brand logo

එක සැරේ කි.මී. 1500 දුවන්න පුළුවන් වාහන ගෙන්වනවා

4 months ago

Share on

නිසාන් ලීෆ් ලංකාවට ගැළපෙන්නේ නෑලු

මින් මතුවට රාජ්‍ය අංශයට විදුලි වාහන විතරයි

විදුලි ත්‍රීවීලරේ කිලෝමීටරයට රුපියල් පහයි

රටේ පෙට්‍රල් ඩීසල් නැත්තටම නැති වී රියැදුරන් නන්නත්තාර වනවිට බොහොම උජාරුවෙන් සිය වාහන පැදගෙන ගිය පිරිසක් ද ලංකාවේ සිටියෝය. රටේ තෙල් තිබුණත් නැතත් මේ රියැදුරන්ට කම්මලේ බල්ලා වගේ වගක් නැත්තේ ඔවුන්ගේ වාහන දුවන්නට තෙල් ඕනේ නැති නිසාය. ඒ එම වාහන දුවන්නේ විදුලි බලයෙන් නිසාය. දැන් ආණ්ඩුව හදන්නේ විදුලි වාහන භාවිත කරන රියැදුරන්, ලබන මේ සැනසීමම මුළු රටටම දෙන්නටය. එහි මූලික අඩිතාලම ලෙස ඉන්ධන අර්බුදය විසඳන්නට විදුලියෙන් දුවන වාහන ගෙනෙන්නට ආණ්ඩුව සූදානමින් සිටින්නේය. මේ ගැන මුලින්ම කතා වූයේ විදෙස් ගත ශ්‍රමිකයන් ලංකාවට එවන ඩොලර්වලට සරිලන විදුලි වාහනයක් අඩු මුදලකට දෙන්නට කම්කරු රැකියා හා විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කිරීමත් සමගය. ඉක්බිතිව අතුරු අයවැයේදීද විදුලි වාහන කතාව යළිදු වරක් කරළියට ආවේය. අතුරු අයවැය ඉදිරිපත් කරමින් ජනපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ කීවේ, රාජ්‍ය අංශයට ගෙන්වන පොසිල ඉන්ධන වලින් දුවන වාහන එළැඹෙන දෙසැම්බරයේ සිට නවතා දමන බවය. එසේ නවතා දමා ඔවුන් බලාපොරොත්තු වන්නේ රටේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම ගැන ආදර්ශය මුලින් දෙමින් රාජ්‍ය අංශයට විදුලි වාහන හඳුන්වා දෙන්නටය. එපමණක් නොව, ආණ්ඩුව කියන විදිහට 2026 වසරේ ජනවාරි පළමු වැනිදා වනවිට රාජ්‍ය අංශයේ ඇති වාහන සියල්ලම විදුලියෙන් දුවන වාහන බවට පත් කිරීමට ඔවුන් සැලසුම් නම් සකස් කර හමාරය. රාජ්‍ය අංශය යනුවෙන් කියූ විට අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, අධිකාරී, සංස්ථා, සන්නද්ධ හමුදා ඇතුළු ආයතන සිය ගණනක් ඇත්තේය. මේ ආයතනවල කන්ටේනරයේ, බුල්ඩෝසරයේ සිට මෝටර් සයිකලය දක්වා විවිධ කාණ්ඩවල වාහන ලක්ෂ ගණනක් ඇත්තේය. මේ වාහන අතරින් ආණ්ඩුව උත්සාහ කරන්නේ කෙටි ධාවනය සඳහා මුලින්ම විදුලි වාහන හඳුන්වා දෙන්නටය. ඊට හේතුව ලංකාවේ වැඩි වශයෙන්ම ඉන්ධන දහනය වන්නේ කුඩා සැහැල්ලු වාහන සඳහා වීමයි. ඒ කාණ්ඩයට ත්‍රිරෝද රථ සහ යතුරු පැදිත් අයත්ය. ලංකාවේ සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් හතරෙන් තුනක්ම ඇත්තේ අපි කලින් කී කුඩා සැහැල්ලු වාහනය. එනම්, මිලියන එකයි දශම හතරක් ඇත්තේ ත්‍රිරෝද රථය. තවත් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් ඇත්තේ යතුරු පැදිය. මෙසේ මිලියන හතර හමාරකට වැඩියෙන් තිබෙන කුඩා සැහැල්ලු වාහනවලට සාමාන්‍යයෙන් ඉන්ධන නැවක්ම එකවර ගිලිය හැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලලිත් ද අල්විස් කියන්නේය. එයට විසඳුමක් සෙවීමට නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධනයත් එකට එකතුවී පොසිල ඉන්ධන වලින් ධාවනය වන ත්‍රිරෝද රථ තුන්සියයක් විදුලියට පරිවර්තනය කරන වැඩසටහනක් ආරම්භ කර තිබේ. එපමණක් නොව දැනටමත් විදුලියෙන් ධාවනය වන ත්‍රිරෝද රථ කිහිපයක්ම පුහුණු වටයක් සඳහා කොළඹ අවට ධාවනය වන්නේය. එහි රියැදුරු මහත්වරුන් නම් කියන්නේ තමන්ගේ ත්‍රිරෝද රථයේ ගමන් ගන්නා මගීන්ගෙන් කිලෝමීටරයකට රුපියල් තුනක් හෝ හයක් අතර මුදලක් ත්‍රිරෝද රථ ගාස්තුව ලෙස අය කර ගැනීමට හැකි බවයි. දැන් කොළඹ ත්‍රිරෝද හයර් දුවන්නේ කිලෝමීටරය රු. 120 ගානේය. එසේ බලන විට එය වර්තමානයේ පවතින අධික කුලී රථ මිල ගණන් අඩු කිරීමට ඇති හොඳම විසඳුම විදුලි ත්‍රිවිල් බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පෙන්වා දේ. විදුලි වාහන ලංකාවට හඳුන්වා දීමට පත් කළ කමිටුවේ සිටින තවත් එක් සාමාජිකයකු වන මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යාන්ත්‍රික ඉන්ජිනේරු අධ්‍යයන අංශයේ ආචාර්ය ලිහිල් උත්පල සුබසිංහ නම් කියන්නේ ඔවුන් රටට ගැළපෙන විදුලි වාහනය කුමක්දැයි කියා මේ වනවිටත් අධ්‍යනය කරමින් පවතින බවයි. එහිදී, ලංකාවේ දී විදුලි වාහන නිෂ්පාදනය, විදුලි වාහන ගෙන්වීම සහ පොසිල ඉන්ධනයෙන් දුවන වාහන විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කිරීම යන කරුණු ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක් ද ජනතාවට ලබා දීමට ඔවුහු සුදානමින් සිටිති.

“අපේ ඉලක්කය වෙන්නේ කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව රජය කියන ඉක්මනින් වාහන මිලදී ගන්නේ නැතුව අපේ රටට ගැළපෙන විදුලි වාහන සහ ඒ වාහනයේ බැටරිය මොකක්ද කියලා පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමයි. ඔවුන් ගෙවන මුදලට සරිසලන පහසුකම් සහිත ආරක්ෂිත වගකීමක් සහිත වාහනයක් ඔවුන්ට ලබාදෙන්න තමයි අපේ මේ සූදානම....”

මේ අතර විදුලි වාහන කියූ පමණින් ලංකාවේ බොහෝ දෙනෙක්ගේ මුවගට මුලින්ම එන්නේ වාහනයේ බැටරියේ ආයු කාලය පිළිබඳව ඇති ගැටලුවයි. ඇතැමුන් මේ ගැන කියන්නේ සම්පූර්ණයෙන්ම බැටරිය ආරෝපණය කළ විට මුලින් නම් කිලෝමීටර් සියයක් ධාවන කළ හැකි බවයි. එත් මාස හය හත යන විට සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ බැටරියකින් යන්නට හැකි වන්නේ කිලෝමීටර් තිහත් හැටත් අතර ප්‍රමාණයක් බව ඔවුහු කියති. සාමාන්‍යයෙන් විදුලි වාහනයක බැටරියක මිල රුපියල් ලක්ෂයටත් වඩා වැඩි වන්නේය. ඒ නිසා අපේ ඉලක්කය 2029 වනවිට විදුලියෙන් ධාවන වන වාහන රටට ගෙන්වීමට නම් මුලින්ම රටට ගැළපෙන බැටරි නිර්මාණය කරන්නටත් ඒවා මිලදී ගැනීමට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත් ආණ්ඩුවේ වගකීමකි. එසේ නොමැතිව විදුලි වාහන ගෙන්වීමට අවශ්‍ය යටිතල පහසුකම්වත් සම්පාදනය නොකර ඒවා ගෙන්වීමට කීමෙන් සිදුවන්නේ මෙරටට ඩොලර් එවන ශ්‍රමිකයන්ව කබලෙන් ළිපට ඇද දැමීමක් නොවන්නේද? ඒ නිසාම අපි මේ ගැන ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලලිත් ද අල්විස්ගෙන් විමසීමක් කළෙමු.

“අපේ ඉලක්කය පුනර්ජනනීය බලශක්ති භාවිතය රටේ ප්‍රචලිත කරන්නටයි. ඒ අනුව අපි සැලසුම් කරලා තියෙනවා පුනර්ජනනීය බලශක්තිය භාවිත කරලා ඒ කියන්නේ සූර්ය බලය හා සුළං බලය පාවිච්චි කරලා උප්පාදනය කරන විදුලියෙන් වැඩ කරන වාහන ගෙන්විය යුතුයි කියලා. එයට අවශ්‍ය කරන යටිතල පහසුකම් සලසා දෙන්නටත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ’’ ඔහු කියයි.

ලංකාවේ පාරවල්වලට විදුලියෙන් දුවන නිසාල් ලීෆ් රථය එන්නේ 2013 දීය. ඒත් ඒ වාහනයේ නියෝජිතයන්ට නම් මේ වාහනය ලංකාවට හඳුන්වා දීමට එතරම් කැමැත්තක් තිබුණේ නෑ.

”නිසාන් කියන්නේ ජපානේ දේශගුණයට ගැළපෙන වාහනයක්. ඒ වාහනයේ බැටරිය හදලා තියෙන්නේ ඒ රටේ උෂ්ණත්වයට ගැළපෙන විදිහට. ඒ නිසා අවම උෂ්ණත්වයක් යටතේ තමයි මේ වාහනය ධාවනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ලංකාවේ සිටින නියෝජිත සමාගම ලංකාවට ඒ වාහනේ ගෙන්වන්න කැමැත්ත තිබ්බේ නැත්තේ. ” ඒ නිසා ලංකාවේ දේශගුණයට ගැළපෙන බැටරියකින් යුතු වාහන ගෙන්වීම අනිවාර්ය කරුණක් ආචාර්ය ලිහිල් උත්පල සුබසිංහ කියයි.

ඒ නිසා අතීතයෙන් පාඩම් උගෙන අනාගතයට ගැළපෙන හොඳ ආයෝජනයක් කරන්නේ නම් විදුලි වාහන අතිශයින්ම ලංකාවට ගැළපෙන වාහනයක් වන බව ඔහු කියන්නේය. කෙසේ නමුදු රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයට විදුලි වාහන හඳුන්වා දීමට රජය තීරණය කළද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ නම් කියන්නේ මෙවැනි කතාවකි.

‘‘සාමාන්‍යයෙන් මේ වගේ තීරණයක් ගන්න කලින් මේ රටට වාහන ආනයනය කරන අපෙනුත් අහන එක තමයි සම්ප්‍රදාය. මොකද අපි තමයි මේ වෙළෙඳාමේ ඉන්න වෙළෙන්දෝ. ඒ නිසා යම්කිසි තීරණයක් ගන්නවා නම් අපෙනුත් අදහසක් ගත්තොතින් නේද හොඳ.. අනික අපි ඇත්තටම කැමති මේ විදුලි වාහන ගෙන්වන වැඩේට. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඇමැතිවරයා ගහෙන් ගෙඩි එනවා වගේ එකපාරටම මේ දේ කියපු එක ගැනයි. අපි හිතන්නේ නැහැ ඔවුන් දීපු කාලයට ලංකාවට එක විදුලි වාහනයක්වත් එයි කියලා. මොකද මෙහෙම දෙයක් ගැන වාහන ගෙන්වන නියෝජිත සමාගම් පවා දන්නේ නැහැ. අනික මේ කෝටාව දීලා තියෙන්නේ අලුතින්ම විදුලි වාහන ගෙන්වන්න විතරයි. එතකොට ඒකට ගහන බදු මුදල. අපි ඒ වාහන ගෙන්නනවට ගහන බදු මුදල.. කවුද ඒවා ගෙවන්නේ...” මේ කියන විදුලි වාහන ලංකාවට අලුත් වුවත් යුරෝපයට නම් අලුත් නොවේ. අද වනවිට යුරෝපයේම ඉලක්කය වන්නේ 2035 වනවිට ඉන්ධන වලින් ධාවනය වන වාහනවලට තිත තැබීමටය.

මෙසේ යුරෝපය නම් විදුලි වාහන සොයා යන්නේ ඔවුන් සතුව ඒවාට ගැළපෙන යටිතල පහසුකම් ඕනෑවටත් වඩා තිබියදීය. ඒත් අපිට විදුලි වාහනයක් චාර්ජ් කරගැනීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අපහසුය. ඒත් මහජන උපයෝගිතා කොමිසම කියනා ලෙස වර්තමානය වන විට ලංකාවේ විදුලි වාහන ආසන්න වශයෙන් පන්දහස් පන්සියයක් පමණ ඇත්තේය. එයින් හාරදහස් පන්සියයක් පමණ සංඛ්‍යාවක් ඇත්තේ විද්‍යුත් කාර් හා දෙමුහුන් වාහනය. ඒ අතරට විදුලියෙන් ධාවන වන යතුරු පැදි දාහක් ද ඇත්තේය. මේ සියල්ලම ආරෝපණය කරන්නට තිබෙන්නේ ආරෝපණ මධ්‍යස්ථාන (චාර්ජින් සෙන්ටර්) හතළිස් හතක් පමණි. එයින් කීයෙන් කීයක් හරියටම වැඩ කරන්නේ කියා දන්නේ විදුලි වාහන පාවිච්චි කරන්නන් පමණි. ආණ්ඩුවට විදුලි වාහන හඳුන්වා දෙන්නේ ප්‍රවාහනයට වැඩි වශයෙන් දහනය වන ඉන්ධන ඉතිරි කර ගන්නටය. ඒත් ඇත්තටම විදුලි වාහන ගෙන්වුවත් ඒවා ආරෝපණය කරන්නට සිදුවන්නේත් ඩොලර් වියදම් කර ගෙනෙන ගල් අඟුරු හා ඉන්ධන දහනය කර නිපදෙන විදුලි බලයෙනි. එසේ බලන විට යළිත් සිදුවන්නේ ඉන්ධන නිකරුණේ නාස්ති වීමකි. එසේ නම් ඊට තිබෙන හොඳම විසඳුම රටපුරාම විදුලි වාහන ආරෝපණය කළ හැකි මධ්‍යස්ථාන පිහිටුවීමය. අපිට පුළුවන්නම් මේ ආරෝපණය පුනර්ජනනීය බලශක්තිය මගින් ගන්න එක තමයි අපි ලබන ජයග්‍රහණය. අපි මුලින්ම කරන්න ඕනේ මුළු රටම එකවර පුනර්ජනනීය බලශක්තියට හරවන්නේ නැතුව චාර්ජින් සෙන්ටර්ස් ටික මුලින්ම සූර්ය බලශක්තියෙන් දුවන්න පුළුවන් විදිහට හදන එකයි. එතකොට ඉන්ධනවලට යන වියදමත් අඩුවෙනවා. අපේ රටේ වායු දූෂණයත් අවම වෙනවා.” ආචාර්ය ලිහිල් උත්පල සුබසිංහ කියයි. 2024 වනවිට විදුලියෙන් ධාවනය වන බස් රථ විසි පහකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ප්‍රදේශය අවට ධාවන කරන්නට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් සකස් කරමින් සිටින්නේ මෙවැනි පසුබිමකය. ඒත් ඒවාට අවශ්‍ය කරන විදුලි ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීම ඉබි ගමනක පවතින මොහොතක විදුලි වාහන ගෙන්වා ගැනීම හරියට ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ වැඩක් වීමට ඉඩ නැත්තේද නොවේ. හර්ෂණී දිසානායක  

එක සැරේ කි.මී. 1500 දුවන්න පුළුවන් වාහන ගෙන්වනවා - ආචාර්ය හර්ෂ සුබසිංහ

රටේ එතරම් ප්‍රසිද්ධ නොවුණට දැනටමත් මෙහි විදුලි වාහන නිෂ්පාදනය කරන්නේය. ඒ Code Gen සමාගම් සමූහයෙනි. එහි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ආචාර්ය හර්ෂ සුබසිංහගෙන් අප විමසුවේ වර්තමානයේදී ලංකාවම කතා වන විදුලි වාහන ඔවුන්ගේ සූදානම ගැනයි. ලංකාවම දැන් විදුලි වාහන ගැන කතා කළාට මම විදුලි වාහන ගැන කතා කළේ මීට අවුරුදු පහළොවකට කලින්. එදා ඉඳලම ලෝකයේ රටවල් වාහන ඉලෙක්ට්‍රික් කරන විදිහ අධ්‍යනය කළා. එහෙම මහන්සි වෙලා ඉගෙනගෙන තමයි මේ වාහන ඉලෙක්ට්‍රික් කරන විදිහ හොයාගත්තේ. ඊටත් පස්සේ තවත් අවුරුදු අටකින් අපි ‘වේගා’ කියන කාර් එක හදන්න පටන් ගත්තා. ඒක දැක්කම ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ මේ වගේ සුපර් කාර් කැටගරියට අයත් මෝටර් රථයකටත් විදුලියෙන් දුවන්න පුළුවන්ද කියලා. අන්න ඒ අදහස තමයි අපිට ලංකාවට වගේම ලෝකෙටම දෙන්න ඕනේ වුණේ. අද වෙනකොට විදුලි වාහන නිපැයුම්කරුවන්ගේ ප්‍රබලයා වන ඊලෝන් මස්ක්ගේ ඉඳලා මුළු ලෝකයම අපිව දන්නවා. අපිට අද අවශ්‍ය වෙන්නේ අපේම කියලා අලුතින්ම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්නයි. ඉන්ධනවලින් ධාවනය වන වාහන ඉලෙක්ට්‍රික් වාහන බවටත් පත් කරන්නයි. ඒ වෙනුවෙන් අපිට කරන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රික් වාහනයක මූලික අමුද්‍රව්‍ය වෙන බැටරිය සහ මෝටරය නිපදවීම. අපි දැනටමත් මෝටරය නිෂ්පාදනය කරනවා. ඒත් බැටරිය හදන්න අවශ්‍ය ෂෙල් එක තාමත් පිටරටින් තමයි ගේන්න වෙලා තියෙන්නේ. නමුත්, මම අද මොරටුව සහ පේරාදෙණිය කියන විශ්වවිද්‍යාලත් එක්ක එකතු වෙලා පර් යේෂණයක් කරනවා. එහි ප්‍රතිඵලය විදිහට එන අවුරුද්ද වෙනකොට අපේම කියන බැටරියක් ලංකාවේ හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනෙක් දේ තමයි සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර යනකොට බැටරි වැඩ කරන්නේ නැහැ. අපිට ඕනේ අවුරුදු දහයක් යනකල් භාවිත කළ හැකි බැටරියක් නිපදවන්න. දැන් තියෙන වාහන කිලෝමීටර් තුන්සියය හරසියය වගේ දුරක් තමයි ධාවනය කරන්න පුළුවන් වෙන්නේ. අපි නුදුරේම ගේන්න බලාපොරොත්තු වෙනවා කිලෝමීටර් එක්දහස් පන්සියයක් විතර ධාවනය කළ හැකි බැටරියක්. අනිත් දේ තමයි අපි ඊළඟ මාසෙදි අපේම කියලා විදුලියෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් වෙළෙඳපොළට නිකුත් කරන්න සූදානමින් සිටිනවා.
loading...