brand logo
logo
සඳ මත ජීවත් වීමට කඳවුරක් තනන ලෝක බලවතුන්ගේ තුන් කොන් සටන

සඳ මත ජීවත් වීමට කඳවුරක් තනන ලෝක බලවතුන්ගේ තුන් කොන් සටන

14 October 2026 | •සී.ඩී. රණසිංහ

සඳේ සිට පෘථිවියට අධිවේගී මාර්ගයේ පැමිණීමට පැයක්වත් ගත වන්නේ නැත. අහස සූරන නිවාස සංකීර්ණ සහ ‍කාර්යාලවලින් චන්ද්‍ර භූමිය කෙතරම් වැසී ඇද්දැයි කිවහොත් ආවාට පෙනෙන්නට නැත.


මෙය විද්‍යා ප්‍රබන්ධයක පරිච්ඡේදයක්නම් නොවේ. මිනිසා සඳට ඉනිමං තනන්නේ අද ඊයේ නොව කලක සිටය. මේ වන විට ඔවුහු චන්ද්‍රයා මත අහස සූරන මැදුරු පෘථිවියේ සිට සිත්තම් කරමින් සිටිති. සඳ මත මිනිසුන්ට ජීවත් වීමට සහ වැඩ කිරීමට හැකි කඳවුරක් ඉදිකිරීම සඳහා ඇමරිකාව, චීනය සහ රුසියාව තුන් කොන් සටනක නිරතව සිටියි. මේ සෑම රටකටම වසර 2030 වන විට එකී සටනින් ජය ගැනීමට නම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් අවශ්‍ය වී තිබේ. රුසියාව සහ චීනය තමන්ගේම සැලසුම් මත කටයුතු කරමින් සිටී. යම් හෙයකින් අදාළ සැලසුම් වැරදුනහොත් කුමක් සිදුවේද? රොකට්ටුවක් අසාර්ථක වීමක් නිසා අභ්‍යවකාශ මෙහෙයුමක් භයානක න්‍යෂ්ටික සිහිනයක් බවට ද පත් විය හැකිය.


සඳෙහි සිදුවන න්‍යෂ්ඨික අනතුරක් නිසා එහි ඇතැම් ප්‍රදේශ මිනිසුන්ට වාසය කළ නොහැකි තත්ත්වයට පත් විය හැකිය. මීට පෙර හඳට යන සටන තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතරය. මෙවර ඊට චීනය ද එක්වී ඇත. සියල්ලන්ගේම ඉලක්කය සඳ වෙත මුලින්ම ළඟා වීමටය. චීනය සහ රුසියාව අතර පවතින්නේ ද්වන්ධ සටනකි. ‍සඳ වෙත ළඟා වීම මෙන්ම එහි රැඳී සිටීමට ද ඔවුනට අවශ්‍යවේ. ඒ සඳහා ඔවුන් සඳ මත ස්ථිර චන්ද්‍ර කඳවුරු පිහිටුවිය යුතුය. සෞරග්‍රහ මණ්ඩලය පුරා දියත් කෙරෙන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සඳෙහි ඇති ජලය සහ අනෙකුත් සම්පත් භාවිත කිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. මේ සඳහා ඇති යතුර න්‍යෂ්ටික බලය බව ඔවුහු විශ්වාස කරති.


එනමුත් මේ රටවලට සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක අවශ්‍ය වන්නේ ඇයි? ඒ සතුරු ජාතිය සමූල ඝාතනය කිරීමට නොවේ. සඳෙහි ඉතා දිගු රාත්‍රින් පවතී. සමහර රාත්‍රින් සති දෙකකට වඩා වැඩි කාලයක් දිගුය. මෙයින් අදහස් වන්නේ සූර්ය පැනල මගින් රාත්‍රිය ආලෝකවත් කළ නොහැකි බවයි. එහෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවලට විදුලිය උත්පාදනය කිරීම සඳහා සූර්යාලෝකය අවශ්‍ය නොවේ.


අවම නඩත්තුවකින් වසර ගණනාවක් ඒවා ක්‍රියාත්මක කළ හැකි බව විද්‍යාඥයෝ පවසති. එමගින් චන්ද්‍ර රෝවර් ආරෝපණය කිරීමට සහ ගගනගාමීන්ට ආධාර කළ හැකිය. අවසානයේදී එමගින් මුළු චන්ද්‍ර කඳවුරකටම බලය සැපයිය හැකිය.

ඇමරිකාව සිය චන්ද්‍ර ප්‍රතික්‍රියාකාරක සැලසුම් වේගවත් කරමින් සිටී. වසර 2030 වන විට සඳ මත ප්‍රතික්‍රියාකාරකයක් පිහිටුවීම ඔවුන්ගේ අරමුණයි. ඇමරිකානු අභ්‍යවකාශ ආයතනය වන නාසා (NASA)හි ප්‍රතික්‍රියාකාරකයට කිලෝවොට් 20ක විදුලියක් නිෂ්පාදනය කළ හැකිය. එය දළ වශයෙන් ඇමරිකානු නිවාස සොළසකට පමණ ප්‍රමාණවත් වේ. කිසිදු මැදිහත් වීමකින් තොරව වසර පහකින් ඒ අභියෝගය ජය ගැනීමට ඔවුනට හැකියාව තිබේ.

රුසියාව සහ චීනය ද තමන්ගේම චන්ද්‍ර ප්‍රතික්‍රියාකාරකයක් මත ක්‍රියා කරමින් සිටියි. එය ‘සෙලේනා (Selena)’ නමින් හැඳින්වේ. එයට කිලෝවොට් 10ක් දක්වා විදුලිය උත්පාදනය කළ හැකි අතර වසර 2036 වන විට එය සඳ මත පිහිටුවීමට ඔවුන් සැලසුම් කර ඇත.

එසේ නමුත් සඳ වෙත ප්‍රතික්‍රියාකාරකයක් රැගෙන යාම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. මීට පෙර මෙවැනි කිසිවක් එහි ස්ථාපනය කර නොමැති අතර එහි අඩු ගුරුත්වාකර්ෂණ පෘෂ්ඨය මතට මෙතරම් බරැති උපකරණ කිසිවක් ගොඩ බැස්සවීමක් ද සිදු කර නැත. සඳ මත අධික උෂ්ණත්වයක් පවතින අතර විකිරණවලට උචිත නොවන පරිසරයක් එහි පවතී.

මේ අතර රොකට් අභ්‍යකාශගත කිරීමේදී සිදුවන අනතුරු හේතුවෙන් විකිරණශීලී ද්‍රව්‍ය පෘථිවියට ළඟා වීමේ හැකියාවක් පවතින බවට විද්‍යාඥයෝ බිය පළ කරති. එපමණක් නොව චන්ද්‍ර අනතුරක් හේතුවෙන් සඳෙහි සමහර ප්‍රදේශ මිනිසුන්ට සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයට ද පත් විය හැකිය.

විද්‍යාඥයන් මෙසේ බිය වීමට සාධාරණ හේතුවක් පවතී. වර්ෂ 1978 දී රුසියානු චන්ද්‍රිකාවක් කැනඩාවට කඩා වැටිණි. එහි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් රැගෙන ගොස් තිබූ අතර වර්ග සැතපුම් දහස් ගණනක් පුරා විකිරණශීලී ද්‍රව්‍ය පැතිර ගියේය. විකිරණ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් ඇරැඹුව ද වසරකට ආසන්න කාලයක් එය ක්‍රියාත්මක කළ ද ඉවත් කළ හැකි වූයේ විකිරණශීලී ද්‍රව්‍යවලින් සියයට බිංදුවයි දශම එකක් (0.1%) පමණ බව වාර්තාවේ.

2019 වසරේදී ද රුසියානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මිසයිලයක් මුහුදට කඩා වැටුණු බව වාර්තා විය. එය ගොඩගැනීමේ උත්සාහයන් අතරතුර න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු වූ බව ද සැක කෙරේ. අවම වශයෙන් සේවකයන් පස් දෙනකු මේ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ. එහෙත් රුසියාව ඒ සිදුවීම අදට ද අබිරහසක් කර ගෙන ඇති අතර ඒ සම්බන්ධ පුවත් ප්‍රතික්ෂේප කර ඇත.

තත්ත්වය මෙසේ තිබියදී මිනිස් වර්ගයාට ආරක්ෂිතව සඳ මත න්‍යෂ්ටික බලය ගොඩනඟා ගත හැකිද? එය තාක්ෂණික වශයෙන් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති. එසේ නමුත් අධි ධාවනයක යෙදෙන තුන්කොන් සටනක නිරත මෙම ප්‍රබල රටවල් ඉවක් බවක් නැති ව තරඟකාරීව ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙද්දී පෘථිවි තලයේ ශාක සහ සත්ව ප්‍රජාවගේ ඉරණම ගැන කෙලෙස සිතාවිද?

සෞරග්‍රහ මණ්ඩලය පුරා දියත් කෙරෙන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සඳෙහි ඇති ජලය සහ අනෙකුත් සම්පත් භාවිත කිරීමට අමතරව මේ රටවල් තරගයට සඳ ආක්‍රමණය කිරීමේ තවත් රහසක් ද තිබේ. සඳට යවන ලද අභ්‍යවකාශ යානා මගින් හෙළිව ඇත්තේ සඳ මතුපිට ජලය, හීලියම් ඇතුළු මිල කළ නොහැකි තරම් වටිනා ඛනිජ ද්‍රව්‍ය රැසක් අඩංගු බව ය. ඒවා සියතට ගන්නා බලවතාට ක්වඩ්‍රිලියන ගණනින් මුදල් උපයා ගැනීමට වරම් ලැබෙයි. එක් ක්වඩ්‍රිලියනයක වටිනාකම 1,000,000,000,000,000කි. (ක්වඩ්‍රිලියනයක් යනු බිලියන දහසකි). ස්මාට්ෆෝන් සෑදීමට අවශ්‍ය හීලියම් වැනි පෘථිවියේ දුලබ ලෝහ සඳ මත ඇත්තේ ආකර වශයෙනි. සඳේ ඇති මිදුණු ජලය, පානයට පමණක් නොව හයිඩ්‍රජන් හා ඔක්සිජන් වශයෙන් බිඳ හෙළීමෙන් ප්‍රයෝජනයට ගත හැකි ය. හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙසින් ද ඔක්සිජන් ආශ්වාසයට ද යොදා ගැනීමට පුළුවන.

ඒ අනුව බැලීමේදී රටවල් අතර පවතින තරගය රත්තරන් පිහාටු දෙන කිකිළියගෙන් එකවර පිහාටු සියල්ල ලබා ගැනීමට යාමක් විය හැකිය. අවසන සියලු ජීවීන් වනසමින් සඳත්, පෘථිවියත් විනාශ නොවුණොත් එයද පුදුමයක් නොවේ. එබැවින් අපට වැටහෙන්නේ ‘තණ්හා පච්ඡයා වේදනා’ යන බුදු වදන මෙවැනි රටවල නායකයන්ගේ සවන් වැකී නොමැති බවයි.


 

More News..