brand logo
logo
  මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන්යානයේ හදිසි ගොඩබෑමට හේතුව මෙන්න

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන්යානයේ හදිසි ගොඩබෑමට හේතුව මෙන්න

02 November 2026


ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානයෙහි, භාණ්ඩ ගබඩා කර ඇති පහත මහලෙහි (Cargo Bay) හටගත් දුමාරයක් හේතුවෙන් ඊයේ (01) රාත්‍රීයේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබුණි.


පසුව ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.


මෙම ගුවන් යානය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ඊයේ රාත්‍රී 10.38 කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 605 දරන ගුවන් යානයයි.


මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට විනාඩි 15කට පෙර, ඇතිව තිබූ මෙම හදිසි තත්ත්වය හමුවේ ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ මෙහෙයුම් මැදිරිය ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු, මෙසේ හදිසි ගොඩබැස්සවීමට අවශ්‍ය ගිනිනිවීම් රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගලවා ගැනීමේ භටයන්, ගිලන් රථ සහ ගුවන් තොටුපොළ අවට රෝහල් ද සූදානමෙන් තැබීමට පියවර ගෙන තිබුණි.


එහෙත් මෙම ගුවන් යානය කිසිදු ආපදාවකින් තොරව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ගුවන් නියමුවා සමත් වී තිබුණි.


ඒ.- 330 එයාර් බස් වර්ගයේ පුළුල් බඳ සහිත ගුවන් යානයක් වූ මෙහි ගුවන් මගීන් 258 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15දෙනෙකු සිටියහ.


මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව සිදුකළ සොයා බැලීම්වලදී , මෙහි ගබඩා කර තිබූ මස් තොගයක් සඳහා යොදා තිබූ නයිට්‍රජන් වියළී අයිස් ( Dry Ice ) වලින් මෙම දුමාරය නික්ම ඇති බව අනාවරණය වී තිබේ.


පසුව මෙම ගුවන් යානය තවදුරටත් පරීක්ෂා කිරීම්වලට ලක්කිරීම්වලින් අනතුරුව අද (02) දින උදෑසන තවත් වෙනත් ගමනාන්තයක් වෙත කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

 

More News..