අස්වැසුම මුදල් වංචාකළ ප්‍රා.ලේ.කා. නිලධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
11 August 2026
අස්වැසුම මුදල් වංචාකළ ප්‍රා.ලේ.කා. නිලධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
11 August 2026
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචාකළ නිලධාරිනියන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රු.එක්කෝටි හැට දෙලක්ෂයක මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැරකර මුදල් වංචාවක් සිදුකළ එම කාර්යාලයේ අංශභාර නිලධාරිනියන් දෙදෙනා මේ මස (25) දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (11) නියෝග කර තිබේ.
මෙසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූවේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ හැටන් දික්ඔය කාපෙක්ස් ජනපදයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි.
මෙම සැකකාරිණියන් දෙදෙනා සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකාරිණියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ප්‍රකාශ ලබාගෙන එම සැකකාරිණියන් දෙදෙනා මෙම මස (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
සැකකාරිණියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකාරිණියන් දෙදෙනා වරද පිළිගන්නා බවත්, එම වංචාකළ මුදල යළිත් එම ගිණුමට බැර කිරීමට එකඟ නිසා සැකකාරිණියන් දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසයි.
අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත්කළ හැටන් කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිලධාරීන් කියා සිටියේ, මෙම වංචාකළ මුදල සම්බන්ධයෙන් සම්පූර්ණ විගණන වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි.
මේ අතර, මෙම මුදල් වංචාවට කාර්යාලයේ තවත් නිලධාරින් කිහිප දෙනෙකු සම්බන්ධ බවට සිදුකරන ලද වැඩිදුර පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන නිසා සැකකාරියන්ට ඇපදීමට විරුද්ධ වන බව දීර්ඝ වශයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් එම නිලධාරින් පවසා ඇත.
දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ හැටන් මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා කියා සිටියේ, මෙම ප්‍රතිලාභය ලැබෙන්නේ දුප්පත් ජනතාවට බවත්, එම කාර්යාලයේ උගත් වගකියයුතු මෙවැනි වගකීම් දරන නිලධාරීන්ට එම මුදල් වංචා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.
ඒ අනුව යළිත් එම සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර යළි මෙම නඩුව මෙම මස (25) දින කැදවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මේ අතර, මෙම සැකකාරිණියන් දෙදෙනාගේ සහෝදරයෙකු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිළයක් දරණ අයෙකු වන අතර, ඔහුගේ ගිණුමටද වංචා කල මුදල්වලින් කොටසක් බැරකර තිබූ නිසා එම නිලධාරියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් හේතුවෙන් එම නිලධාරියාගේ වැඩ තාවකාලිකව නතර කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පියවර ගෙන ඇත.
මේ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ගිණුමට මුදල් බැර නොවුණු ප්‍රතිලාභීන් දිනපතා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ගිණුම් පරික්ෂා කරන අතර, එහිදී එම කාර්යාල නිලධාරීන් ගිණුම් අංකය සහ ප්‍රතිලාභියාගේ දුරකථන අංකය ලබා ගෙන එ් පිළිබඳව තොරතුරු ලබාදෙන බවට පවසා එම ප්‍රතිලාභීන් ආපසු හරවා යවා ඇත.

