මත්ද්‍රව්‍යවලින් තොර හෙට දවසක් වෙනුවෙන් පුහුණු වැඩසටහනක්
19 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය - ගලෙන්බිදුණුවැව
මත්ද්‍රව්‍යවලින් තොර හෙට දවසක් වෙනුවෙන් පුහුණු වැඩසටහනක්
19 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය - ගලෙන්බිදුණුවැව
පාසල් ළමුන් සහ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවාගෙන, සෞඛ්‍ය සම්පන්න හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් රජයේ මැදිහත්වීමෙන් සංවිධානය කරන ලද විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සැප්තැම්බර්12 සිට19 දක්වා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ දරුවන්, ගුරුවරුන්, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර ඇති "පළාත් පාලන සතිය"ට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මත්ද්‍රව්‍යවලට ගොදුරුවන වත්මන් තරුණ හා පාසල් පරපුර සුරක්ෂිත කිරීම සැමගේ වගකීමක් බවත්, ඒ වෙනුවෙන් පළාත් පාලන සතියේදී විශේෂ අවධානයක් යොමු කළ බවත් ආරම්භක පිළිගැනීමේ කතාව කරමින් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාපති එස්. තිලකසිරි මහතා පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සහ පුහුණු කටයුතු වසර 10-12ක පමණ කාලයක සිට මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවල නිරත වන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් මෙහෙයවන ලදී.
එහිදී අදහස් දැක්වූ කීර්ති ජයන්ත මහතා පෙන්වා දුන්නේ, මාර්ග පරීක්ෂාවලදී පුද්ගලයන්ගේ ඇස් ඇතුළට ගිලී තිබීම සහ බාහිර ලක්ෂණ දෙස බලා ඔවුන් අයිස්, ගංජා හෝ හෙරොයින් භාවිතා කර ඇති බවට පොලිසියට පහසුවෙන් හඳුනාගත හැකි අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසිය සතු බව සහා වෛද්‍ය පරීක්ෂණ (Urine Test) මගින් දින 7ක් ඇතුළත භාවිත කළ මත්ද්‍රව්‍ය තහවුරු වන අතර, ඒ අනුව දින 14ක රක්ෂිත බන්ධනාගාරගත කිරීම් සහ දඩ පැනවීම් සිදුවන බවද එතුමා සඳහන් කළේය.
මෙලෙස මත්ද්‍රව්‍යවලට ලක්වන අයගේ තොරතුරු පරිගණක පද්ධතිගත වන බැවින් අනාගතයේදී පොලිස් වාර්තා (Police Reports) ලබා ගැනීමට හෝ රාජ්‍ය හා පෞද්ගලික රැකියාවලට යොමුවීමට නොහැකි වී මුළු ජීවිතයම විනාශ වන බව එතුමා දැඩි ලෙස අවධාරණය කළේය.
තවද, සිරිසේන හේරත් සහ දිනපාල හේරත් වැනි විශිෂ්ට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බිහිකළ අභිමානවත් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ දරුවන් මෙවැනි අපරාධවලට යොමු නොවී ජීවිතය සුරක්ෂිත කරගත යුතු බව පැවසූ එතුමා, වර්තමානයේ ගැහැණු ළමුන්ද මත්ද්‍රව්‍ය සහ සිගරට් භාවිතයට යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, පරම්පරා අතර පවතින වෙනස්කම් තේරුම් ගනිමින් මත්ද්‍රව්‍යවලින් සහ අපරාධවලින් මිදී යහපත් සමාජයක් උදෙසා කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

