ආර්ථික යථාර්ථයට ‘ඇස්බැන්දුම්’ නොවන විසඳුම් අවශ්‍යයි
20 July 2026 | සටහන - නිරෝෂා වාසල
ආර්ථික යථාර්ථයට ‘ඇස්බැන්දුම්’ නොවන විසඳුම් අවශ්‍යයි
20 July 2026 | සටහන - නිරෝෂා වාසල
ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම්ලාභී තත්ත්වයේ සිට ඉහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමට ළඟා වී ඇති බව කියැවෙයි. අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් පවතින දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය නිසා ලංකාවට ඉහළ මධ්‍යම ආදායම්ලාභී තත්ත්වයට පැමිණීමට හැකියාව ලැබුණු බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙය ලංකාවේ ආර්ථිකය ලැබූ ජයග්‍රහණයක් බව ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් තවමත් ලංකාවේ ජනතාවගේ දුප්පත්කම අඩුවී නැති බව කියන පිරිසක් ද වෙති. මෙම කරුණු පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
ලංකාව මේ වන විට ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් බවට පත්ව තිබෙනවා කියලා පහුගිය දවසක ලෝක බැංකුව ප්‍රකාශ කළා. මෙය අපේ රටේ ආර්ථිකය ලැබූ විශාල ජයග්‍රහණයක් කියලා ඇතැම් ආර්ථික විශේෂඥයන් පවා කියනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් කියලා ලෝක බැංකුව ප්‍රකාශයට පත්කරන මොහොත වන විටත් ලංකාවේ දරිද්‍රතාව සියයට තිහකට ආසන්න මට්ටමක තියෙනවා. ළමා මන්දපෝෂණය සියයට විසි දෙකක පමණ අගයක් ගන්නවා. ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් කියලා ලෝක බැංකුව කියන්නේ සමාජයේ පහළ ස්ථරවල ජනතාව කනගාටුදායක තත්ත්වයන් ගණනාවකට මුහුණ දෙමින් සිටියදීයි. ජනතාව පීඩාවට පත්වන වටපිටාවක් තියෙද්දිත් අපේ රටේ ආර්ථිකය විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙනවා කියලා ඇතැමුන් කියන්නේ කොහොමද කියන එකයි මට තියන ගැටලුව.
ඔබ ඔහොම කිව්වට ලංකාව දැන් ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් කියන කතාව මුළු ලෝකයම දන්නවා. ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් වීමත් සමග ජාත්‍යන්තරයත් අපේ රට ගැන සුබවාදීව හිතන්න පටන් ගන්නවා කියලත් සමහරු කියනවනේ?
ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක්ද කියලා බලන්නේ හෝ ආර්ථික වශයෙන් වෙනත් වර්ගීකරණයක් කරන්නේ ලංකාවේ ඒක පුද්ගල ආදායම අනුවයි. ලංකාවේ සමස්ත ජාතික ධනය ජනගහනයෙන් බෙදීමෙන් පසුවයි ඒකපුද්ගල ආදායම ගණන් බලන්නේ. ඒ අනුව ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් වන මට්ටමට ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් තිබෙන බව බැලූ බැල්මට අපිට පේනවා. අනෙක් පැත්තෙන් රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි ආකාරයේ අර්බුදයකුත් තියෙනවා. මෙන්න මේ කාරණා දෙකෙන් මොකක්ද නිවැරැදි කියලා ජනතාව ප්‍රශ්න කරනවා. ඇත්තටම මේ කාරණා දෙකම නිවැරැදියි.
ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් සහ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා කියන කාරණා දෙකම නිවැරැදියි කියන්නේ ඇයි ?
රටේ ඉතා බරපතළ ලෙස ආදායම් බෙදී යාමේ විෂමතාවක් තියෙනවා. පොහොසතුන් ළඟ දැවැන්ත ධනයක් ගොඩගැහිලා තියෙනවා වගේම රටේ ජනගහනයෙන් බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට වේල් තුනම පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා කියලා ලෝක ආහාර සංවිධානයත් කියනවා. ඒ කියන්නේ දුප්පත්කම පමණක් නොවේ මධ්‍යම පාන්තික ජනතාවට පවා දැන් පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේම නැති තරම්. මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්. අලුතෙන් නිකුත් වී තිබෙන මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වර්ෂය සමඟ සංසන්දනය කරන විට 2025 වර්ෂය වන විට වැටුපේ සැබෑ අගය සියයට 24 කින් පහත වැටිලා. ඒ කියන්නේ රටේ ජනතාව විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වෙලා ඉන්නවා කියන එකයි. ඒ අතරතුර ආණ්ඩුව විදුලි බිල, ඉන්ධන මිල, පමණක් නොවෙයි ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නත් තීන්දු තීරණ අරගෙන තියෙනවා.
"ඔය කියන තරම් බරපතළ ආකාරයේ දුප්පත්කමක් අපේ රටේ නැහැ. බොහෝ මිනිසුන් තුළ තිබෙන්නේ මානසික දුප්පත්කමක් මිස සැබෑ දුප්පත්කමක් නොවෙයි" කියලත් කතාවක් තියෙනවනේ?
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කුටුම්භ ආදායම් වියදම් සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව ලංකාවේ සාමාන්‍ය පවුලක මාසික වියදමෙන් සියයට තිස් දෙකක මුදලක් වැය වෙන්නේ එක්කෝ නිවාස සඳහා කුලිය ගෙවීම සඳහායි. එහෙමත් නැත්නම් නිවාස ඉදිකිරීම සඳහා ගත් ණයවල වාරික ගෙවීමටයි. එමෙන්ම විදුලි බිල, ගෑස් මිල සහ ජල බිල සඳහාත් විශාල මුදලක් වැය වෙනවා. මේ සියල්ල එකතු වුණාම සමස්ත වියදමෙන් සියයට තිස් දෙකක් පමණ වෙනවා. එමෙන්ම සමස්ත වියදමෙන් සියයට දහතුනක් ප්‍රවාහන වියදම් වලට වැය වෙනවා. මෑතකදී වූ බස් ගාස්තු සංශෝධනයත් සමග ප්‍රවාහනය සඳහා යන වියදම සියයට දාහතරක් වැනි අගයක් දක්වා වැඩිවෙන්න පුළුවන්. මීට අමතරව අධ්‍යාපනය සෞඛ්‍ය ආදිය සඳහාත් ජනතාව මුදල් වියදම් කරනවනේ. මෙහෙම බැලුවම ජනතාවට විනෝදාස්වාද වියදම් වෙනුවෙන් වෙන් කරන්න වෙන්නේ සියයට දෙකකටත් වඩා අඩු මුදලක් පමණයි.
තවත් විදිහකට කියනවනම් ලක්ෂයක වැටුපක් ගන්න කෙනෙක්ට විනෝදාස්වාද සහ සංස්කෘතික කටයුතු සඳහා වෙන් කරන්න ඉතුරු වෙන්නේ රුපියල් දෙදාහක වැනි මුදලක් පමණයි. අද පවුලේ සියලු දෙනා සමග ගිහින් රුපියල් 2000කට චිත්‍රපටයක් හෝ නාට්‍යයක් බලන්න පුළුවන්කම තියෙනවද? අඩුම තරමේ හොඳ නවකතා පොතක් කෙටිකතා පොතක් හෝ කාව්‍ය සංග්‍රහයක්වත් මිලට ගන්න පුළුවන්ද? දැන් බොහෝ දෙනෙක් විනෝදාස්වාදයට වෙන්කරන මුදල වැය කරන්නෙත් දුරකථන බිලක් හෝ ඉන්ටර්නෙට් බිලක් ගෙවීම සඳහායි. එහෙම බැලුවහම ජනතාවගේ විනෝදාස්වාද වියදම් පවා දැන් උපරිමයටම කැපිලා තියෙන්නේ. තවත් කපන්න දෙයක් ඉතුරු වෙලා නෑ. භාණ්ඩ මිලත් එන්න එන්නම වැඩි වෙද්දි කෑම පිඟානට බෙදාගන්න කෑම ප්‍රමාණය අඩු කරන එක විතරයි කරන්න තියෙන්නේ. පසුගිය ජුනි මාසය වන විටත් පවුලක් මාසයකට ආහාර සඳහා වියදම් කරලා තිබුණේ සියයට විසි හයක වැනි මුදලක් පමණයි. ඉදිරියේදී ජනතාව ආහාර සඳහා වියදම් කරන මුදල තවත් අඩුවෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර නොලැබී යද්දී මන්දපෝෂණය උග්‍ර වෙනවා. මෙන්න මේ සැබෑ තත්ත්වය පිළිබඳ තැකීමක් කරන්නේ නැතිව ඇතැම් පාර්ශ්ව අපේ රටේ ආර්ථිකය දැන් ස්ථාවරයි කියලා කියනවා. ඒත් ඇත්තටම පොදු ජනතාවගේ ආර්ථිකය තවමත් තියෙන්නේ විශාල බිඳවැටීමක.
මෙම වර්ෂයේ පළමු කාර්තුවට අදාළව ප්‍රාථමික අතිරික්තය විශාල වශයෙන් ඉහළ ගිහින් කියලත් ආණ්ඩුව කියනවා නේද?
සාමාන්‍යයෙන් ප්‍රාථමික අතිරික්තය ගණන් බලන්නේ ණය පොලී වාරික ගෙවීම හැර රජයේ ආදායම හා වියදම අතර පරතරයෙන්. 2026 වර්ෂයේ පළමු කාර්තුව ගත්තොත් රජයේ ආදායම රුපියල් බිලියන 1473.8යි. රජයේ වියදම බිලියන 792.1යි. ඒ අනුව ධන බිලියන 681.7 ඉතුරු වෙලා වගේ සංඛ්‍යා ලේඛනවලින් අපට පෙන්වනවා. ඒත් ඇත්තම කතාව 2026 වර්ෂයේ පළවෙනි කාර්තුවේ අපි රුපියල් බිලියන 1287.9 ක් ණය පොලී වාරික ගෙවලා තියෙනවා. මේ ණය පොලී වාරික ගෙවීමත් සමඟ ඇත්තටම හිඟයකුයි තියෙන්නේ. රුපියල් බිලියන 606.2 අයවැය හිඟයක් තියෙනවා.
මෙවැනි බරපතළ තත්ත්වයක් තිබියදීත් විශාල ප්‍රාථමික අතිරික්තයක් තියෙනවා කියලා මේ අය කියනවා. ඒත් සැබෑ තත්ත්වය එය නොවෙයි. මේ කතාව විතරක් නෙවෙයි ඩොලර් බිලියන 8ක් ණය ගෙව්වා කියලා ආණ්ඩුව පහුගිය කාලේ කිව්ව කතාව තුළත් තියෙන්නේ මේ වගේම පටලැවිල්ලක් තමයි.
ඩොලර් බිලියන අටක් ණය ගෙව්වා කියන කතාවේ තියෙන පටලැවිල්ල මොකක්ද?
2006 අවුරුද්දේ පළවෙනි කාර්තුව තුළ විදේශ ණය ඩොලර් බිලියන 788කින් හා දේශීය ණය රුපියල් බිලියන 490කින් ඉහළ ගිහින් තියෙනවා. මේ ඩොලර් බිලියනවලින් හා රුපියල් බිලියනවලින් ගෙවූ සියල්ල ඩොලර්වලට පරිවර්තනය කරලා තමයි මේ අය ඩොලර් බිලියන අටක් ගෙව්වා කියලා කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ආසියානු සංවර්ධන බැංකුවට, ලෝක බැංකුවට සහ ව්‍යාපෘතිවලට ගත්ත ණයවලින් ඩොලර් මිලියන 1445 ගෙවලා තියෙනවා. දේශීය ණය ගැනුම්වල ගෙවූ ගාන ඩොලර්වලට පරිවර්තනය කළාම ඩොලර් මිලියන 6040ක් වෙනවා. මේකෙන් තමයි ඩොලර් බිලියන අටක් විතර ණය ගෙව්වා කියලා කියන්නේ. එහෙම කිව්වට ඇත්තටම අපි වැඩිපුර ණය අරගෙනයි තියෙන්නේ. තවත් විදිහකට කියනවා නම් ණයක් අරගෙන ණයක් ගෙවීමකුයි වෙලා තියෙන්නේ. ඒ නිසා ගෙවූ ණය ප්‍රමාණය පමණක් කීම ප්‍රමාණවත් නෑ. ඒ ණය ගෙවන්න මොනතරම් ණය ප්‍රමාණයක් ගත්තද කියන එකත් ජනතාවට කිව යුතුයි. ඇත්තටම බලද්දි ඔය කියන ණය ප්‍රමාණය ගෙවන්න විශාල ණය ප්‍රමාණයක් අරගෙනත් තියෙනවා. මේ ආකාරයේ ඇස් බැන්දුම්වලින් අපිට ආර්ථික වර්ධනයක් පෙන්නන්න බෑ. අපි මුලින්ම කළ යුතුව තියෙන්නේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වය පිළිගැනීමයි. විසඳුම් සෙවිය යුත්තේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වයට මිස ඇස් ඇස්බැඳුම්වලට නොවෙයි. එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ කිව්වා වගේ අපි තමයි හොඳටම කළේ කිය කිය රටක ආර්ථිකය ඉදිරියට ගෙනයන්න බැහැ.
මේ ආණ්ඩුවට රාජ්‍ය පාලනය, දේශපාලනය තියා රටේ ආර්ථිකයවත් හරි හැටි පාලනය කරන්න හැකියාවක් නැහැ කියලා විපක්ෂයේ ඇතැම් පිරිස් චෝදනා කරනවා. අවසාන වශයෙන් අපි ඒ ගැනත් කතා කරමු?
ආණ්ඩුවේ නොහැකියාවයි දැන් තියෙන විශාලම ප්‍රශ්නය කියලා විපක්ෂයේ සමහර පිරිස් කියනවා අපිටත් ඇහෙනවා. ඇත්තටම දැන් තියෙන්නේ ආණ්ඩුවට බැරි ප්‍රශ්නයක් නොවෙයි. මේ පවතින රාජ්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය ව්‍යුහය, ආර්ථික දැක්ම මුළුමනින්ම අසාර්ථක වීමයි ගැටලුව. ඒ අසාර්ථක දේවල් ක්‍රියාත්මක කරන්න ගිහින් මේ ආණ්ඩුවත් අසාර්ථක වෙලා තියෙනවා. ඒ අසාර්ථක වීම අපි තේරුම් ගන්නේ මේ ආණ්ඩුවේ අසාර්ථක වීමක් විදිහටද එහෙමත් නැත්නම් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියේ අසාර්ථක වීමක් විදිහටද කියන එක තීරණය කළ යුත්තේ අපිමයි. ඇත්තටම දැන් මේ ඇතිවෙලා තියෙන්නේ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයයි යන්නයි මගේ අදහස. මේ තියෙන්නේ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයක් කියලා තේරුම් නොගත්තොත් අපිට හැමදාම වරදීවි. ඒ නිසා මේ රාජ්‍ය ව්‍යුහයේ සහ ප්‍රතිපත්තියේ පවතින අසාර්ථකත්වයටයි පිළිතුරු සෙවිය යුත්තේ. ඒ සඳහා පිළිතුරු හොයා ගත්තේ නැත්නම් හැමදාම අසාර්ථකයි කිය කිය ඉන්නවා හැර අපිට කරන්න වෙන දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

