brand logo
logo
තාජුඩීන් කජ්ජාත් අරන් මිනී වළෙන් නැගිටියි!

තාජුඩීන් කජ්ජාත් අරන් මිනී වළෙන් නැගිටියි!

05 October 2025

දැන් යළිදු වරක් වසීම් තාජුඩීන් මිනී වළෙන් නැගිට ඇත්තේය. දැන් යනුවෙන් කීවේ ආණ්ඩුව මාරුවෙන විට වසීම් තාජුඩීන් මින් පෙරද ගොඩ ගත් නිසාය. මෙවර ඔහු ගොඩ ගත්තේ තනිවම නොවේ. මීට අට මාසයකට පෙර මියගිය මිද්දෙණියේ කජ්ජා සමගම ය.


කොළඹ සමාජයේ ප්‍රකට රග්බි ක්‍රීඩකයකු වූ තාජුඩීන් හා පාතාලයකු බව කියන කජ්ජා අතර කිසිදු සබඳතාවක් නැතිමුත් ඒ සබඳතාව ඇති කළේ පොලිසියය.


වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් ගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහු ගමන් කළ මෝටර් රියට පිටුපසින් මෝටර් රියක් ලුහුබැඳ ඇති බවත් එහි මිද්දෙණියේ කජ්ජා නොහොත් අනුර විදානගමගේ සිට ඇතැයි හඳුනාගත් බවයි.


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිද්ධ වෙන්නේ දෙදහස් දොළහ වසරේ මැයි මාසයේදී ය. එකල ඔහුගේ සිරුර හමුවන්නේ කොළඹ උද්‍යාන පාරේ මෝටර් රථයක් තුළ තිබියදීය. සිරුර හමුවන අවස්ථාවේ මෝටර් රථය සමගින් සිරුර පිලිස්සි තිබී ඇත. තාජුඩීන්ගේ මරණය ගැන පොලිසිය මුලින් කීවේ එය හදිසි අනතුරකින් වී ඇති මරණයක් ලෙසය. එහෙත් තාජුඩීන්ගේ ඥාතීහු ඉන් සෑහීමකට පත් නොවූහ. ඔවුහු යළි පරීක්ෂණයක් ඉල්ලූහ. ඒ පරීක්ෂණය කරන්නට දෙදහස් පහළොවේ ආණ්ඩු පෙරළිය වනතුරු ඉන්නට සිද්ධ වුණේය. තාජුඩීන්ගේ දේහය ගොඩ ගත්තේය.


දෙවැනි වාරයටත් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවයි. ඔහුගේ දෙපා, ගෙල හා පපු ප්‍රදේශයට කළ පහරදීම්වලින් වූ තුවාල හේතුවෙන් මරණය වී ඇතැයි එවර කියා තිබුණේය. තාජුඩීන්ගේ මරණය පසුව ඝාතනයක් බවට හඳුනාගත්තත් එයට සැබෑ වගකිවයුත්තා කවුදැයි එවරද හෙළිදරව් නොවීය. ‘‘සන්ඩේ ලීඩර්’’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය මෙන් තාජුඩීන්ගේ ඝාතනයද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. 2015 යහපාලන ආණ්ඩුව පත්වූ වේලේ තාජුඩීන් මිනීවළෙන් නැගිට්ටුවා පරීක්ෂණ කළේද පොලිසියය. වසර ගණනාවකට පසු යළිදු වාරයක් පොලිසිය තාජුඩීන් මිනී වළෙන් එළියට ගෙන පරීක්ෂණයන් පටන්නා ලකුණු පෙනේ. තාජුඩීන්ගේ මාමා යැයි කියන අයෙක් ද ඥාති පුතාගේ ඝාතනය ගැන යළි හොයන්නැයි අලුත් ආණ්ඩුවට කියා තිබුණේය. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පොලිසිය තාජුඩීන්ගේ මරණය ගැන කියද්දී මිද්දෙණියේ කජ්ජා ගැනද කීවේය.


පොලිසිය කීවේ තාජුඩීන් ඝාතනය වූ දිනයේ ගමන්කළ මෝටර් රිය ලුහුබැඳ ගිය අනෙක් මෝටර් රියේ සිටි පුද්ගලයා කජ්ජා බවය. ඒ සිටින්නේ කජ්ජා බවට හඳුනාගෙන ඇතැයි කියන්නේ ඔහුගේ බිරිය ය. මිද්දෙණියේ කජ්ජා නොහොත් අරුණ විදානගමගේ ද දැන් ජීවතුන් අතර නැත. ඉකුත් පෙබරවාරි මාසයේ දහඅට වැනිදා රාත්‍රි කජ්ජා පරලොව ගියේය. ඔහු ගියේ තනිව නොවේ. හය හැවිරිදි දියණියත් නව හැවිරිදි පුතාත් සමගය.


සිය පිරිමි දරුවන් දෙදෙනාත් දැරියත් සමග කල් ගෙවූ කජ්ජා එදින රාත්‍රි මිද්දෙණිය ගල්පොත්තයාය හන්දියේ කඩයකට ගොස් සිටියේ රාත්‍රි කෑම මිලදී ගන්නටය. එසේ ගිය ඔහු වෙඩි වරුසාවකට මැදි වුණේ බාල දරුවන් දෙදෙනාටද දිවි අහිමි කරමිනි. පහළොස් හැවිරිදි වියෙහි පසුවූ වැඩිමහල් පුතා එදා දිවි ගලවා ගත්තේය. මේ වෙද්දි කජ්ජාගේ බිරිය සිය දරු පවුල අතහැර අනියම් පෙමක් සොයාගෙන ගෙයින් එළියට ගොස් සිටියාය.


කජ්ජාගේ ඝාතනය ගැන එකල චෝදනා එල්ල වූයේ බැකෝ සමන් නමැති අපරාධකරුට ය. පසුගියදා ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගත්තේ මේ කියන බැකෝ සමන් ය. ඔවුන් සමග අත්අඩංගුවට ගත් තැඹිලි ළහිරුගේ නමද කජ්ජා ඝාතනයට ගෑවුණේය.


කජ්ජාගේ ඝාතනය මාස ගණනාවකට පසු යළිදු වාරයක් කරළියට එන්නේ බැකෝ සමන් ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට ගත් පසුව ය. පඳුරට විද්ද පොලිසියට එළියට පැන්න හාවුන් කිහිප දෙනෙක්ම අල්ලා ගන්නට පුළුවන් වුණේය. මිද්දෙණියේ සම්පත් මනම්පේරි ඉන් එකෙකි.


සම්පත් මනම්පේරි යැයි කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයකි. ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ අයිස් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණියේ පෞද්ගලික ඉඩමක වළ දැමූ බව කියන සිද්ධියකටය. අයිස් ගැන සෙවූ පොලිසියට අවි ආයුධ, පතුරොම් තොග ගණනින් හමුවුණේය. මේ අතරේ ඔහු තවත් හෙළිදරව්වක් කළේය. ඒ, කජ්ජා ඝාතනයට යොදාගත් අවි ආයුධ මතුගම සිට මිද්දෙණියට ගෙනැවිත් දුන්නේ ඔහු යැයි කියාය. මේ ආයුධ කෙහෙල්බද්දර පද්මේගේ ඒවාය. ආයුධ ප්‍රවාහනය කරන කාරිය කෙරුණේ බැකෝ සමන්ගේ උපදෙස් අනුවය.


කජ්ජාගේ ඝාතනය ගැන පැටලුණු නූල් බෝලය එහෙන් මෙහෙන් දිග හැරෙද්දි තාජුඩීන්ගේ ඝාතනයද එළියට ආවේය. ඒ, කජ්ජාගේ ඝාතනය ගැන කජ්ජාගේ බිරිය දන්නා තොරතුරු සොයා යන ගමනේදීය. පොලිසිය කියන හැටියට කජ්ජාගේ බිරිය ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී සිය නීත්‍යනුකූල සැමියා සහ දරු දෙදෙනාගේ ඝාතනය ගැන තොරතුරු පොලිසියට කියා ඇත්තේය. ඇය කියා ඇත්තේ සැමියාගේ ඝාතනයට බැකෝ සමන්ගේ සම්බන්ධයක් ඇති බවය. කජ්ජා ඝාතනය වෙන්නට පෙර මරණ තර්ජන තිබූ බවද ඇය පොලිසියට කීවාය. කජ්ජාද මේ බව සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී වරක් කියා තිබුණේය. මේ සම්මුඛ සාකච්ඡාවේදී වසීම් තාජුඩීන්ගේ ඝාතනය ගැනද කජ්ජා තොරතුරු කියා ඇත්තේය. තාජුඩීන්ගේ ඝාතනය යළි කරළියට එන්නේ එහෙමය.


තාජුඩීන්ගේ ඝාතනය ගැන පොලිසිය යළි විමර්ශන අරඹද්දි කජ්ජාගේ බිරියගෙන්ද ඒ ගැන ප්‍රශ්න කළේය. එදා තාජුඩීන් ගිය මෝටර් රිය පසුපස ගිය මෝටර් රියේ සීසීටීවී දර්ශන පෙන්වූ විට එහි සිටින්නේ තමාගේ සැමියා බව කජ්ජාගේ බිරිය කියූ බව පොලිසිය පවසන්නේය. තාජුඩීන්ගේ ඝාතනයට කජ්ජාගේ නම ගෑවෙන්නේ එහෙමය.


කජ්ජාගේ නම කී විට මිද්දෙණිය, වීරකැටියේ උදවිය නොදන්නා කෙනෙක් නැති තරම්ය. බස් කිහිපයක හිමිකරුවකු වූ ඔහු හෝටලයක්ද පවත්වාගෙන ගියේය. ඊටත් වඩා ඔහු ගමේ ප්‍රසිද්ධ වූයේ ගමේ චණ්ඩියා හැටියට ය. පුද්ගලයන් බියවද්දා කප්පම් ගැනීමේ සිද්ධින් කිහිපයකටම කජ්ජාගේ නම පොලිස් පොතේ ලියැවුණේය. අවි ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාද ඔහුට එල්ල විය. එදා ඔහු මහමගදී ඝාතනය වෙන විටත් ඔහු ළඟ තිබූ මාංචු කුට්ටමක් පොලිසිය සොයාගත්තේය.


කෙසේ නමුදු කජ්ජාගේ නම තාජුඩීන්ගේ ඝාතනයට ගෑවුණු විට කජ්ජාගේ වැඩිමහලු පුතා බව කියන ඉඳුවර විදානගමගේ සමාජ මාධ්‍යයෙන් හඬ අවධි කළේය. ඒ ඉඳුවර විදානගමගේ නමැති ෆේස්බුක් ප්‍රොෆයිලයකිනි. ඔහු පවසන්නේ තාජුඩීන්ගේ ඝාතනයට අනුර විදානගමගේ නොහොත් කජ්ජාගේ සම්බන්ධයක් ඇති බවට පැතිර යන තොරතුර අසත්‍ය බවය. අම්මාට පෙන්වූ සීසීටීවී දර්ශන තමන්ද දුටු බවත් එහි සිටින්නේ තාත්තා නොවන බවට හඳුනාගත් බවත් ඔහු කියන්නේය.


“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීට මාස තුනකට විතර කලින් මටත් සී.සී.ටී.වී. වීඩියෝ එක පෙන්නුවා. ඒ හිටියෙ මගෙ තාත්තා නොවෙයි කියලා මම හඳුනාගත්තා. මගේ තාත්තා මට හඳුනාගන්න බැරි වෙන්න විදියක් නැහැනෙ. මම කිව්වා ඒ මගෙ තාත්තා නොවෙයි කියලා. මම ඉන්න තැනම අම්මත් කිව්වා ඒ මගෙ මහත්තයා නොවෙයි කියලා. හැබැයි ඊට පස්සෙ විනාඩි දහයකට විතර අම්මාව වෙනම කතාකරන්න අරගත්තා. එතකොට වෙන්නැති අම්මා කියන්න ඇත්තෙ..” ඉඳුවර කියන්නේය.


කෙසේ නමුදු කජ්ජාගේ සහ තාජුඩීන්ගේ ඝාතනවලට සැබෑ වගකිවයුත්තා කවුදැයි කියන්නට පොලිසියවත් තවම දන්නේ නැත. ඒ ගැන හරියටම දැනගන්නට නම් කජ්ජාටත් තාජුඩීන්ටත් මිනී වළෙන් නැගිට එන්නට සිද්ධ වනු ඇත.

 

More News..