Best News Website award
brand logo
logo
කොළඹ අනවසර ඉදිකිරීම් ලක්ෂ පහක් පමණ ඇති බවට අනාවරණය වෙයි – කඩිනම් පියවර ගැනීමට රජයේ අවධානය

කොළඹ අනවසර ඉදිකිරීම් ලක්ෂ පහක් පමණ ඇති බවට අනාවරණය වෙයි – කඩිනම් පියවර ගැනීමට රජයේ අවධානය

14 November 2026


කොළඹ සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල විවිධ ස්වරූපයේ අනවසර ඉදිකිරීම් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් පවතින බවට රජය වෙත තොරතුරු වාර්තා වී තිබේ.


ඒ අනුව, අදාළ අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීම සඳහා රජයේ විශේෂ අවධානය යොමුව ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කළේ කොළඹ නගරයේ ජලය බැහැර කිරීමේ කානු පද්ධති සහ ඊට අදාළ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව තමන් පිළිගන්නා බවයි.


වසර 30ත් 40ත් අතර කාලයක සිට මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටලුව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


කොළඹ නගරයේ වැසි ජලය මෙන්ම සෙසු අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ආරම්භ කර තිබුණද, ඉන් බහුතරයක් අතරමග නතර වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. නොරිස් කැනල් ව්‍යාපෘතිය සහ ඉඟුරුකඩේ ව්‍යාපෘතිය එලෙස අතරමග නැවතී ඇති ව්‍යාපෘති අතරට අයත් වේ.


ඇතැම් විදේශීය ආයතන මගින් මෙම කටයුතු සඳහා ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදන පවා නතර වී තිබූ බව පැවසූ අබයරත්න මහතා, රජයේ ප්‍රතිපාදන යොදවමින් එම ව්‍යාපෘති නැවත ආරම්භ කර සම්පූර්ණ කිරීමට පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.


මේ අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ දෛනිකව බැහැර කෙරෙන සමස්ත කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700ත් 800ත් අතර අගයක් ගන්නා අතර, ඉන් සියයට 6ත් 10ත් අතර ප්‍රතිශතයක් ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වේ. එමෙන්ම, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කොළොන්නාව සහ මොරටුව යන තදාසන්න නගර සභා බලප්‍රදේශ මගින් ද දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 350ත් 400ත් අතර ප්‍රමාණයක් එකතු කෙරෙන අතර එහිද සැලකිය යුතු කොටසක් පොලිතීන් සහ ප්ලාස්ටික් බව වාර්තා වේ.


සමස්තයක් ලෙස දිවයින තුළ දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වුවද, ඉන් විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ සියයට 3ත් 4ත් අතර ඉතා අල්ප ප්‍රමාණයක් පමණක් බවද අනාවරණය වී තිබේ.

 

More News..