ගෙවුණු වසරේ ලොව වැඩිම ලකුණු වාර්තාව මෙන්ඩිස්ගෙන්
01 January 2025
ගෙවුණු වසරේ ලොව වැඩිම ලකුණු වාර්තාව මෙන්ඩිස්ගෙන්
01 January 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් 2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයා බවට පත්ව ඇත. කුසල් 2024 වසරේදී ජාත්‍යන්තර ලකුණු 1,860ක් රැස් කිරීමට සමත්ව තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභියා වූයේ වසර 10කට පසුවය.
හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර 2014 වසරේදී ලකුණු 2,813ක් රැස් කරමින් වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභියා බවට පත්වූ අතර සංගක්කාර සහ කුසල් දෙදෙනාම කඩුලු රකින ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.
කුසල් මෙම වසරේදී සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආකෘතීන්හි ඉනිම 55ක් ක්‍රීඩා කොට ඇති අතර ඔහුගේ ගෙවුණු වසරේ හොඳම ඉනිම ලෙස නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින පිටියේ රැස් කළ ලකුණු 143 වාර්තා වේ. එමෙන්ම ඔහු 2024 වසර තුළ ශතක දෙකක් සහ අර්ධ ශතක 11ක් රැස් කිරීමට සමත් විය.
ජාත්‍යන්තර එක්දින තරග පිටිය තුළ ඉනිම විසි එකක් ක්‍රීඩා කර ඇති කුසල් ලකුණු 742ක් රැස් කරගෙන ඇත්තේ එක් ඉනිමක ලකුණු සාමාන්‍ය 53.00 ක් රඳවා ගනිමිනි. එහිදී එක් දින ශතකයක් සහ අර්ධ ශතක හයක් රැස් කර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ඔහුගේ ප්‍රහාරක වේගය 90.59 කි.
ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම 22ක් මෙම වසර තුළ ක්‍රීඩා කර ඇති කුසල් එහිදී ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 628කි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 86 සමගින් ඔහු වසරේ ලබාගෙන ඇති විස්සයි විස්ස අර්ධ ශතක සංඛ්‍යාව තුනකි. එහිදී ප්‍රහාරක වේගය 127ක් ලෙස රඳවාගෙන ඇති කුසල් මෙන්ඩිස්ගේ වසරේ විස්සයි විස්ස ඉනිමක සාමාන්‍ය 29.9 කි. එසේම හතරේ පහර 63ක් සහ හයේ පහර 21ක් එල්ල කිරීමට ඔහු සමත්ව ඇත.
ටෙස්ට් ඉනිම දාසයක් 2024 වසරේදී ක්‍රීඩා කොට ඇති කුසල් මෙන්ඩිස් ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 490ක් වන අතර සංචාරක නවසීලන්ත පිලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 106 ඉකුත් වසරේ ටෙස්ට් ඉනිමක ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ. ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් රැස්කරගෙන ඇති කුසල් මෙන්ඩිස්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 32.66ක් වේ.
කුසල් මෙන්ඩිස්ට පසුව 2024 වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ ඉන්දීය පිතිකරු යශස්වි ජයිස්වාල් රැඳී සිටින අතර ඔහු ඉනිම 37කදී ලකුණු 1,771ක් රැස් කිරීමට සමත්ව ඇත. එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට ඉනිම 42කදී මුළු ලකුණු 1,696 ක් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක පත්වී ඇත.