brand logo
logo
 මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රධාන ජේලර්වරයා අධිකරණයේදී සාක්ෂි දෙයි

මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රධාන ජේලර්වරයා අධිකරණයේදී සාක්ෂි දෙයි

30 July 2026


මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයා අද (30) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.


ඒ, මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේදීය.


එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහතා මෙලෙස සාක්ෂි ලබා දී තිබේ.


පස්වරු 1.00ට පමණ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර, එය පස්වරු 3.00 පමණ වනතුරු පැවැත්වී තිබේ.


සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් බවයි.


එම තොරතුරු හෙළිදරව් වීමෙන් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බැවින්, එම සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.


එමෙන්ම අදාළ සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙසටද අධිකරණය නියෝග කර ඇත.


මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ සිට මීගමුව බන්ධනාගාරය වෙත පැමිණි බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනෙකු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


මීට අමතරව, කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන්ද බන්ධනාගාර නිලධාරීන් විසින් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

More News..