brand logo
logo
 පිල්ලයාන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි

පිල්ලයාන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි

15 June 2026


නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (15) කරුණු වාර්තා කර තිබේ.


2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති ඝාතන වන්නේ,


2008 ජනවාරි 09 වනදා මඩකලපුව, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.


2008 මැයි 22 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.


2008 අගෝස්තු 20 වනදා වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී අවිගත් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.


මෙම අපරාධයන්ට අදාළව සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇත.


ඒ අනුව, පළමු සැකකරු විමර්ශන ආරම්භ වන විටත් මොහු මෙරටින් පලාගොස් විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.


අනෙක් සැකකරුවන් දෙදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන එනම් 2025 අගෝස්තු 13 සහ නොවැම්බර් 13 වන දිනවල සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් දෙදෙනෙකි.


ඔවුන් දෙදෙනා අද (15) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


මෙම පුද්ගල ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ය.


ඔහු මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගෙන වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි.


ඒ අනුව, මෙම නඩුව නැවත කැඳවන ඉදිරි දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.


මෙම බරපතළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

 

More News..