ සෞඛ්‍ය සායන වෙත ඇවිල්ලා නොමිලයේ සම්පූර්ණ පරීක්ෂාවක් කර ගත හැකියි.’’ එසේම රහස්‍ය බවද සම්පූර්ණයෙන්ම තහවුරු කරයි.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකම් බෙහෙත් දෙනවනේ කියලා මේ කාරණය සුළුවට තකන්න එපා කියලත් මතක් කළ යුතුයි.’’ යැයි වෛද්‍ය රසාංජලී පැවසූ අන්දමට දිනෙන් දින එච්.අයි.වී ආසාදිතයන් වැඩිවුවහොත් රජය විසින් නොමිලයේ ලබාදෙන ඖෂධ සීමා කරන්නට සිදුවනු ඇත.
ඒ නිසා කවුරු කවුරු නමුත් ලැජ්ජාව පසෙක තබා එච්.අයි.වී/ඒඩ්ස් හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විවෘත මනසකින් තතු විත්ති දැන ගැනීම තවත් කෙනකුට අවබෝධ කරදීම මෙය වැලඳීම වළකා ගැනීමට මහඟු පිටිබලයකි. දියුණු යැයි කියනා රටවල දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ ඔවුන් කුඩා කල සිටමය.එවිට ඒ පිළිබඳව කුතුහලයෙන් හෝ අමුතු දෙයක් ලෙස ඔවුන් ඒවා හොරෙන් කර බැලීමට යන්නේ නැත. මේ කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් www.know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙයි.
‘‘ඒඩ්ස් මරණයක් නම් Bed Ticket එකේ අනිවාර්‌යෙන්ම රතු පෑනෙන් ඒ බව සඳහන් කළ යුතුයි. එහෙම කළ යුතු බව කියන්නේ සියල්ලන්ගේම සෞඛ්‍යාරක්ෂිත බව සලකළයි. නමුත් එහෙම කිසිම සඳහනක් නොකර අපට මරණ පරීක්ෂණ කරන්න එන ඒඩ්ස් මරණ තියෙනවා. මේක මරණ පරීක්ෂණයේ යෙදෙන නිලධාරීන්ට ඉතා දැඩි අවධානමක්.’’

‘‘එක මනුස්සයෙක්ට ඒඩ්ස් හැදිලා තිබුණා. එයා නිසා එයාගෙන් බිරිඳටත් ඒඩ්ස් හැදිලා. අන්තිමේ කොහොමහරි බිරිඳ මේ බව දැනගෙනත් තමන්ගේ මනුස්සයට තියෙන ගෞරවයට හානිවෙයි කියන බයට මේ බව රහසක්ව තියාගෙන. අවුරුදු 10කට විතර පස්සේ මේ සැමියා ඒඩ්ස් තත්ත්වය හේතුවෙන් මියගියාම සැමියාගේ ඥාතියෝ ටික පොලිසි යනවා මේ මරණය සැකයි මේ බිරිඳ තමයි සැමියාව මැරුවේ කියලා. අවසානයට පොලිසියට සිද්ධ වෙනවා මේකේ ඇත්ත තත්ත්වය සැමියගේ නෑදෑයන්ට කියන්න. ඒක අහලා එයාලගේ කටවල් සේරම වැහෙනවා.’’
එච්.අයි.වී ආසාදන තත්ත්වය අවසානයට සමාජ ඛේදවාචකයක් බවට පත්වන එබඳු අවස්ථා කොතෙකුත් තිබෙයි. පියාට ඒඩ්ස් තිබූ නිසා සුළඟෙන් ඒඩ්ස් බෝවන්නේ යැයි කියා කුලියාපිටිය ප්‍රදේශයේ දරුවෙක්ට පාසලේ ගේට්ටුව වැසූ විදුහල්පතිවරුද මෙරටෙහි සිටි බැව් අපට අමතක නැත. සැබැවින්ම එච්.අයි.වී ඒඩ්ස් යනු අවබෝධයෙන් වළක්වාගත යුත්තක් මිස ආසාදිතවූවෙකු කොන්කිරීමට හෝ රෝගයට බියවීමට තුඩුදෙන කාරණයක් නොවිය යුතුය. ආසාදිතයකු නම් නිවැරැදිව ප්‍රතිකාර ගත යුතුය. ආසාදිතයකු නොවීමට සෙස්සෝ අවදානමක් ගත යුතුය. අනුපමා ගල්කඩවල