brand logo
logo
සංස්ථාව බිලියන 28ක ලාබ ලබා තිබියදීත් පෞද්ගලික සමාගම්වලට ඉන්ධන මිල වැඩිකරන්න ඉඩ දීලා

සංස්ථාව බිලියන 28ක ලාබ ලබා තිබියදීත් පෞද්ගලික සමාගම්වලට ඉන්ධන මිල වැඩිකරන්න ඉඩ දීලා

04 November 2026 | සංවාදය - සෙව්මිණී වාසල


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල සංශෝධනයට දින කිහිපයකට පෙර, 2026 ඔක්තෝබර් 25 වැනිදා ලංකා අයි.ඕ.සී. සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට කටයුතු කළේය. එම අවස්ථාවේදී ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ගණන්වල වෙනසක් වූයේ නැත. ඉන්පසුව නොවැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කළ සමස්ත මාසික මිල සංශෝධනයත් සමග, පෞද්ගලික සමාගම් විසින්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන සේ සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමන ලදී. මේ ආකාරයට නියමිත මිල සංශෝධන දිනයට පෙර පෞද්ගලික සමාගම් ඉන්ධන මිල ඉහළ දැමීම රටම මුළා කිරීමක් බව ආනන්ද පාලිත කියයි. එමෙන්ම, මෙවර මාසික මිල සංශෝධනයෙන් පසු ඉන්ධන මිල ඉහළ යාම නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවද ඔහු පෙන්වා දෙයි. මේ, ඒ ගැන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත 'අරුණ' සමග කළ සාකච්ඡාවකි.


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මාසික මිල සංශෝධන දිනයට පෙර පෞද්ගලික සමාගම් ඉන්ධන මිල ඉහළ දැමීම රටම මුළා කිරීමක් කියලා පසුගිය දවසක ඔබ කියලා තිබුණා. මොකක්ද එහෙම කියන්න හේතුව?


ඇත්තටම නියමිත දිනයට පෙර පෞද්ගලික සමාගම් ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාව මහා පරිමාණයෙන් හූරා කෑමක් වගේම රටම මුළා කිරීමක්. "අපේ මිල සූත්‍රයට පිටින් මිල ඉහළ දාන්න කාටවත් බැහැ, එහෙම කළොත් තද තීරණ ගන්නවා, සමාගම් ඉන්ධන විකිණිය යුත්තේ අපේ මිලටමයි" කියලා විෂයභාර අමාත්‍යවරයා පසුගිය දවසක මාධ්‍ය ඉදිරියේ කිව්වා. ඒත් ඇත්තටම මොකද වෙන්නේ. ලංකා අයි.ඕ.සී. සමාගම මුලින්ම ඉන්ධන මිල ඉහළ දානවා. ඉන්පසුව ඉතිරි සමාගම් දෙකත් ඒ අනුව කටයුතු කරනවා. ඇත්තටම වෙළෙඳපොළේ තෙල්වලින් ලාබ තියෙනවා කියලා පාලකයෝ හොඳටම දන්නවා. ඒත් මෝටර් සයිකල් වැනි කුඩා වාහන පාවිච්චි කරන ජනතාවට දෙන 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 81ක්ම වැඩිපුර හූරාකනවා.


මොකක්ද ඒ කතාව?


2023 වර්ෂයේදී ලංකාවට ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමේදී පැහැදිලි කොන්දේසියක් තිබුණා. ඒ අනුව මිල නියාමන කොමිසමක් සහ මිල පාලකවරයකු නිල වශයෙන් පත් කර ගන්නා තුරු, වෙන වෙනම මිල ගණන් ඉහළ දැමීමට පෞද්ගලික සමාගම්වලට අවස්ථාවක් නැහැ. ඔවුන් සියලු දෙනාම ඉන්ධන විකිණිය යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන මිලටමයි. මෙම නීතිමය පසුබිම නිසයි පෞද්ගලික සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමිය නොහැකියි කියලා ප්‍රකාශ කළේ. එහෙම කළොත් නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියලා පසුගිය 10 වැනිදා අමාත්‍යවරයා දැඩි ප්‍රකාශයක් කළා. විදේශීය සමාගම්වලට ජනතාව සූරාකන්න දෙන්නේ නැහැ, මේ දූෂණ සූත්‍ර ගලවලා දානවා කියලයි බලයට පැමිණීමට පෙර ජාතික ජන බලවේගය කිව්වේ. ඒත් දැන් ආණ්ඩුව බලයට ඇවිත් වසර දෙකකුත් වෙලා. දැන් ආණ්ඩුව සහ පෞද්ගලික සමාගම් කියන පාර්ශ්ව දෙකම එකතු වෙලා පැරණි ගිවිසුම්වලට අලුත් මිලක් දාලා ජනතාවගෙන් ගසාකමින් සිටිනවා. ජනතාව දුන් ජනවරමට පිටින් ගිහින් විදේශීය සමාගම්වලට හූරාකන්න ජනතාව බිලි දීලා තියෙනවා. අපි ඒකට කිසිසේත්ම එකඟ නෑ. කොහොම වුණත් පෞද්ගලික සමාගම් ඉන්ධන මිල ඉහළ දාලා දින කිහිපයකින් එනම් නොවැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව මාසික ඉන්ධන මිල සංශෝධනයත් කළා. ඒ ඉන්ධන මිල සංශෝධනයත් එක්ක ජනතාව තවත් අසරණ වුණා. ඇත්තටම මේ වෙලා තියෙන්නේ ඉන්ධන මිල වැඩි වීමක් මිස මිල සංශෝධනයක් නොවෙයි. ඒත් මේ වන විටත් අවම වශයෙන් ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක්වත් අඩු කරලා සහන දෙන්න පුළුවන්කම තිබෙනවා.


කොහොමද එහෙම සහන දෙන්නේ?


ඉන්ධන ගෙන්වීමේදී වන රුපියල් 50 ගසාකෑම අයින් කරනවා කියලා මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා. ඒත් ඔවුන් දුන් පොරොන්දුව ඔවුන්ම සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළා. 2026 ජූලි මාසයේ සිට ජනතාව පිට බර පටවලා කෝටි 288ක් මේ වන විටත් කපාගෙන අවසන්. "ගුවන් යානා ඉන්ධනවලින් ලැබෙන ලාබයෙන් කළමනාකරණය කරගන්නවා. ඉදිරි මාස තුනේදී ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ" කියලා විෂයභාර අමාත්‍යවරයා සහ සභාපතිවරයා කිව්වා. පෞද්ගලික සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලත් ප්‍රකාශ කළා. ඒත් අද වන විට රුපියල් 5 සිට 15 දක්වා මිල ඉහළ දාලා තියෙනවා. එපමණක් නොවෙයි, අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම් නොවැම්බර් මාසයේ ඉන්ධන මිල රුපියල් 20කින් වැඩි කරලා. ගිවිසුම් නිසා කරන්න දෙයක් නැහැ කියලා ඇමැතිවරයා දැන් කියනවා. සංස්ථාව බිලියන 28ක ලාබ ලබා තිබියදීත්, පෞද්ගලික සමාගම්වලට ඉන්ධන මිල වැඩිකරන්න ඉඩ දීලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා.


ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති වීම වැළැක්වීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි කියලා යම් යම් පාර්ශ්ව කියනවා නේද?


පෝලිම් නැති කිරීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි කියන කාරණාව, ජනතාව රවටලා තමන්ගේ වාසිය වෙනුවෙන් කරන උපක්‍රමශීලී ප්‍රකාශයක් පමණයි. මාර්තු 30 වැනිදා වන තුරු ඉන්ධන මිල ඉහළ දමන්නේ නැහැ කියලා මේ වසරේ පෙබරවාරි මාසයේ බලධාරීන් කිව්වා. නමුත් මාර්තු මාසය තුළ පමණක් අවස්ථා තුනකදී ඉන්ධන මිල ඉහළ දැමීමට ඔවුන් කටයුතු කළා. අනෙක් අතට, නීතියට අනුව ඉන්ධන මිල තීරණය කිරීමේ ප්‍රධාන බලය තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවටයි. සංස්ථා මිල ඉක්මවලා වෙනත් මිල ගණන්වලට ඉන්ධන විකුණන්න පෞද්ගලික සමාගම්වලට කිසිදු අවසරයක් නැහැ. එසේ තිබියදීත් ඉන්ධන මිල ඉහළ දාලා පෝලිම් නැති කරනවා කියලා කියන එකම විහිළුවක්. පෝලිම් නැති කිරීමට කළ යුත්තේ පවතින ඉන්ධන තොග සියලුම පිරවුම්හල්වලට නිසි පරිදි බෙදා හැරීම මිස ඉන්ධන මිල ඉහළ දැමීම නොවෙයි.


ඉන්ධන හිඟයක් ඇති වෙලා නැවැත ජනතාවට පැය ගණන් පෝලිම්වල ඉන්න වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයිද?


රජය සහ සමාගම් සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව කියැවෙනවානේ. ගිවිසුම් ප්‍රකාරව ඒවා වහාම පිරවුම්හල්වලට නිකුත් කිරීමයි කළ යුතුව තියෙන්නේ. ඉන්ධන තොග සඟවාගෙන කෘත්‍රිමව පෝළිම් නිර්මාණය කරන්නේ ජනතාව පීඩනයට පත්කරලා ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා මිස වෙනත් දෙයක් සඳහා නොවෙයි. පාලකයන් සහ පෞද්ගලික සමාගම් එකතුවෙලා කෘත්‍රිම පෝලිම් පෙන්වලා ජනතාව බිය ගැන්වීමක් කරනවා කියලයි අපිට නම් හිතෙන්නේ. ඔවුන් හිතුමතේ මිල ඉහළ දමමින් ජනතාව සතු ධනය අසාධාරණ ලෙස උදුරා ගන්නවා. ඒකට අපි එකඟ නෑ.


පවතින මිල ව්‍යුහය යටතේ තමන්ට පාඩුවන නිසා පසුගිය දවස්වල ඉන්ධන නිකුත් කිරීම සීමා කළා කියලා පෞද්ගලික සමාගම් කියලා තිබුණා....


පවතින මිල ව්‍යුහය යටතේ තමන්ට පාඩු වන නිසා ඇණවුම් නිකුත් කිරීම සීමා කළා කියලා පෞද්ගලික සමාගම් කියන කතාව පිටුපස තිබෙන්නේ, ආණ්ඩුවේ සහ සමාගම්වල ද්විත්ව පිළිවෙතයි. පසුගිය රජය එකඟ වූ මිල සූත්‍රය, මේ රජය බලයට පැමිණි පසුවත් වෙනස් නොකර ඒ අයුරින්ම පිළිගෙන තිබෙනවා. එය සංශෝධනය කිරීමට ගෙන ආ කැබිනට් පත්‍රිකාව පවා යළි හරවා යවමින්, මිල සූත්‍රය දශමයකින්වත් වෙනස් කිරීමට කටයුතු කරලා නැහැ. "ඉන්ධන මිල පාලනය කිරීමට රජයෙන් සහන මුදල් දෙනවා නම් සමාගම්ද ඊට යටත් විය යුතුයි. බදු සහන දෙනවා නම් දෙපාර්ශ්වයටම දිය යුතුයි" කියලා ජනාධිපතිවරයා පවා කිව්වා. නමුත් සැබෑ විසඳුම වන මිල නියාමන කොමිසම සහ මිල පාලකවරුන් යටතට පෞද්ගලික සමාගම් ගෙන ඒමට රජය මෙතෙක් ක්‍රියා කරලා නැහැ.


සැබෑ විසඳුම් ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියාකරලා නැහැ යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද?


පෞද්ගලික සමාගම්වලට අලුතෙන් පිරවුම්හල් 550ක් දීමේදී, තමන්ට ස්ථාවර මිලක් දෙන්නේ නම් පමණක් ඇණවුම් දෙන බව සමාගම් රජයට කියලා තිබුණා. රජය එම මිල සූත්‍රය විනිවිදභාවයකින් යුතුව, ජනතාවාදීව ක්‍රියාත්මක කරන්නේ නැහැ. රජය ජනතාවගේ පැත්තේ ඉන්නවා නම්, සමාගම්වලට හිතුමතේ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැනේ. රුපියල් 50ක බද්ද ඉවත් කරනවා කියලා පොරොන්දු වුවත්, මහා භාණ්ඩාගාරය හරහා තවමත් සියලු බදු එකතු කරමින් ජනතාව මතම බර පටවමින් ඉන්නවා. ඉන්ධන ජනතාවගේ රුධිරය හා සමානයි කියලා බලයට පැමිණි ආණ්ඩුව, ජනතාවට සහන දීම පසෙකලා බදු මුදල්වලින් භාණ්ඩාගාරය පුරවා ගන්නවා. අනෙක් පැත්තෙන්, සමාගම් නීතිවිරෝධී ලෙස මිල ඉහළ දාලා ජනතාව සූරාකනවා. ඊට එරෙහිව කිසිදු දැඩි ක්‍රියාමාර්ගයක් නොගෙන රජය නිහඬව ඉන්නවා.


පෙට්‍රල් මිල ඉහළ දැමීමෙන් සාමාන්‍ය පාරිභෝගිකයාට සහ පොදු ප්‍රවාහනයට බලපෑමක් නැහැ කියලත් කතාවක් තියෙනවනේ?


ඇත්තටම ඉන්ධන මිල ඉහළ දැමීම සාමාන්‍ය පාරිභෝගිකයාට සහ පොදු ප්‍රවාහනයට බලපාන්නේ නැහැ කියන්නේ රජයේ අයයි. ජනාධිපතිවරයා, ඇමැතිවරුන් හෝ සංස්ථා සභාපතිවරයා ඇතුළු පාලකයන්ට ඇත්ත පීඩනය දැනෙන්නේ නැහැ. ඔවුන් අයර්ලන්තයේ හෝ නෙදර්ලන්තයේ වගේ පොදු ප්‍රවාහනයෙන් ගමන් කරන්නේ නැහැනේ. ඒත් ඒ අය අලුතෙන් වාහන ගෙන්වා ගනිමින් අසීමිත සම්පත් සහ රක්ෂණ වාරික භුක්ති විඳිනවා. ඉන්ධන මිල වැඩිවීම නිසා බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු වගේම කිරිපිටි පැකට් එකේ සිට හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ඉහළ යනවා. පොදු ප්‍රවාහනය පාවිච්චි කරන අහිංසක ජනතාව සම්පූර්ණයෙන්ම වැනසෙනවා. මිනිසුන්ට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදාකරලා, පාලකයෝ සහ නිලධාරීන් ජනතාවගේ බදු මුදලින් සියලු පහසුකම් විඳිමින් සැප වාහනවල යනවා. ඔවුන් තමන්ගේ ඉන්ධන දීමනාව ලක්ෂ ගණනින් වැඩි කරගෙනයි ඉන්නේ.


ලංකාවේ ඉන්ධන මිල වැඩිවීමට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ ඉරාන-ඇමරිකානු අර්බුදය බලපාලා තියෙනවා කියලත් ආණ්ඩුව කියනවා නේද?


ආණ්ඩුව රූපවාහිනී නාළිකා සහ පුවත්පත් හරහා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිහින් කියලා පෙන්වන්නේ, ජනතාව මොනවද කියන්නේ කියලා බලන්නයි. මුලින්ම ලංකා අයි.ඕ.සී. සමාගම ලවා මිල ඉහළ දාලා පසුව ලෝක වෙළෙඳපොළේ මිල පෙන්වලා ඛනිජ තෙල් සංස්ථාවෙනුත් මිල ඉහළ දැමීමටයි ඔවුන් උත්සාහ කළේ. ඒත් මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර, ගෝලීය අර්බුද ජනතාවට බලපාන්නේ නැහැ කියලා පෙන්වන්න උත්සාහ කළා. අද වන විට සංස්ථා සභාපතිවරයාම පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් ඩොලර් 285ක වැනි ඉහළ මිලකට මිලදී ගෙන තිබෙනවා. එමෙන්ම නැව් ගාස්තු සහ රක්ෂණ වැනි අමතර පිරිවැයත් සමග, වරායට ළඟා වන විට බැරලයක මිල ඩොලර් 315ක් දක්වා තවත් ඉහළ යනවා. අපේ රටේ පිරිපහදුවලට අවශ්‍ය බොරතෙල් බැරලයක් ඩොලර් 72ක වැනි අඩු මිලකට ගැනීමට හැකියාව තිබියදී, ඉන්ධන වැඩි මිලට විදේශයන්ගෙන් මිලදී ගන්නේ කාගේ වුවමනාවටද කියන එක බරපතළ ප්‍රශ්නයක්.


රටේ පවතින ඩොලර් හිඟය සහ ඉන්ධන ගබඩා කරගැනීමේ ගැටලුත් ඉන්ධන අර්බුදයට සහ මිල ඉහළ යාමට හේතුවෙනවා කියන කතාව ගැන ඔබේ අදහස මොකක්ද?


ඩොලර් හිඟය ඇති වුණේ වත්මන් රජය විසින් කරන අනවශ්‍ය ආනයන සහ කොමිස් ගැසීම් නිසා මිස ඉන්ධන ගෙන්වීම නිසා නොවෙයි. පසුගිය රජය ඩොලර් හිඟය පාලනය කිරීමට වාහන ආනයනය නතර කරලා තිබුණා. වත්මන් රජය පැමිණි පසු ලක්ෂ 12කට වාහන දෙනවා කිව්වා. ඒත් ලක්ෂ 80 දක්වා අධික බදු ගහලා, මහා භාණ්ඩාගාරය පුරවා ගැනීමට වාහන විශාල වශයෙන් ගෙන්වීමටයි ඔවුන් ඉඩ දුන්නේ. ඒ සමග රටේ ඩොලර් පිටරටට යන්න පටන් ගත්තා. අපේ රටේ ලුණු ලේවායන් හතක් තිබියදී ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමටත්, දේශීය ගොවියා විනාශ කරමින් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් සහල් ගෙන්වීමටත් මේ ආණ්ඩුව කටයුතු කළා. එයින් විදේශයන් වෙත විශාල වශයෙන් ඩොලර් ඇදී යනවා. මේ මොහොත වන විටත් රටේ පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කරලා නැහැ. දේශීය පිරිපහදුව නවීකරණය කරලා නැහැ. ඒ අතරතුර, තවදුරටත් වාහන දහස් ගණනින් ගෙන්වීමට ඉඩ දීම නිසා ඉන්ධන සඳහා පවතින ඉල්ලුම ඉහළ යනවා. ඉන්ධන වියදමත් ඉහළ යනවා. මෙය රජය දැනුම්වත්වම කරන දෙයක්. මේ සියල්ල පිටුපස තිබෙන්නේ නිමි ඉන්ධන සහ බොරතෙල් ආනයනයෙන් එළිපිටම කොමිස් ගැනීමේ කොමිස් සූත්‍රයයි. ඩොලර් ප්‍රශ්නය මතුවුණේ ඉන්ධන ගෙන්වීම නිසා නොවෙයි. විදේශයන්ගෙන් අනවශ්‍ය භාණ්ඩ හා වාහන තොගපිටින් ගෙන්වලා, එවැනි ගනුදෙනු හරහා කොමිස් ගැසීමට රජය කටයුතු කිරීම නිසයි රට තුළ ඩොලර් ප්‍රශ්නයක් ඇති වුණේ.

 

More News..