ලොව විශාලතම නාගරික කෞතුකාගාරය වන නව ලන්ඩන් කෞතුකාගාරය මේ සති අන්තයේ විවෘත කෙරේ
27 November 2026
ලොව විශාලතම නාගරික කෞතුකාගාරය වන නව ලන්ඩන් කෞතුකාගාරය මේ සති අන්තයේ විවෘත කෙරේ
27 November 2026
ලොව විශාලතම නාගරික කෞතුකාගාරය ලෙස සැලකෙන නව ලන්ඩන් කෞතුකාගාරය (London Museum) මෙම සති අන්තයේදී මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතව ඇත.
වසර 10ක කාලයක් පුරා ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 570ක් හෙවත් ස්ටර්ලින් පවුම් මිලියන 437ක මුදලක් වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලන්ඩනයේ ස්මිත්ෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා තිබූ පැරණි මස් වෙළෙඳපොළක් නවීකරණය කරමින් මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ. 1883 වසරේදී ආරම්භ කළ එම වෙළෙඳපොළ 1990 දශකයේදී වසා දැමුණු අතර, දශක තුනකට වැඩි කාලයකට පසුව එය යළිත් මහජන පරිහරණය සඳහා විවෘත වීම විශේෂත්වයකි.
වික්ටෝරියා රැජිනගේ කළු පැහැති ශෝක ඇඳුම, පළමුවැනි චාල්ස් රජුට මරණ දඬුවම ලබා දෙන අවස්ථාවේ ඔහු හැඳ සිටි ඇඳුම මෙන්ම ප්‍රකට ලේඛක චාල්ස් ඩිකන්ස් සිය සාහිත්‍ය නිර්මාණ රචනා කිරීම සඳහා භාවිත කළ බවට සැලකෙන සම් පුටුවක් ද මෙහි මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
සාම්ප්‍රදායික කෞතුකාගාර ආකෘතියෙන් ඔබ්බට යමින් අවන්හල්, තෝරාගත් දිනවලදී පැය 24 පුරාම විවෘතව පවතින කෝපිහල් සහ විවිධ සංස්කෘතික වැඩසටහන් ද මෙහි සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සඳහා මුලින් ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා අවම වශයෙන් ස්ටර්ලින් පවුම් මිලියන 100ක අතිරේක මුදලක් වැය වී ඇති බව ද වාර්තා වේ.
ලන්ඩන් නුවර ඓතිහාසික, සමාජීය සහ සංස්කෘතික උරුමයන් ලෝකවාසීන්ට සමීප කරවීම මෙම කෞතුකාගාරයේ මූලික අරමුණ වී තිබේ.
තාවකාලික ප්‍රදර්ශන ශාලා සහ අධ්‍යාපන මධ්‍යස්ථානයකින් සමන්විත මෙම කෞතුකාගාරයේ තවත් කොටසක් 2028 වසරේදී විවෘත කිරීමට නියමිතය.


