පිරිහී ඇත්තේ පොලිසිය පමණක්ද?
19 August 2026
පිරිහී ඇත්තේ පොලිසිය පමණක්ද?
19 August 2026
ඊයේ අප පුවත්පතේ මුල් පිටුවේම පළවී තිබුණු ප්‍රවෘත්තියක් අද සමාජය පිළිබඳ අපූරු කැඩපතක් බඳු යැයි අපි විශ්වාස කරමු. ඉන් කියවුණේ 2020 පටන් අද දක්වා පොලිස් නිලධාරීන්/නිලධාරිනියන් 4308 දෙනකු විවිධ හේතු නිසා පොලිස් සේවය හැර දමා ගොස් ඇති බවය. ඒ නිලධාරීන් 3936 දෙනකු හා නිලධාරිනියන් 372 දෙනකු වශයෙනි.
ඒ ගණන ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බවක්ද 2026 අවුරුද්දේ මුල් හය මාසයේදී පොලිසිය හැර දමා ගොස් ඇති සංඛ්‍යාවෙන් පෙනෙන්නට තිබේ. පොලිස් නිල ඇඳුම උනා දැමූ නිලධාරීන් 699 ක්ද නිලධාරිනියන් 59 ක්ද වශයෙන් 758 දෙනකු මේ අවුරුද්දේ ජනවාරි 1 වැනිදා සිට ජුනි 30 වැනිදා කාලය තුළ සිටිති. වෙනත් වචනවලින් කියතොත් පොලිස් සේවය තවදුරටත් ජනප්‍රිය රක්ෂාවක් නොවන බව ප්‍රදර්ශනය කරමින් තිබේ.
එය වැඩිදුරටත් ඔප්පු වන්නේ මේ වන විට පොලිසියේ රැකියා 30,815 ක් පුරප්පාඩුව පවතින බවද වාර්තා වන හෙයිනි. සාමාන්‍ය නිලධාරීන් 28,614 ක් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් 2651 ක් වශයෙනි. සමස්ත පොලිස් බළකාය 86,000 ත් 90,000 ත් අතර වේ යැයි සැලකූ කළ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා විශාලය.
පොලිස් නිලධාරීන් පොලිසිය හැර යෑම අද සමාජය පිළිබඳ කැඩපතක් වැනි යැයි අප මේ තීරුව අරඹමින් ලිව්වේ නිකමටම නොවේ. ඔවුන් මේ අතහැර යන්නේ මෑතක් වන තුරු අපේ රටේ තිබූ ජනප්‍රිය රක්ෂාවක් හෙයිනි. ඉහළ පෙළේ සිවිල් රැකියාවකටද හිමි නැති සමාජ බලයක් පහළ පෙළේ පොලිස් නිලධාරියකුටද තිබුණු වෘත්තියක් නිසාය.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආරම්භ වූ පොලිස් සේවයට, රටට නිදහස ලැබී කලක් ගතවන තුරුම බඳවා ගැනුණේ ඉංග්‍රීසි දැනීමක් ඇති පිරිස් පමණය. එපමණක් නොවේ. කුලභේදය උග්‍ර ලෙස බලපැවැත් වූ ඒ කාලයේදී සමාජ සම්මතය අනුව හීන යැයි සැලකූ කුලවල පුද්ගලයන්ට මිනිසුන් අවනත නොවේ යැයි සලකා පොලිසියට බඳවා ගෙන තිබුණේද කුල කිහිපයකින් පමණය.
සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සිටි ඒ යුගයේ පොලිස් කොස්තාපල්වරුන් පවා විශාල සමාජ බලයක් භුක්ති වින්දෝය. අනෙක් අතින් විශ්‍රාම වැටුප් හිමි රජයේ රැකියාවක් කිරීමම සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබීමට හේතුභූත වූයේය. මෑතක් වන තුරුම පොලිස් නිලධාරීන්ගේ දරුවන්ද පොලිස් සේවයට බැඳීමට උනන්දු වූයේ ඒ මේ කාරණා නිසාය.
එහෙත් අද වන විට පොලිසිය එබඳු ජනප්‍රිය රැකියා ස්ථානයක් නොවේ. රටේ ආර්ථිකයට ගැළපෙන මට්ටමේ වැටුපක් පොලිස් නිලධාරියකුට නොලැබෙන තත්ත්වයක් යටතේ තරුණ තරුණියන් එබඳු රැකියාවකට යෑමට උනන්දුවක් නොදැක්වීම ස්වාභාවිකය. ඒ පිරිස් බල හිඟය නිසා හිස ඔසවා ගැනීමට නොහැකි තරම් වැඩ කොටසක් ඉටුකිරීමට සිදුවන වෘත්තියක් වීමෙන් වැඩි වැඩ, අඩු පඩි මට්ටමක් පවතින වෘත්තියක් වීම නිසාය.
හැරත් දේශපාලනඥයන්ගේ අනවරත අතපෙවීම් නිසා ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට පවා නිදහසේ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයකට පොලිසිය පත්වී තිබේ. පොලිස්පති තනතුරට පත්වූ අවසාන නිලධාරීන් තිදෙනාගෙන් එකකු රැකියාවෙන් පහකිරීම, තවකකු අස්වාභාවික මරණයකට පත්වීම හා අනෙකා මරණීය දණ්ඩනයට නියමවීමද ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ චින්තනයට බලපානු ඇති බව නිසැකය. එහෙයින් පොලිසිය හැරදායෑමේ හා ඊට එකතුවීමට උනන්දු නොවීමේ රැල්ල ඉදිරියේදී ඉහළ යනු මිස පහළ යනු ඇතැයි සිතීම දුෂ්කරය.
පොලිසිය හැරදා යන්නන්ගෙන් කොටසක් වේලාසනින් විශ්‍රාම යන අතර, තවත් පිරිසක් විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කරදර නොවීම සේවයෙන් ඉවත් වෙති. විදේශ රැකියාවලට යෑමේ විශාල උනන්දුවක් තරුණ පරපුර අතරේ පවතින යුගයක පොලිස් නිලධාරීන්ද ඒ පැත්තට යොමුවීමේ උනන්දුව තේරුම් ගත හැකිය. ඒ අතරේ පොලිසියේ දිගටම රැඳී සිටින ඇතැම් පිරිස් නිසා පොලිසිය හැරදා යන්නන්ගෙන් සිදුවනවාට වඩා විශාල හානියක් ඊට සිදුවේ.
ඒ දූෂණයට නැඹුරු පොලිස් නිලධාරීන්ය. ඔවුහූ පොලිසිය අපකීර්තියට පත්කරමින් රැකියාව විකුණාගෙන සරුසාර ජීවිත ගත කරති. ඔවුන් නම් තමන්ට විශාල ධන උල්පතක් වන පොලිසිය හැරදා යෑමට කිසිසේත් කැමති නැත.
පොලිසිය පමණක් නොව අද රටේ සෑම සියලු ආයතනයක්ම පිරිහෙමින් පවතී. පාර්ලිමේන්තුව, ආගමික සංස්ථා, විශ්වවිද්‍යාල, පාසල්, ජනමාධ්‍ය ආදී වශයෙන් මේ ලැයිස්තුව දිගින් දිගටම ලියාගෙන යා හැකිය. මින් එක ආයතනයක් නැත්නම් දෙකක් අල්ලාගෙන සියලු පව් ඒ පිට පැටවීමට තනන්නෝ පුළුල් චිත්‍රය නොදකින්නෝය.
එහෙයින් පොලිසිය පමණක් දියුණු කිරීමට හෝ සුද්ද කිරීමට හෝ වෙර දැමීම නිෂ්ඵල ප්‍රයත්නයකි. දැන් අවශ්‍යව ඇත්තේ සිස්ටම් චේන්ජ් කිරීමකි. එහෙත් සිස්ටම් චේන්ජ් කිරීම සඳහා රටේ බලය ඉල්ලා ගත්තන්ද වැඩකරන්නේ පරණ සිස්ටම්වලටම වීම ඛේදයකි.

