අරාබියේ ඔටුන්න හිමි කුමරු ජීවිතය බේරාගන්න තැනින් තැනට මාරු වෙයි
14 October 2026 | පවිත්රා මධු හර්ෂණී
අරාබියේ ඔටුන්න හිමි කුමරු ජීවිතය බේරාගන්න තැනින් තැනට මාරු වෙයි
14 October 2026 | පවිත්රා මධු හර්ෂණී
ඇමරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයෙන් දැඩි අර්බුදයකට ලක්වූ මැදපෙරදිග රටවල් අතරින් මේ වනවිට දැඩි අවදානමකට මුහුණදෙමින් සිටින්නේ සෞදි අරාබියයි.
ඉරානයේ සහය ලබමින් යේමනයේ ක්රියාත්මක වන හූති කැරලිකරුවන් සෞදිය ඉලක්ක කර දිගින් දිගටම එල්ල කරන ප්රහාර ඊට හේතුවයි.
මෙවැනි තත්ත්වයක් පවතින පසුබිමක් තුළ විදෙස් ජනමාධ්ය වාර්තා සිදු කරන කරුණු අනාවරණ කිරීම් අනුව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අවසන් වරට ප්රසිද්ධියේ පෙනී සිට ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනයේදී ය.
ඒ, ජාතික රුධිර දාන ව්යාපාරයකට එක්වෙමින් රුධිරය පරිත්යාග කිරීම සඳහා ය.
කෙසේ වෙතත්, සෞදි අරාබියට එල්ල වන හූති කැරලිකරුවන්ගේ ප්රහාර උග්රවීමත් සමඟ, 41 හැවිරිදි කුමරු දැඩි ආරක්ෂාවක් සහිත රාජකීය මාලිගයක සිට තවත් ස්ථානයකට ආරක්ෂිතව ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
රුධිර පරිත්යාගයෙන් පසුව ඔටුන්න හිමි කුමරු මේ දක්වා නැවත කිසිදු ප්රසිද්ධ අවස්ථාවකට එක්වී නොමැති බව විදෙස් ජනමාධ්ය වාර්තා කර තිබේ.
කුමරුගේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු දන්නා නිලධාරීන් උපුටා දක්වමින් Wall Street Journal පුවත්පත වාර්තා කර ඇත්තේ භූගත බංකර්වලින් සමන්විත, දැඩි ආරක්ෂාවක් සහිත මාලිගා අතර ඔටුන්න හිමි කුමරු නිතර මාරුවෙමින් සිටින බවයි.
සෞදි අරාබිය සහ යේමනයේ හූති කැරලිකරුවන් අතර සටන් තීව්ර වීමත් සමඟ ආරක්ෂක තර්ජන ද ඉහළ ගොස් ඇත.
ඒ හේතුවෙන් කුමරුගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් තෝරාගත් ආරක්ෂක බලඇණියක් යොදවා තිබේ.
පසුගිය සෙනසුරාදා සෞදි අරාබිය වසර දහයකට පසු මුහුණ දුන් දරුණුතම ප්රහාරයට ලක්වූ අතර, හූති මිසයිලයක් අගනුවර පිහිටි ජාත්යන්තර ගුවන්තොටුපොළට පවා පතිත විය.
මෙම ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූවන් ඇතුළු 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඉරාන යුද්ධයට සබැඳි ගැටුම් අතරතුර ඇමරිකාවට හෝ එහි ගල්ෆ් මිත්ර පාක්ෂිකයන්ට එල්ල වූ මාරාන්තිකම ප්රහාරය මෙය බව ප්රහාරය පිළිබඳ තොරතුරු වාර්තා කරන නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්ය වාර්තා කරයි. මෙම ප්රහාරයෙන් 28 හැවිරිදි ඊජිප්තු ජාතික ගුවන් සේවිකාවකගේ අතක් සිරුරෙන් වෙන්වී යාමෙන් සිදු වූ දැඩි රුධිර වහනය හේතුවෙන් ඇය මියගොස් ඇති අතර, තවත් කිහිප දෙනකුගේම අත්පා අහිමි වී තිබේ.
ඉකුත් සෙනසුරාදා එල්ල වූ මිසයිල ප්රහාරයෙන් පසු කිං කාලිද් ජාත්යන්තර ගුවන්තොටුපොළ වසා දමා ඇති අතර, පසුගිය දින පහ තුළ එය අවස්ථා හතරකදී ප්රහාරයන්ට ලක්ව ඇත.
එල්ල වූ ප්රහාරවල බරපතලකම සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබිය ඊට ලබා දෙන ප්රතිචාරය ද එලෙසම බරපතළ වනු ඇති බවට සෞදි බලශක්ති අමාත්ය අබ්දුල් අසීස් බින් සල්මාන් කුමරු අනතුරු අඟවා තිබේ.
මේ අතර හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය එල්ල කරන ප්රහාර සඳහා එක්වීමට සලකා බලමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇති අතර පවතින ආරක්ෂක ගිවිසුම නියෝජනය කරන රියාද්හි මිත්ර පාක්ෂිකයින් ද සිය සහයෝගය පළ කර ඇත.
ඉරානයේ පූර්ණ සහය ලබන හූති කැරලිකරුවන් කලාපය තුළ සිටින ප්රබලතම සන්නද්ධ කණ්ඩායමකි.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්යාංශ ප්රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, අරාබි අර්ධද්වීපයේ සිදුවන වර්ධනයන් පිළිබඳව ටෙහෙරානය දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි. තවද මෙම සටන්වලින් අවසානයේ වාසිය අත්වන්නේ ඊශ්රායල පාලනයට පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
කලාපය තුළ තත්ත්වය උග්රවීම පිළිබඳව සෞදි අරාබියේ සහ ඉරානයේ විදේශ අමාත්යවරුන් අතර ඉරිදා පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී හමුදාමය විසඳුම් සඳහා පමණක් මුල්තැන දෙමින් දේශපාලනික තත්ත්වය නොසලකා හැරීමට එරෙහිව තමන් සෞදි පාර්ශ්වයට අනතුරු ඇඟවූ බව ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරාග්චි පැවසීය. එමෙන්ම, සෞදිය සහ හූති කැරලිකරුවන් අතර සාකච්ඡාමය මාර්ගයක් නිර්මාණය කිරීමට ටෙහෙරානය සහාය දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

