brand logo

රනිල්ගේ මහ ගෙදර බඩපිස්සා කතා කරයි

5 months ago

Share on

අයියා මට තනතුරු දෙන්නේ නෑ මම ගන්නෙත් නෑ

හැමෝම ආදර සබඳතාවලින් බැන්දත් අම්මා පොරොන්දම් බැලුවා

තාත්තාට බෝම්බ ගැහුවෙත් මේ ගෙදරදී ඊට පස්සෙ ගැහුවෙ අරගලකාරයෝ

එස්මන්ඩ් ආණ්ඩු පෙරළුවෙත් හැදුවෙත් මේ ගෙදරදී

මේ ගේ හදන්න අම්මට ඉඩම දුන්නේ ඇගේ මවු පාර්ශ්වයෙන්

  රනිල් වික්‍රමසිංහයන්ගේ ගෙදර අරගලකරුවන් විසින් ගිනි තබා මංකොල්ලා කා විනාශ කිරීමේ ප්‍රතිවිපාක කතාව තවමත් අවසන් නැත. එදින අරගලකරුවෝ රනිල්ගේ මහ ගෙදරටත් පහරදී කොල්ලකෑවෝය. රනිල් සේම ඒ මහ ගෙදර සෙවණ ලැබූ වික්‍රමසිංහ පවුලේ බඩපිස්සා වන චන්න වික්‍රමසිංහට ඒ ගෙදර වටිනාකම හොඳට දැනේ. උපන්දා සිට සෙවණ දුන් ජීවිතය හැඩ ගස්වන්නට හේතුපාදක වූ ඒ මහගෙදර ගැන චන්න අප හා කතා කළේය.

‘‘මම හරිම කැමැතියි හවසට ෆුට් බයිසිකලේ රවුමක් ගහලා එන්න. ඒ සරලකම අපේ ජීවිතවලින් ඈත් වුණු දවසට අපට ජීවිතය බරක් වෙනවා.’’

‘‘කොපමණ වටිනා වාහනයක ගියත් වටිනාකම තියෙන්න ඕනේ වාහනයේ නොවෙයි ඒ ඇතුළෙ ගමන් කරන පුද්ගලයා තුළයි.’’

‘‘සතුට මගේ ජීවිතයට අමුතුවෙන් ලබා ගන්න ඕනෙ නැහැ. කරන කියන හැම දෙයක් තුළම සතුට මාළඟ තියෙනවා’‘ ඒ චන්නට හිතෙන හැටිය. එස්මන්ඩ් වික්‍රමසිංහ හා නාලනී විජයවර්ධන යුවළ තම දූ දරුවන් සමග විසූ දේශපාලන කයි කතන්දරවලින් සහ සංස්කෘතිගාංකවලින් පොහොසත් වූ ඒ මහගෙදර අද හිමිකරු වන්නේද පවුලේ බඩපිස්සා වූ චන්න වික්‍රමසිංහයන්ටය.

පසුගිය දිනක දේශපාලන අම්බරුවන් පිරිසක් රනිල් වික්‍රමසිංහයන්ගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේදීම මේ මහ ගෙදරටත් එල්ල වූ ප්‍රහාරය සුළුපටු නොවුණි. තම මවගේත් පියාගේත් මතක සිහිවටන මෙන්ම වටිනා ලියකියවිලි සියල්ල විනාශ කර දමා අවසානයේ කනකර ආභරණ මෙන්ම ඔවුවන්ගේ ගුවන් ගමන් බලපත්‍ර පවා ඔවුහු විනාශ කර දැමූහ. කොල්ලකරුවන් නිවසේ ඉහළ මාලයට යාමට සැරසුනිද එහි සිටි සුරතල් සුනඛයාගේ නිර්භීතකම හමුවේ ඔවුහු පඩිපෙළ නැග යාමට බියවී පසු බැස්සහ. පරම්පරා ගණනාවක නොමියෙන මතක රැසක් සමග මෙරට දේශපාලනයේ සුවිශේෂී කතා ගොන්නකට මර්මස්ථානයය වූ නිවසක අද තත්ත්වය එයයි. විජයවර්ධන පවුලට හිමි වූ අක්කර දෙකක භූමියෙන් හෙලේනා විජයවර්ධනගේ දියණිය වූ නාලනීට කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පර්චස් 80ක ඉඩම් කැබැල්ලක් හිමිවූයේ මව් පාර්ශ්වයෙනි. ඇය සහ ඇගේ සැමියා වූ එස්මන්ඩ් විසින් එම ඉඩමේ කොටසක නිවසක් ඉදි කරන්නේ දරු මුනුපුරන් සමග සතුටින් කාලය ගත කරන්නටය. මෙම දෙමහල් නිවස කාමර 5කින් සමන්විත වූ අතර පහත මාලයේ ‘‘බැරිස්ටර් කාමරය හෙවත් ලෝ ලයිබ්‍රි’’ නමින් තවත් කාමරයක ඉදි වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ විදෙස් අමුත්තන් වෙනුවෙනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍ර්‍රිවරයකු වූ අර්ල්ටිනෝ සාමිවරයා පැමිණ එහි නවාතැන් ගැනීමෙන් පසු එම කාමරය එනමින් හැඳින්වීමට පටන් ගත්තේය. එකල ඔහු බ්‍රිතාන්‍ය තුළ සිටි ප්‍රසිද්ධ චරිතයකි. විදෙස් ජාතික දේශපාලනඥයෝ මෙන්ම පුවත්පත්වලට සම්බන්ධ විදේශිකයෝ රැසක්ද මෙම නිවසට පැමිණ ගියෝ වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වූ යූ තාන්ට් මෙහි පැමිණ භෝජන සංග්‍රහයකටද සහභාගි විය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු ප්‍රතිරාජයා ලෙස හැඳින්වූ ජේ.ආර්. යුගයේ සිටි ඉන්දීය මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, ඉන්දියානු විදේශ ලේකම් රොමේෂ් බන්දාරි ද මේ නිවසට ආගිය අය අතර වූහ. ජේ.සී. ජේන් නම් වූ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ප්‍රධානියාද මෙහි පැමිණියේ එස්මන්ඩ් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡා කිරීමටය. පුවත්පත් ලෝකයේ ප්‍රබලයකු ලෙස ඔහු ජාත්‍යන්තරයේ නමක් දිනා සිටියේය. 1965 මාර්තු මාසයේ ඩඩ්ලිගේ හත් හවුල ආණ්ඩුව බිහි වුණේද එය අවසන් වූයේද මෙම නිවසේ පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. හත්හවුල් ආණ්ඩුව සැදීමට මන්ත්‍රිවරුන් වූ එම්.පී. රාජරත්නම්, ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන ආදීන් මෙන්ම ජේ.ආර්. ජයවර්ධනද මෙහි ආගිය පිරිස අතර වෙති. එදා ඔවුන් සාකච්ඡා පැවැත්වූ මේසය නිවසේ සුරක්ෂිතව තිබුණද එදා අරගලකරුවන්ගේ දෑතින් එය විනාශ වූයේ ඉතිහාසයක් අකා මකා දමමිනි. ආණ්ඩු හදන්නත් ආණ්ඩු පෙරළන්නත් තෝතැන්නක් වූ මෙම භූමිය දේශපාලන මතක ගොන්නක සිහිවටනයකි. එවකට සර් ජෝන් කොතලාවල අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා වූයේද එස්මන්ඩ් වික්‍රමසිංහය. සර් ජෝන් වරක් එක්සත් ජාතීන්ගේ සමුළුවට යන අවස්ථාවේ එස්මන්ඩ්වද කැඳවාගෙන ගියේය. එදා ඩඩ්ලි සේනානායක වෙනුවෙන් භික්ෂු සංවිධාන සකස් කළේද එස්මන්ඩ්ය. එම නිසා දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරතන වැනි භික්ෂූන් වහන්සේ එදා හත් හවුල හදන්නට එස්මන්ඩ්ගේ නිවසට වැඩියහ. හත්හවුල හදන කාලයේ එස්මන්ඩ්ගේ මෙම නිවසට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල විය.

‘‘තාත්තා කාමරේ නිදාගෙන හිටපු වෙලාවේ තමයි මේ බෝම්බය ගහලා තිබුණේ. ඒක තාත්තාගේ කාමරය පැත්තට විසි කළත් ඒක කාමරයට ගියේ නැහැ. පහළට වැටිලා පුපරලා තියෙනවා. එදායින් පස්සේ ආයෙත් අපේ ගෙදරට හානි කළේ අරගලකාරයෝ තමයි’’ චන්න අතීතයත් වර්තමානයත් ගැලළපුවේ එලෙසිනි. මව තම පියාගේ දේශපාලන කටයුතුවලට මහත්සේ ඇලුම් කළද මවගේ සිත තුළ තිබූ සංස්කෘතික බැඳීම් සමුදාය පිළිබඳව ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.

‘‘ඒ දවස්වල අපේ ගෙදර දේශපාලනඥයන්ගෙන් වගේම කලාකරුවන්ගෙනුත් පිරුණු තැනක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, පණීභාරත, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, බැසිල් මිහිරපැන්න, ට්‍රිලිෂියා ගුණවර්ධන සහ මාර්ක් ඇන්ටනි වැන්නන් නිතරම අපේ ගෙදරට ආවා ගියා. අරුන්දතී රෝයි අම්මාගේ ඇරයුමට අපේ ගෙදරට ආපු වෙලාවේ අත්සන් කරලා දුන්නු බුකර් සම්මානය දිනූ ‘The god of small Things’ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වාර්තා තැබූ පොත තවම ගෙදර තියෙනවා.’’

නාලනී වික්‍රමසිංහ සුදර්ශියේ සභාපතිනිය ද වී සිටියාය. ඇය ලංකාවේ සංගීත තැටියකට ජයමංගල ගාථා අන්තර්ගත කළ පළමු තැනැත්තියද වන්නීය. මනමේ, සිංහබාහු, මූදු පුත්තු, නරිබෑනා වැනි වේදිකා නාට්‍ය ගීත පවා ඇයගේ සංගීත නිෂ්පාදනාගාරයේදී තැටිවලට ගැනිණි. ‘‘නිතරම ගෙදර දේශපාලන හා කලා ක්ෂේත්‍රයේ අමුත්තන් එන නිසා ටෙක්නිකල් කොලේජ් කැන්ටිමෙන් තමයි කෑම ගෙන්නුවේ. බේක් ක්‍රැබ් වගේ කෑමත් ඒ අතර තිබුණා. ඒ කාලයේ එක වරට අලියා බීම බෝතල් 75ක් 80ක් විතර ගේනවා. අපි හරි ආසයි ඒවා බොන්න. අපේ වත්තේ දෙල් ගස් කිහිපයක්ම තිබුණා. ඒ නිසා දෙල් බැදලා මිරිස්කුඩු, ලුණු කුඩු, දාලා හදන ඒවා නිතරම ගෙදර තිබුණා. කොට්ටම්බා ගස් තිබුණු නිසා ඒ වගේ මද කන්නන් අපි හරි ආස වුණා. ඩඩ්ලි සේනානායකගෙන් පසු එස්මන්ඩ් ජේ.ආර්. සමග සම්බන්ධ වන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් ගෙන ඒම වෙනුවෙනි. සිය රට හා ජර්නල් පුවත්පත් දෙක කරළියට එන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ දායකත්වයෙනි. නාලනී වික්‍රමසිංහද ජර්නල් පුවත්පතට ඉංග්‍රීසියෙන් කවි ලීවාය. ඒවා බොහෝමයක් යටි දේශපාලන අරුතක් සහිත කවි විය. එවකට එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ බොහෝමයක් සැකසුණේ එස්මන්ඩ්ගේ සුරතිනි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිර්මාණය වන්නේද ඔහුගේ අදහසක් ඉදිරියට ​යාමත් ලෙසිනි. යුනෙස්කෝ සංවිධානයේ වැඩ කරන අවදියේ එස්මන්ඩ් ළඟින්ම වැඩ කළ අයෙක් වූයේ ආචාර්ය සරත් අමුණුගමය. එසේම මහාචාර්ය රැල්ෆ් බුල්ජර්න්ස්ද එස්මන්ඩ් සමග ළඟින් වැඩ කළේය. ඔහු ගාන්ධි පවුල සමග පැවැත්වූ සමීප සබඳතා පසු කලෙක තිම්පු සාකච්ඡා පැවැත්වීමේදී මහත් පිටිවහලක් විය. මේ නිසා ජේ.ආර්. ජයවර්ධන යුගයේදී තිම්පු සාකච්ඡා සඳහා රජයේ නියෝජිතයකු ලෙස සහභාගි වූයේද එස්මන්ඩ් වික්‍රමසිංහය. ඔහුගේ පළමු හෘදයාබාධයට මුහුණ දීමට සිදුවූයේද මෙහිදීය.

‘‘තාත්තාගේ උපන් දිනයකදී අපේ ගෙදර ආපු ජේ.ආර්. සහ ප්‍රේමදාසගේ කතාවක ප්‍රතිඵලයක් විදිහට තමයි තාත්තා තිම්පු සාකච්ඡාවලට යන්නේ. එදා ඒ උපන් දිනයට ලලිත් ඇතුලත්මුදලිත්, ගාමිණී දිසානායකත් ඇවිත් හිටියා.

මෙහිදී රොමේෂ් බන්දාරිගේ මිතුරුකමත්, මහාචාර්ය බුල්ජන්ස්ගේ මිතුරුකමත් උපයෝගී කරගත් එස්මන්ඩ් වික්‍රමසිංහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉන්දියාවෙන් ලැබෙන උපකාර නතර කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේය. මන්ද ඒ වන විටත් හෙළිදරව් වූ කාරණයක් වූයේ ලංකාවේ හමුදාවටත් වඩා නවීන ආයුද එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු බවටය. රජීව් ගාන්ධි සමග සාකච්ඡා කොට කොටින්ට ආයුද එන මාර්ග අවහිර කිරීමට පියවර ගැනුණේ එස්මන්ඩ්ගේ සම්බන්ධකම් නිසාවෙනි. අපේ පවුලේ හැම දෙනාටම එක් එක් ව්‍යාපාර තිබුණා. ඒ ව්‍යාපාර සියල්ලටම තිබුණේ සිංහල නම්. වර්ණ, ජන, සංගීත සහ සත්තර යන ව්‍යාපාරික නම් දැම්මේ මංජු ශ්‍රී මහත්තයාය. මනමේ, සිංහබාහු, ආදී නාට්‍ය ගීත තැටිගත වූයේ සංගීත නමින් ශාන්ත පුතු සමග නාලනී මව විසින් ආරම්භ කළ ව්‍යාපාරය මගිනි. විවෘත ආර්ථිකය පැමිණීමත් සමග එම තැටි ව්‍යාපාරය අඩපණ වී ඇත. වර්ණ නමින් වූ මුද්‍රණ ව්‍යාපාරය තමන් යටතේ ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. මේ සෑම ව්‍යාපාරයකම කාලය අවුරුදු 60 පසු කර ගොසිනි.

‘‘අපේ ඔක්කොම විවාහ වුණේ ආදර සම්බන්ධතාවලින්. හැබැයි අම්මා පොරොන්දම් බලලා හැම දෙයක්ම කළේ සිරිත් විරිත්වලට අනුවයි. මම උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. මට වියදමට ගෙදරින් සල්ලි ඒව්වා. ඒත් අනිත් ළමයි සල්ලි හොයාගන්න කෙන්ටකි එකේ ජොබ් කළා. එතකොට පැයකට පවුමක් ලැබුණා. ඉතින් මටත් හිතුණා ජොබ් එකක් කරලා මුදල් හොයා ගන්න ඕනේ කියලා. මමත් කෙන්ටකි එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මුදල් හොයාගෙන මගේ මුල්ම කාර් එක ගත්තා.

දෙමව්පියන්ගෙන් ලත් ආභාෂය හේතුවෙන් වික්‍රමසිංහ දරුවන්ට ආගම දහම පිළිබඳ ඇත්තේද නොමද ගෞරවයකි. භක්තියකි. කොල්ලුපිටිය වාළුකාරාමය විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිත්වය සහ විජයවර්ධන පරම්පරාවේ උරුමය ඇති සේදවත්ත පන්සලේ දායක සභාවේ ලේකම් ධුරය දරන්නේද චන්න වික්‍රමසිංහයන්ය. ඔබේ වැඩිමහල් සහෝදරයා රටේ ජනාධිපති. ඔබට යම් තනතුරක් ලබා දුනහොත් ඔබ මොකද කරන්නේ? අපේ පැනයට ඔහුගෙන් පළමුව ලැබුණේ උස් සිනහවකි.

‘‘ඔහු මට තනතුරු දෙන්නෙත් නැහැ. මම බාර ගන්නෙත් නැහැ.’‘

ඕනෙම දෙයක් කරන්න එයට අවශ්‍ය විශේෂඥ දැනුම තියෙන්න ඕනේ. ඔහු කතාව අවසන් කළේ එලෙසිනි. අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් විසින් නැවත ගොඩනැගිය නොහැකි දේශපාලන ඉතිහාසයක් බිමට සමතලා කර ඇත්තේ මෙලෙසිනි. දීප්ති ප්‍රමිතා අධිකාරී
loading...