brand logo

පේරාදෙණිය නවකවදය ගැන ශාස්ත්‍ර පීඨාධිපතිගෙන් හෙළිදරව්වක්

4 months ago

Share on

ඇතැමුන් උග්‍ර මානසික ව්‍යාධිය සන්තර්පනය කරගැනීමට මේවාට පෙළඹෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වදයට එරෙහි සිසු පිරිසක් එම විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්විය. දෙසතියකට පෙර වූ මේ ප්‍රහාරයත් සමග යළිත් වරක් නවකවදය ගැන රටේ කතාබහක් ඇති වී තිබේ. මේ එම ප්‍රහාරය ගැන අරුණ ගිය සතියේ කළ හෙළිදරව්වෙන් පසු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක අපට කතා කළේය. වර්තමාන අධ්‍යාපන පද්ධතියේ සිටින්නේ කන්නන්ගර මැතිතුමන්ගේ නිදහස් අධ්‍යාපනයෙන් ශික්ෂණය වූ පිරිසක්ය. අධ්‍යාපනය ලැබෙන්නේ නොමිලයේය. එය හැමෝගේම මානව අයිතියකි. තවද එය ව්‍යවස්ථාවෙන් මෙන්ම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියෙන් ඇතිකරන ලද සහතිකයක් වන්නේය. මෙම අයිතීන් සියල්ල උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාලන්හි එක් ශිෂ්‍ය කණ්ඩායමක් තවත් ශිෂ්‍ය කණ්ඩායමකට නවක වදය කියමින් හිරිහැර කරන්නේය. මෙය කාලාන්තරයක් තිස්සේ විශ්ව විද්‍යාලයන්හි පැවත එන්නකි. නවකවදය බටහිර රටවල අවුරුදු සිය ගණනකට පෙර ඉවත් කළ දෙයකි. එවැනි සිදුවීම් සැලකෙන්නේ තිරස්චීන ක්‍රියා ලෙසය. විසි එක්වැනි ශත වර්ෂයේ ජීවත්වුවද තවමත් මේවා ගැන කතා කිරීම සම්බන්ධයෙන් ඇතිවන්නේ සිත්තැවුලකි. ‘සිස්ටම් චේන්ජ්’ කරන්නට කතා කරන ඇතැමුන් වහල් ගෝත්‍රිකකම් සහ ඉතාමත් අධම ක්‍රියා පවත්වාගෙන යන්නේ තමන්ගේ බල ව්‍යාපෘති ක්‍රියාත්මක කරගැනීමටය. නවක වදය ඉතාම අත්තනෝමතික ක්‍රියාදාමයකි. ඒ ගැන විවෘතව කතා කළ යුතු වන්නේය. නවක වදය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියා කවුරුන්හෝ මතුපිටින් සුදුහුණු ගාන්නට හදනවා නම් එය නවක වදයට උඩගෙඩි දීමකි. නවක වදයට එරෙහිව පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නීතියක් පවා ඇත්තේය. නවක වදයට සම්බන්ධ වීම හෝ එයට අනුබල දීම නීති විරෝධී ක්‍රියාවකි. එයට බරපතළ දඩුවම් දිය යුතුවන්නේය. සෑම ශිෂ්‍යයකුම විශ්ව විද්‍යාලයට ඇතුළත් වනවිට නවකවදයට ප්‍රතිවිරුද්ධ පනතට අත්සන් කළ යුතුය. එයින් පොරොන්දු වෙන්නේ නවක වදය නොදෙන බවයි. මවුපියන්ගෙන් පවා ප්‍රකාශයක් එහිදී ගන්නේය. ළමයින් විශ්වවිද්‍යාලයට එන්නේ මේ සියල්ලටම අත්සන් කළ පසුවය. සෑම වසරකදීම රාජ්‍ය විශ්ව විද්‍යාලයට එන නවක ශිෂ්‍යයන්ට සලකන්නේ අමානුෂිකවය. ඔවුන් එය අර්ථ දක්වන්නේ නවක ශිෂ්‍යයන් විශ්ව විද්‍යාලවල උප සංස්කෘතියට හුරු කරවන බවටය. එසේත් නොමැතිනම් සමානතාව ඇතිකිරීම ලෙසය. අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කාලයේදීත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් අපට සැලකූවේත් මේ ආකාරයටමය. එයට මමද මුහුණ දුන්නත් මම තේරුම් ගත්තේ එය නොකළ යුතු දෙයක් ලෙසයි. අනුරාධපුරයේ සිට පැමිණි මම ඉගෙනගත්තේ දුක් විඳිමිනි. එසේ පැමිණ දුප්පත් සමාජයෙන් එන අයව දැඩි ලෙස සමාජානුයෝජනය කළ යුතුයැයි කියා ශාරීරික, මානසික සහ ලිංගිකව අඩම්තෙට්ටම් කරන්නේ බරපතළවය. එය එදාත් අදත් සිදුවුවත් ඉදිරියට වීම නැවැත්විය යුතුය. ඇතැමුන් නවක වදයට මුහුණ දෙන්නේ කැමැත්තෙනි. ඇතැමුන් මෙවැනි දේවලට පෙලඹෙන්නේ තමන්ගේ උග්‍ර මානසික ව්‍යාධිය සන්තර්පනය කරගැනීමටය. තවත් ඇතැමෙක් නාගරික, ජනප්‍රිය පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා නවක වදයට සම්බන්ධ නොවී සිටින්නේය. එවැනි අයවලුන් අතරේ ඇතිවන්නේ ඊර්ෂ්‍යාවකි. ඇතැම් අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායම් ශිෂ්‍යන්ට විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නට ඇති පොදු අවස්ථා පවා තහනම් කර ඇත්තේය. මෙවැන්නවුන් අප දකින්නේ ‘තලේබාන්’ ක්‍රමයේ අය ලෙසය. ආපානශාලවේ කෑම කන්නට පවා හැකිවන්නේ ඔවුන් කැමැති අයට පමණය. ක්‍රීඩා පිටි ඇතුළු අනෙකුත් පොදු ස්ථාන පරිහරණය කරන්නට හැකිවෙන්නේත් මේ අයට කැමැති අයට පමණක්ය. නවක වදයට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ දරුවකු මෙවැනි ස්ථානයකට ඇතුළු වුවහොත් ‍ඒ අයට පහර දෙන්නත් කුණු බිත්තර ප්‍රහාර එල්ලකරන්නත් ඇතැම්හු පෙලඹුණහ. පසුගිය දිනෙකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඇතිවුණේත් එවැනිම දෙයක්ය. ඒත් ආහාර ගනිමින් සිටින තිරිසනෙකුට වුවද පහරදීමේ සිරිතක් අපේ සමාජයේ නැත. මේ ගැටුම වන මොහොතේ මෙම එම ස්ථානයට ගියෙමි. එදා දරුවන්ට පයින් ගැසුවේ පීඨාධිපතිවරයාවන මගේ ඇස් දෙක ඉස්සරහාය. පිරිමි ළමයකු ගැහැනු ළමයෙකුගේ කොන්දට ගැසුවේය. ඇතැම් දරුවන්ගේ කෑම පිඟන් පිටතට විසිකළේය. විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වෙන්නේ රජයේ බදු මුදල්වලින්ය. මේ රටේ ගොවියන්, කම්කරුවන් වැනි අහිංසක මිනිසුන් සේවය කර ගෙවන බදු මුදලිනි. ආචාර්යවරු ලෙස ජනතාවට වග කිය යුතුවන්නේය. සෑම දරුවෙකුටම සමානව සැලකිය යුතුය. නවක වදයට සහභාගි නොවුණා යැයි කියා මේ ආකාරයෙන් පහර දෙනවා නම් මමත්, සමස්ත පීඨයේ ආචාර්ය මණ්ඩලයත් විශ්වාසකරන්නේ එය ඉතාම තිරස්චීන ක්‍රියාවලියක් විදියටය. මෙලෙස පහරදෙන ශිෂ්‍යයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වී ඇත්තේ මේ නිසාය. මින් පසුව මෙවැනි ආකාරයට පහර නොදෙන බවට ඔවුන් එකඟතාවකට පැමිණිය යුතුවන්නේය. දැන් විශ්වවිද්‍යාල පත්ව ඇත්තේ ආහාර ගැනීමේ අයිතිය පවා අහිමි කරවන තැනකටය. ඒ තත්ත්වය විශ්වවිද්‍යාලය තුළ සමනය කළ යුතුය. ඉදිරියේදීත් එවන් දේවල් ඇති නොවිය යුතුය. මේවාට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ එයට අනුගත නොවී ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරීන්ගෙන් යැයි කියාගන්නා ඒවායේ සභාපතිවරුන් ලේකම්වරුන් වන දාමරික ශිෂ්‍යයන්ය. පීඨාධිපති වන මටත් ඇතැම් සිසුන් පහරදෙන්න ආවෝය. නවක ශිෂ්‍යයන් වෙනුවෙන් කතා කරන උපදේශක ආචාර්යවරුන්ටත් ඔවුහු පහර දෙන්නට ආවෝය. සිස්ටම් චේන්ජ් කරන්නැයි කියා පසුගිය දිනවල පාර දිගේ කෑගැසූ පිරිසම ඒ සිස්ටම් චේන්ජ් එක තමන් තුළ ඇතිවෙනවාට අකැමැතිය. මේ අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායම් රාජ්‍ය විශ්වවිද්‍යාල ඇදගෙන යන්නේ බරපතළ අන්තගාමී ව්‍යවසනකාරී තත්ත්වයකටය. අපිට වාර්තාවෙන ආකාරයට මේ පිරිස නවක දරුවන්ට අසැබි වචනයෙන් බණිති. මේ අය ශිෂ්‍යයන්ට නියෝග යවන්නේ සමාජ මාධ්‍ය හරහාය. වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය ඒවාට භාවිත කරන්නේය. නවක ශිෂ්‍යන්ට කැමැති ඇඳුමක් අඳින්නට තහනම්ය. ඔවුන්ට අඳින්නට කියන්නේ චීත්ත ගවුම් හෝ සායවල්ය. ආචාර්යවරුන් ශිෂ්‍යයන් ආරක්ෂා කරන්නට ගියත් ඒවා නිවැරදිව ක්‍රියාත්මක කරගන්නට නොහැකිය. එයට හේතුව ඔවුන් නියෝග දෙන්නේ වට්ස්ඇප් හරහාවීම නිසාය. පසුදින අඳින ඇඳුම, එන්න ඕනෑ වෙලාව, එන්න ඕනෑ තැන ගැනත් මේ අය නියෝග දෙන්නේය. නවක ශිෂ්‍යයන් ඒ නියෝගයන්ට කටයුතු කරන්නේ ඔවුන්ගේ නේවාසිකාගාරයේ සිටය. පිරිමි ළමයින්ට බෙල්ට් පලඳින්නට, වර්ණවත් ඇඳුම් අඳින්නට තහනම්ය. ඔවුන්ට අඳින්නට ඇත්තේ සුදු කමිසයත්, කළු කලිසමත් පමණය. සපත්තු දාන්නට අවසර නැත. දැමිය යුත්තේ රබර් සෙරෙප්පුය. ඒ කෙසේවුවත් වෛද්‍ය පීඨයේ අයට වෘත්තීමය ලෙස අඳින්නට තහනම් නැත. විශේෂයෙන්ම මේ ගැටලු ඇත්තේ ශාස්ත්‍ර පීඨයේය. මේ නියෝග නොකළහොත් වෙන්නේ පහරකන්නටය. ඔවුන් මේ ළමයින්ට දෙන්නේ වාචිකව දිය හැකි උපරිම වදයයි. නවක වදයට කැමැත්තෙන්ම යන්නේ තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් තමන්ට විමුක්තිය හදා දෙනවැයි කියන අන්ධ විශ්වාසයෙන් සිටින අයයි. පීඩකයා වාගේම පීඩනයට ලක්වෙන්නට කැමැති පිරිසකුත් අපේ රටේ ඇත්තේය. ඒ අයගේ මානසිකත්වය ඇත්තේ නිදහස නොව, පීඩනයකට ලක්වීමය. කෙතරම් ජීවිතය විඳින්නට අවස්ථා තිබුණත් දුක විඳින්නම කැමැති පිරිසක් ඇත්තේය. මෙය යාන්ත්‍රණයක් විදියට දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්නේ මේ සියලු දෙනාගේම සම්බන්ධයෙනි. නවක වදයට විරුද්ධ ළමයකු සිටියත් නිරායාසයෙන්ම එයට අනුගත වෙන්න ඒ අයට සිදුව ඇත්තේය. ඒ කොන් වීමට ඇති බිය නිසාය. මේ නවකවදය දෙන පිරිස ගැහැනු ළමයින්ට බනින්නේ අසභ්‍ය වචනයෙනි. අසභ්‍ය ක්‍රියාකාරකම් කරන ගැහැනු ළමුන් පවා සිටින්නේය. අසභ්‍ය වචන භාවිත කර ගැහැනු ළමයින්ටම හිංසන කරන ළමෝ අපේ පීඨයේත් සිටිති. නවක වදයට එරෙහි දරුවන්ට දේශනවලට පවා යන්නට ඉඩක් නැත. ඉංග්‍රීසියෙන් කතා කරන්නටත් තහනම්ය. එසේ කළහොත් ඔවුන්ව හෙළා දකින්නේ ඔවුන් වෙනම පන්තියක් ලෙස සලකාය. බහුතරයක් දෙනා අනාරක්ෂිත වී සිටින්නේ මෙලෙස සිටින අතළොස්සක් නිසාය. දැන් ඇත්තේ විශ්ව විද්‍යාලයේ රෙගුලාසියකට අඩංගු නොවන ආකාරයේ පීඨාධිපතිවරුන්ට අංශාධිපතිවරුන්ට උපකුලපතිවරයාට පවා තර්ජනය කරමින් කටයුතු කරන ස්වභාවයක්ය. නවක වදය පත්ව ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොවෙන අවනීතික තත්ත්වයක් බවටය. . ගම්වලින් එන දරුවෝ මේවා ගැන පැමිණිලි කරන්නටත් බියවෙති. එහෙත් අපි මොවුන්ට කෙතරම් ආරක්ෂා කළත් ඊළඟ වසරේදි නවක වදය ඉදිරියට ගෙන යන්නේ මොවුන්මය. හැකිපමණ ඉවසාගෙන නිහඬව සිටින්නේ මේ නිසාය. එය ඇත්තෙන්ම ඛේදවාචකයක්ය. දරුවන් කිහිපදෙනකුම පාඨමාලා අත්හැර ගියේ නවක වදයට මුහුණ දෙන්නට නොහැකි නිසාය. ඇතැමුන් ජීවිතයෙන් පවා සමුගත්තේ එය දරාගන්නට නොහැකි තැනටම පත්වූ පසුවය. සෑම පීඨයකම වාගේ මෙය වන්නේ අඩුවැඩි වශයෙන්ය. කොවිඩ් වසංගතයෙන් පසු කාලයක් මෙය සමනය වී තිබුණත් යළිත් මෙය උත්සන්න වී ඇත්තේය. විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනයටත් ගැටලු පැනනැගී ඇත්තේ රටේ පවතින ආර්ථික ගැටලුත් සමඟය. ඒත් ඒ හේතු නිසා ළමයින්ට පහරදෙන්ට අවසර නැත. මේවාට විසඳුම් ලෙස විශ්ව විද්‍යාල කොමිෂන් සභාව සමඟ එකතු වී නීති සම්පාදනය කළේය. මේවා ගැන ශිෂ්‍යයන් දැනුවත් කර තිබුණත් මේ කිසිම දෙයක් ප්‍රමාණවත් නැත. දාමරික ක්‍රියාවල යෙදෙන ශිෂ්‍යයනට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගත යුතුය. රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන අය සහ විශ්ව විද්‍යාල බලධාරින් මේ ගැන අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් රජයේ විශ්වවිද්‍යාලවලින් දෙන නිදහස් අධ්‍යාපනය නුදුරු අනාගතයේදීම බිඳ වැටෙන්නට පුළුවන. පෞද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් දැනටමත් ඇත්තේය. ඒවාට ශිෂ්‍යයන් ඇද ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවාදැයි සැකයක් අපට ඇත්තේය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ළමයින් ඇද ගන්නට නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අඩුපාඩු පෙන්විය යුතුය. මේවා දුටු විට ඇති හැකි බොහෝ දෙනකු තමන්ගේ දරුවන් රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට එවන්නෙ නැත. මේ ශිෂ්‍ය කණ්ඩායම් දැන හෝ නොදැන කාගේ හෝ ඒජන්තවරුන් විදියට කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල ගැන මහජන මතය බිඳ වට්ටවා පෞද්ගලික විශ්ව විද්‍යාලවල අවශ්‍යතා ඉටු කරන්නදැයි ගැටලුවක් මතුව ඇත්තේය. නවක වදය දුන් ශිෂ්‍ය කණ්ඩායම් පසුගිය කාලයේදීත් අත්අඩංගුවට පත්වුණේය. එනමුත් අවසානයේදී වෙන්නේ පරිපාලනය මත සියලු පීඩනය එල්ල කිරීමය. විවිධ වෘත්තිය සංගම් ඉදිරියට පැමිණ උද්ඝෝෂණ කරති. නවක වදයට විරුද්ධයි කියා පොදු ස්ථානවලට පැමිණ කතා කළත් මේවා පිටිපස්සෙන් ඉන්නේ මේ අයමය. පරිපාලනයේ අයවළුන් අතීතයේ ඇතැම් අවස්ථාවලදී මොවුන්ව නිදහස් කර තිබෙන්නේ තර්ජනය කළ විටය. මොන දේ කළත් අවසානයේදී නිදහස් වන බවද ශිෂ්‍යයෝ දනිති. මේවා පුරුද්දට ගෙන ඇත්තේ මේ නිසාය. පීඨාධිපතිවරයා ලෙස මේවා කතා නොකර චණ්ඩිකම් කරන ශිෂ්‍යයන් සමග ‘මචන් ලෙවල්’ එකෙන් ආශ්‍රය කරගෙන සිටියහොත් ජනප්‍රිය පීඨාධිපති කෙනෙක් වෙන්නට මටත් පුළුවන්ය. ඒත් මම දැන් නරකම පීඨාධිපතිවරයාය. පෝස්ටර් අලවා ඇත්තේ “පීඨාධිපති ගෙදර යවමු” යනුවෙන් කියාය. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කීවේ “හත්වැනි විධායක ජනාධිපති ගෙදර යැවූ අපිට පීඨාධිපති කජ්ජක්ද” කියාය. ඒ අය හිතන්නේ නීතිය අතට අරන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියාය. එකම විභාගය සමත්වී විශ්ව විද්‍යාලයට එන සෑමදෙනාටම එකම අයිතිය ලැබිය යුතුය. ආපනශාලාවට යන්න වෙනම ඉසෙඩ් ස්කෝර් එකක් නැත්තේය. විශ්ව විද්‍යාලයේ පොදු ස්ථාන ඕනෑම කෙනකුට භාවිත කරන්න ඉඩ දිය යුතුය. මැරකම් අනුව ශිෂ්‍යන්ට ස්ථාන තොරා දෙන්න කාටවත් නොහැකිය. මේවාට දැඩි දඬුවම් දිය යුතුවන්නේය. අවශ්‍ය නම් ශිෂ්‍යභාවය පවා අහෝසි කරන්නත් නීතිය ක්‍රියාත්මක කර මෙවැනි තක්කඩින් බන්ධනාගාරගත කිරීමත් අවශ්‍යය. අනීෂා මානගේ
loading...