රාජකීයයන් ද පැරදවූ පිටකෝට්ටේ ඉන්ද්රසිරි දරුවෝ
29 October 2026 | ඉන්ද්රජිත් සුබසිංහ
රාජකීයයන් ද පැරදවූ පිටකෝට්ටේ ඉන්ද්රසිරි දරුවෝ
29 October 2026 | ඉන්ද්රජිත් සුබසිංහ
වොලිබෝල් ක්රීඩාව නාදුනන්නෙකුට වේවා, එම පහරේ ‘සැර’ කෙතරම්ද යන්න ඒ හඬින් තේරුම් යන්නේය. එවැනි සැර පහර එල්ල කිරීමට යකඩ අත් උවමානය. අත, නැතිනම් බාහුවට ඒ යකඩ සවිය ලැබෙනුයේ අහරින් පෝෂණයෙන් හෝ ව්යායාමයෙන් පමණක් නොව, විටෙක මේ සමාජය සමග ගැටෙමින් ලොකුමහත් වීමේදී මුහුණදීමට සිදුවන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් ඇතුළු අභියෝග හමුවේ ‘පදම් වීමෙන්’ ද ශරීර කූඩුවක පිහිටන බාහුවලට එවැනි අයෝමය සවියක් ලැබෙන්නේය.
මට අනුව නම් ‘දඩිං’ හඬින් ප්රතිවාදීන් අන්දමන්ද කර එල්ල කළ පහරේ හිමිකරුගේ බාහුවලට එවැනි පහරක් පිණිස වන අයෝමය සවිය විශේෂයෙන් එන්නත් කළේ, ඉහත දැක්වූ හේතූන් අතර දැක්වූ අවසන් හේතුවෙන් විය යුතුය.
ඒ බාහු යකඩ බාහුම පමණක් නොවේ, ඒ බාහු ‘ජය බාහු’ ය. නැතිනම් ‘විජය බාහු’ ය.
එසේ වනුයේ ‘පිටකෝට්ටේ ඉන්ද්රසිරි කනිටු විදුහල’ නම්, අප පෙර අසා හෝ නොතිබූ සිසුන් 40 ක් පමණක් සිටිනා පුංචිම පුංචි පාසලක් ලෙසින් වොලිබෝල් පිටියට බැස, ලංකාවේ වැඩිම සිසුන් සිටිනා පාසල වන, සිසුන් 8500 පමණ සිටිනා කොළඹ රාජකීය විදුහලද ඇතුළුව, ආනන්ද, නාලන්ද ආදී එම කුලකයේ සෙසු පාසල්වලට පමණක් නොව කොළඹ දිස්ත්රික්කයේ වොලිබෝල් බලපරාක්රමයන් දරන පාසල්ද අන්ද මන්ද කර පරදවමින්, ඉකුත්දා පැවැති ඩී.එස්.අයි. වොලිබෝල් තරගාවලියේදී වයස අවුරුදු 17න් පහළ දිස්ත්රික් ශූරතාව මෙන්ම 15න් පහළ දිස්ත්රික් අනුශූරතාවද හිමිකරගැනීමට මොවුන් සමත් වූ බැවිනි. සමස්ත පාසලේම සිටිනුයේ වෙනත් පාසලක එක පංතියක සිටින සිසුන්ටද වඩා අඩු සිසුන් ගණනක් බැවින්, කණ්ඩායමට සිටිය යුතු ක්රීඩකයන් 12 දෙනාද නොමැතිව, අවශ්ය විටෙක යෙදවීමට අතිරේක ක්රීඩකයෙක් හෝ නොමැතිව ඒ ජයග්රහණ සොයාගත් බැවිනි.
මේ සියල්ල ඉක්මවූ ජයග්රහණයේ සුවිශේෂත්වය වනුයේ, අම්මාගේ අතින් බත් කටක් නොකැවුණු, පියාගේ පපුතුර මත හිස හොවාගෙන ආදර රැකවරණය විඳීමට අවස්ථාවක් නොලැබුණු සිය ජීවිතවල විඳි අනේකවිධ දෝමනස්සයන් හමුවේ ලැබූ පන්නරයම ඔවුන් විසින් අයෝමය ශක්තියක් කර පිටියේ විජය පෑ බැවිනි.
කොටින්ම, මිරිහාන ඉන්ද්රසිරි කනිටු විදුහල යනු, මාපිය රැකවරණය අහිමිවූ දරුවන්ගේ පරිවාස භාරයක දරුවන්ගේ විදුබිමය.
මෙම තරගාවලියේ අදාළ වයස්කාණ්ඩවවලට අයත්වනුයේ පාසලේ 8,9, 10 සහ 11 පංතිවල සිටින සිසුන්ය. මෙම පාසලේ 8 පංතියේ සිටිනුයේ දරුවන් 5කි. 9 පංතියේ සිටිනුයේ 11කි. 10 පංතියේ සිටිනුයේ 3 දෙනෙක් පමණි. 11 පංතියේ 6 දෙනෙකි.
“අනිත් ටීම්වලට 12 දෙනා හිටියට අපේ වයස් කාණ්ඩයෙන් ඉස්කෝලෙම ඉන්නෙ අපි ටිකම විතරක් නිසා අපේ ටීම් එකට හිටියේ 7දෙනයි. රෝයල් එකත් එක්ක එහෙම මැච් එකේදී “මේ ලොකුම ඉස්කෝලයක් නේද’’ කියලත් හිතුණා. ඒ වුණාට මම අපේ අයට කිව්වා වැටෙන්නෙ නැතිව වරද්දගන්නෙ නැතිව ගහමු. ගහද්දි කාට හරි වැරදුණොත් එයාට වැටෙන්න දෙන්නෙ නැතිව එයාවත් නැගිට්ටුවාගෙන ගහමු කියලා. හැබැයි ඉතින් දැලේ සෙල්ලම් කරද්දී ඒ බය අමතකවුණා. කරට කර තරගයක් ගිහින් වර 2-0 අපි දිනුවා’’ යැයි අපට කියනුයේ මෙම විදුහලේ 15න් පහළ කණ්ඩායමේ නායක තේජන් ලක්ෂිත ය.
“අපේ ටීම් එකේ ඉන්නේ හත්දෙනයි. හයදෙනෙක් ඇතුළෙ සෙල්ලම් කරද්දී එක්කෙනෙක් දෙන්නෙක් ඉන්ජරි වුනොත් එහෙම හරි අමාරුයි සෙල්ලම් කරන්න. ඇත්තටම අපිට මැච් එකක දෙකක එහෙම වුණා. මේ පාර දිස්ත්රික් අවසන් මහා තරගෙදි අපේ සෙටර්ගෙ (පන්දු සකසන්නා හෙවත් වොලිබෝල් තරගයක තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන ක්රීඩකයා) කකුල ලොක් වුණා. ඒ වෙනුවට දාන්න අය අපිට නැහැ. එයාව ටිකක්වෙලා එළියෙන් තියලා, කකුල හදාගෙන ආයෙත් ගැහුවා. එහෙම ගහලත් අපි දිනුවා’’ එසේ පවසනුයේ 17න් පහළ කණ්ඩායමේ නායක රනිඳු මධුශංකය.
මේ දරුවන් වොලිබෝල් පිටියේ විරුවන් බවට පත්කළ, ඔහු සමීර දිල්ෂාන්ය. වලස්මුල්ල ජාතික පාසලෙන් බිහිව, සරත් ද සිල්වා වොලිබෝල් ඇකඩමියෙන් වොලිබෝලයට දායාද වී, අදියර 1 සහ අදියර 2 පුහුණුකරු පාඨමාලා හැදෑරූ සුදුසුකම්ලත් වොලිබෝල් පුහුණුකරුවෙකි. ව්යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හැදෑරූ ඔහු අද වන විට කොළඹට පැමිණ ‘සමීර කන්ස්ට්රක්ෂන්’ නමින් ව්යාපාරයක් පවත්වාගෙන යන්නේය. මේ අතර ඔහු මිරිහාන එක්සත් මෙන්ම කැලණිය යුනයිටඩ් යන ක්රීඩා සමාජවල ක්රීඩකයකු ලෙසින්ද කටයුතු කරන්නේය.
මේ අතර මෙම ඉන්ද්රසිරි විද්යාලයේම සිසුවකු ලෙසින් සිටි මෙන්ම ‘වොලිබෝල් උණ’ ඇඟපුරාම දුවන බැවින් එම විදුහලේ වොලිබෝල් ක්රීඩාව පවත්වාගෙන යෑමට මහත් සේ උනන්දුවෙන් කටයුතු කළ සජිත් පෙරේරා ද, මිරිහාන එක්සත් කණ්ඩායම සෙවණේ සමීරව මුණගැසෙන්නේය. සමීරගේ පුහුණු හැකියාව හඳුනාගත් සජිත්, තම විදුහලේ වොලිබෝල් කණ්ඩායම්වල හැකියාව මුවහත් කර දෙන මෙන් සමීරගෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම සතුටින් භාරගත් සමීර, වසරක් තරම් කාලයකදී මේ දරුවන් මෙරට පහසුකම් සහ සම්පත් බහුලම කොළඹ සෙසු සියලු පාසල් වොලිබෝල් ක්රීඩාවෙන් අභිබවා යෑමට පමණක් නොව, සමස්ත ලංකා මට්ටමේදී මෙරට වොලිබෝල් ක්රීඩාවේ කැපී පෙනෙන සෙසු පාසල්වලට කරටකර සටනක් දෙන තැන දක්වා පෙරට රැගෙන එන්නේය. තම වාහනයේ තෙල් වියදමද අතින් දරාගෙන පුහුණුවීම් සඳහා එන ඔහු සතයක හෝ අයකිරීමක් නොකර මේ දරුවන්ගේ වොලිබෝල් හැකියාව දියුණු තියුණු කිරීමට කැපවන්නේය. තම මිතුරන් ආදිය සමග එක්ව මෙම දරුවන්ට අවශ්ය ක්රීඩා ඇඳුමක් හෝ සම්පාදනය කරදීමට වෙහෙසවන්නේය.
“තරගාවලි ළඟ එනකොට අනෙක් ඉස්කෝල තව ඉස්කොල හෝ ක්රීඩා සමාජ එක්ක පුහුණු තරග ගහනවා. ඒත් අපේ ඉස්කොලෙ වෙනම භාරකාරීත්වයක් තියෙන එකක් නිසා මේ ක්රීඩකයන්ව එහෙම එළියට අරගෙන යන්න අපිට නීතියෙන් අවසරයක් නැහැ. ඉතින් අපේ ටීම් දෙකම දෙපැත්තට බෙදිලා සෙල්ලම් කරන්න විතරයි අපිට පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට අපේ මිරිහාන එක්සත් කණ්ඩායම මම මේ ඉස්කෝලෙට අරගෙන ඇවිත් මේ අයට පුහුණු තරග අරගෙන දෙනවා. ලබන අවුරුද්දේ 17න් පහළ ටීම් එකේ හතර දෙනෙක් විතර ඒ වයස් කාණ්ඩයෙන් එළියට යනවා. එතකොට 15න් පහළ ටීම් එකේ දෙන්නෙක් විතර 17න් පහළට එනවා. ළමයි මදිකම තියෙනවා. ඒත් අතාරින්නේ නැහැ. ලබන අවුරුද්දෙත් කොහොම හරි මේ ටීම් දෙක ඉස්සරහටම ගේනවා’’ යැයි ඉන්ද්රසිරි විදුහලට හිමි පර්චස් කිහිපයක වපසරියකින් යුත් ක්රීඩා පිටියේ, වොලිබෝල් ක්රීඩාංගණය අද්දර සිට සමීර පවසන්නේය.
“ මොනවද අඩුපාඩු’’ මම ඇසුවේ, මේ ලිිපිය කියවන ඔබ ඔවුන් වෙනුවෙන් හැකි යමක් කිරීමට ඉදිරිපත්වන බව දන්නා බැවිනි.
“ක්රීඩා සපත්තු, දණහිස් ආවරණ, වොලිබෝල් දැලක්, තව වොලිබෝල් කිහිපයක් වගේම ව්යායාම උපකරණ ටිකක අවශ්යතාවක් තියෙනවා. ඒවත් ලැබුණොත් ලොකු හයියක්’’
මේ දක්ෂයන් සොයා පැමිණි ගමනේ අහඹු ලෙස මා විශ්මයට මෙන්ම ආනන්දයට ද පත්කළ හමුව යෙදුනේ ඉන්ද්රසිරි කනිටු විදුහලේ විදුහල්පති හමුවීමය.
එය දෙබසක් ලෙස මෙසේ ඉදිරිපත් කරමි
මම - මොකක්ද ඔබතුමාගෙ නම?
විදුහල්පති - මම රවින්ද්ර දිසානායක
මම - එතකොට… ගම් පළාත කොහෙද?
විදුහල්පති - මම මෙහේමයි
මම - ඒ කියන්නේ පදිංචිය මිරිහානෙමද?
විදුහල්පති - නෑ මම මෙහේමයි
මම - ඒ කිව්වේ…?
විදුහල්පති - මම මෙයාලත් මේ නිවාසෙම හැදුණු වැඩුණු කෙනෙක්. මේ ඉස්කෝලෙම ආදි ශිෂ්යයෙක්.
මම - එතකොට විදුහල්පතිතුමා අවුරුදු කීයෙන්ද මෙහෙට ආවේ?
විදුහල්පති - ඉපදිලා දවස් 14 ඉඳලා මම මෙහේ තමයි
මම ඇස් මෙන්ම කන් ද අදහාගන්නට බැලුවෙමි. එය මා සොයා ආ කතාවෙන් පරිභාහිර ‘චිත්රපටයක් වැනි‘ වෙනත් කථාවකි.
“ඉගෙන ගන්න අපි වගේ අයට අපේ භාරකාර හාමුදුරුවෝ (හුණුපලගම වජිරශ්රී හිමි) හැම උපකාරයක්ම කරනවා. මම මෙහෙන් ඉගෙනගෙන පසුව ගුරු විද්යාලයට ගියා. ඊට පස්සේ ජාතික අධ්යාපන ආයතනයෙන් අධ්යාපනවේදී උපාධිය කළා. මේ වෙනකොට මම ‘අධ්යාපනපති’ එක හදාරමින් ඉන්නවා. මෙයට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ බෞද්ධ අධ්යයන අංශයේ ඩිප්ලෝමාවක් කළා. මනෝවිද්යාව අංශයෙන් අධ්යාපන ඩිප්ලෝමාවකුත් කරලා තියෙනවා. ඒත් මේ දරුවන්ව මෙහෙයවන්න මට අමුතුවෙන් මනෝවිද්යාවක් හදාරන්න දෙයක් නැහැ. මේ අයත් එක්කම, මෙහේම හැදිලා මට මේ අයව හොඳට තේරෙනවා. ඒ නිසා මට හරිම පහසුවෙන් මේ අයව මෙහෙයවන්න පුළුවන්’’ යැයි පැවසූ විදුහල්පතිවරයා මේ පාසලේ ඉතිහාසය සහ වත්මන ගැනද මෙසේ කියා සිටියේය.
“මේ ඒ කාලේ යුද්ධයෙන් අවතැන් වූ දරුවන් වෙනුවෙන් ගොඩනගපු ළමා නිවාසයක්. ශ්රී ලංකාවේ මේ විදිහේ පළමුවෙනි නිවාසය මේක කියලා තමයි කියන්නේ. ඒ දවස්වල බාලක, බාලිකා, සිඟිති කියලා කොටස් තුනකට බෙදලා හාරසීයක් විතර මෙතැන හිටියා. ඒ කාලේ මේක ‘වජිර විද්යාලය’ කියන නමින් තමයි ගියේ. ඒ දවස්වලත් කැපී පෙනෙන දක්ෂයො හිටපු ඉස්කෝලයක්. ඒ අතරේ හොඳටම ඉගෙනගත්තු අයත් හිටියා. මෙහේ හිටපු අපේ අයියකෙනෙක් දිසාපතිකෙනකුත් වෙලා තියෙනවා. යුද්ධයෙන් පස්සේ මේක ළමා සංවර්ධන මධ්යස්ථානයක් වුණා. දැන් මෙතැන ඉන්නේ අවුරුදු 6 ඉඳන් 18 වෙනකම් බාලක අය විතරයි. හැබැයි වැඩිදුර ඉගෙනීම් කටයුතු එහෙම කරනවා නම් අවුරුදු 18න් එහාට වුණත් මෙතැන අවසර සහිතව රැඳිලා ඉන්න පුළුවන්’’
“මේක ක්රියාත්මක වෙන්නේ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසලක් විදිහටයි. මෙතැන ගුරුවරු හැටියට ඉන්න අපි දොළොස් දෙනාගෙන් 8 දෙනෙක්ටම වැටුප් ගෙවන්නේ අපේ භාරකාර හාමුදුරුවොයි. අපි 4 දෙනෙක්ට රජයෙන් වැටුපක් ලැබෙනවා. ඒක ආණ්ඩුවේ ඉස්කෝලෙක ගුරුවරයෙක්ට ලැබෙන තරම් වැටුපක් නම් නොවෙයි. ඒත් අපි සතුටින් අපේ උපරිමයෙන් මේ වැඩ ටික කරගෙන යනවා.
විදුහල්පති රවීන්ද්ර දිසානායක යනු මේ දරුවන්ව අත්යයන්තයෙන්ම කියවාගත් චරිතයකි.
“මේ ආයතනයෙන් කන්න බොන්න ඉඳුම් හිටුම් ඔක්කොම ලැබෙනවා තමයි. නමුත් අම්මා තාත්තා නැති අඩුව අපිට දැනෙනනෙ නෑ කියලා කියන්න බැහැ. මේ වගේ ක්රීඩාවක් ජීවිතේ කරගත්තාම ඒ අඩුව තරමක් මැකෙනවා. ඇත්තටම මේ දරුවො තරගයකට ගියා කියන්නේ ඒ වයසට අදාළ පංතියෙ ඉන්න හැමෝම ගියා කියන එක තමයි. මොකද මේක ළමයි පන්සීයකින් දාහකින් තේරීලා හදන කණ්ඩායමක් නොවෙයිනේ. ඒ වයස් කාණ්ඩයට අදාළ පංති දෙකේම අය තමයි ටීම් එකෙත් ඉන්නේ. ඒ නිසා තරග තියෙන දවස්වලට ඒ පංතිය පිටින්ම හිස් වෙනවා. ඒත් අපි කොහොම හරි කැපවෙලා අමතර ඉගැන්වීම් කරලා ඒ අයට අධ්යාපනයෙන් අඩුවක් නොවෙන්න ඒ දේත් කරලා දෙනවා. ඇත්තටම මේ දරුවො ගොඩක් හොඳයි. ඒ අයගේ දින චර්යාව කාල සටහනකට අනුව හැඩගැහිලා තියෙනවා. මේකට වැහිල තියෙන ගේට්ටුවක්වත් නැහැ. මෙතැන ඒ අයගෙ හිතට අල්ලන්නෙ නැතිනම් වහන් වෙලා යන එක කිසිම අපහසුවක් නැතිව කරන්න පුළුවන්. ඒත් කවුරුවත් එහෙම යන්නෙ නැහැ. විනයක්, හැදියාවක්, හැඟීමක්, සහෝදරකමක් එක්ක මේ අය මෙතැන රැඳෙනවා. අනිත් පාසල්වල දරුවොත් එක්ක බලනකොට අපේ දරුවන්ගේ හිතේ හයිය වැඩිබව හොඳටම පේනවා’’
“මට රජයේ ගුරුපත්වීමක් ලැබුණොත් ඒක භාරගන්න බලාගෙනයි ඉන්නේ. හැබැයි එහෙම ලැබුණොත් ඒ නියම කරන ඉස්කෝලෙකට මට යන්න වෙනවා. මට තියෙන අවුල් එහෙම වුණොත් මං වගේ මේ අයව තේරුම් අරගෙන වැඩ කරන්න අලුතින් එන අයෙකුට ටික කාලයක් යයි. මම මේ අයට උගන්වනවා විතරක් නොවෙයි. මේ නිවාසෙ ඇතුලේ මගෙ අත්දැකීම්වලින් මම මේ අයට ජීවිතෙත් කියලා දෙනවා’’
අපගේ අහේතුවකට ඉන්ද්රසිරි විදුහලට අප ගිය ගමනේ මෙහි භාරකරු ලෙසින් සිටිනා හුණුපලගම වජිරශ්රී හිමියන් අපට මුණගැසුනේ නැත. උන්වහන්සේ එකල දළදා තේවාව පවා භාරව සිටි හිමිනමකි. පසුව උන්වහන්සේ මේ මාපිය හව්හරණ අහිම දරුවන් සිය ගණනකට පියකු වෙමින් මේ දැවැන්ත කාර්යය සිය උරමත පටවා ගත්තේය. අදටද උන්වහන්සේ පාරමිතාවක් පුරන ලෙසින් අභියෝග, අපහසුතා රැසක් මැද ඒ කටයුත්ත කරගෙන යති. විදුහල්පති රවීන්ද්ර දිසානායක, වොලිබෝල් පුහුණුකරු සමීර දිල්ෂාන් වැන්නෝ ඒ සත් සේවයට සත් සිතින් උදව් උපකාර කැපකිරීම් කරමින් කෝට්ටේ රාජධානිය පිහිටි බිමේ වත්මන් විජයබාහු පරපුරක් බිහිකරමින් සිටිති.

