කාන්තාවන්ගේ අනාගතයට වෙන්න යන දේ
තලෙයිබාන් පාලනය පෙරළා දමා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඇෆ්ගනිස්තානයේ පාලනය බලය අල්ලාගෙන අවුරුදු 20 කට පසු ආපසු තලෙයිබාන් සංවිධානයටම රට භාරදී ඔවුන් මව් රටට ගිය බව කවුරුත් දන්නා පුවතකි. එහෙත්, මෙම යුගය ඇෆ්ගන් ඉතිහාසයේ ආපසු හැරවිය නොහැකි යුගයක් බව පෙනී යන්නේ ඇෆ්ගනිස්තානයේ පසුගිය අවුරුදු 20 ක කාලය තුළදී වූ සමාජ වෙනස පිළිබඳ සලකා බැලීමේදීය.
2000 දශකයේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් තලෙයිබාන් පාලනය පෙරළා දමන කාලයේ ඇෆ්ගනිස්තානයේ පැවැති තලෙයිබාන් පාලනය අතිශයින් මූලධර්මවාදීය. ස්ත්‍රී අයිතිවාසිකම් තුට්ටු දෙකටම දමා තිබිණ. ස්ත්‍රියගේ සියලු අයිතිවාසිකම් අවුරා තිබූ තලෙයිබාන් පාලනය වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුව යටතේ හැදී වැඩුණු දරුවෝ අද ඇෆ්ගනිස්තානයේ තරුණයෝය, තරුණියෝය. ඔවුහු සිය දිවි ගමනේ සිටින්නේ විසිවැනි සැතපුම් කණුව පසු කරමිනි. සිය යෞවන කාලය මෙතෙක් ඔවුන් ගෙවා දමමින් සිටියේ සීමා මායිම් නැතිවය. සතුටිනි. ඔවුන්ට එසේ වූවාට 2000 ට පෙර ඇෆ්ඝනිස්තානයේ එවැනි සතුටක් විඳින්නට තරුණියන්ට ඉඩක් නොවීය. 1996 වසරේ දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සම්පූර්ණයෙන් අත්හිටවිණි. ගුරුවරියන්ට නිවෙස්වල නතර වන ලෙස අණ කරන ලදී. නැවතත්, එම යුගය කරා ගමන් නොකරන බව තලෙයිබාන් සංවිධානය පසුගියදා පොරොන්දු වුවද දිනෙන් දිනෙම එරටින් වාර්තා වෙමින් තිබෙන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් කඩ කිරීම්ය. අන්තර් ජාතික ප්‍රජාව සහ ඇමරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සමගින් රටත් ජනතාවත් සන්නද්ධ සටන්කාමී සංවිධානයකට භාර දීම එක්තරා අතකින් මානව වර්ගයාට එරෙහි අපරාධයකි.
මේ වන විට ඇෆ්ගනිස්තාන කාන්තාවන් වෙතින් තලෙයිබාන් මූලධර්මවලට එරෙහිව විරෝධයක් මතුවෙමින් පවතී. විශේෂයෙන් අන්තර් ජාලය යොදා ගනිමින් ඔවුහු සංවිධාන වෙමින් සිටිති. තලෙයිබාන් සංවිධානය තහනම් කර ඇති වෛවර්ණ ඇඳුම් අඳිමින් මෙම කාන්තාවන් සිය විරෝධතාව ප්‍රකාශයට පත් කරමින් සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ සම්පූර්ණයෙන් මුළු ස්ත්‍රී ශරීරයම වසා දමන කළු පැහැති ඇඳුම තමන්ගේ සංස්කෘතියට අයත් දෙයක් නොවන බවත් ඇෆ්ගන් සංස්කෘතිය යනු මෙම වෛවර්ණ සංස්කෘතියම බවයි.
ඇෆ්ගන් කාන්තාවන්ගේ ඇඳුම පැලැඳුම අධ්‍යාපනය මෙන් ම ඔවුන්ගේ ක්‍රීඩාව, සංගීතය, නැටුම් ඇතුළු විනෝදාස්වාදය ද තලෙයිබාන් සංවිධානය අතින් සීමා කෙරිණ. මේ තත්ත්වය යටතේ ඇෆ්ගනිස්තානයේ ජාතික තරුණ කාන්තා පාපන්දු කණ්ඩායම සරණාගතයන් වශයෙන් පාකිස්තානයට පළා ගියෝය. ඔවුහු පාකිස්තානයට ඇතුළු වී සිටින්නේ වෙනත් තුන් වැනි රටක සරණාගතභාවය සෙවීමේ අපේක්ෂාවෙනි. එම පිරිස ඇෆ්ඝනිස්තානය කෙළවරේ පාකිස්තානයට යාමට ඇති ටොර්ක්හම් දේශසීමාවෙන් රටෙන් පිට වූයේ සිය පවුල්වල සාමාජිකයන්ද සමගිනි. ඔවුනට පාකිස්තානයට ඇතුළුවීම සඳහා පාකිස්තානයෙන් වීසාද හිමි විය.
පැරණි තලෙයිබාන් මතකයන් මත පදනම් ව සහ ගෙවී ගිය කෙටි කාලය තුළදී තලෙයිබාන් සංවිධානය හැසිරුණු ආකාරය සලකා බලමින් ඔවුහු සිය රටින් පළා යෑමට තීරණය කළහ. තලෙයිබාන් පාලනය යටතේ කාන්තාවන් සම්පූර්ණයෙන්ම සිය සැමියාට අවනත විය යුතු අතර ඔවුන්ගේ පවුල් වෙත සුවච කීකරුභාවය දැක්විය යුතුය. සම්පූර්ණයෙන් අනුගත විය යුතුය. ඔවුන් නිවෙස් සීමාව තුළ සිටින්නේ නම් එය පවුලේ ගෞරවයක් හා නම්බුවක් වශයෙන් සැලකීම විශේෂයෙන් ඇෆ්ගන් ගෝත්‍රික ජනතාව තුළ පැවති මුල් බැස ගත් මතයකි. මෙම මතය ඇෆ්ගනිස්තානයේ ආගමික මුල්ලාවරුන් අතින් ජාතික මතවාදයක් බවට පත්විය. ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම නාගරික ප්‍රදේශ වෙතද මෙම අතිශය ගතානුගතික මතවාදය රැගෙන එනු ලැබිණ.
විශේෂයෙන්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇෆ්ගනිස්තානය පාලනය වූයේ තනි කේන්ද්‍රීය ආණ්ඩුවක් මගින් නොවේ. විවිධ වූ ගෝත්‍රයන්ට ඔවුන් සතු වූ වෙන් වෙන් වූ නීති පැවතිණ. මෙම ක්‍රමය ඇතැම් විශ්ලේෂකයන් විසින් හඳුන්වන ලද්දේ ගෝත්‍රික ප්‍රවේණිදාස ක්‍රමයක් වශයෙනි. විවිධ ගෝත්‍ර අතර දී විවිධාකාරයෙන් කාන්තාවන් පීඩාවට පත් විය. 1980 දශකයේදී සෝවියට් සමූහාණ්ඩුව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමද රට තුළ නීතිය සහ ආඥාව බරපතළ ලෙසින් අර්බුදයට යැවීමට සමත් විය. සෝවියට් ආක්‍රමණයට විරුද්ධව මුජහිදීන් සංවිධාන සටන් කෙරූහ. ඔවුහු 1990 දශකයේ මුල් භාගයේදී කාබුල් නගරයේ බලය තමන් අතට ගැනීමට සමත් වූ අතර ඇෆ්ගනිස්තානය ඉස්ලාමීය රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. එතෙක්, කාන්තාවන් විඳි ලිබරල් නිදහස ක්‍රමයෙන් හානි වන්නට පටන් ගන්නේ එතැන් සිටයි.
1992 වසරේදී මුජිහිදීන් සංවිධාන විසින් බලය ලබා ගැනීමත් සමගින් රාජ්‍ය සේවයේ සිටි බොහෝ කාන්තාවන් ඉන් නෙරපා දැමුණි. ඔවුන් නිවෙස් වෙත සීමා කෙරිණ. 1994 වසර පමණ වන විට කාන්තා ඇඳුම සම්බන්ධයෙන් මුජහිදීන් සංවිධාන දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියහ. ආන්තික ඉස්ලාම්වාදය ඒ වෙත කැඳවා ගෙන විත් තිබිණ. ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශවල කාන්තාවන්ට ඒ වන විට සිය ශරීරය සම්පූර්ණයෙන් වසාගත් නිකාබයක් ඇඳීමෙන් තොරව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති කර තිබිණ. මෙම ඇඳුම්වලත්, කාන්තා ශරීරයේ සියලු ස්ථාන වසා දැමීමට නියෝග කෙරිණි. ඇස් ඉදිරියෙන්ද දැලක් සවි කර තිබිණ. මෙය විචාරකයන් දුටුවේ කාන්තාවන්ට එරෙහි වර්ග භේදවාදයක් ලෙසයි.
මුජහිදීන් සංවිධාන විසින් සෝවියට් දේශය පළවා හැරීමේ සතුට භුක්ති විඳීමට ඇෆ්ගන් ජනතාවට ඉඩක් නොලැබුණි. ඒ වෙනුවට නව මර්දනයක් ඔවුන් මත නිර්මාණය වෙමින් පැවතිණ. මුජහිදීන් සංවිධාන 1990 දශකයේ දී කාබුල් නගරයට ඇතුළු වී බලය අල්ලා ගැනීමෙන් පසු විශ්වවිද්‍යාවලට ගිනි තැබුණි. දැවැන්ත පුස්තකාල ගිනි තබා විනාශ කළහ. පාසල් විනාශ කළහ. 1992 - 1996 කාලය තුළ දී මුජහිදීන් සංවිධානවල දැඩි කෲර ක්‍රියා සහ කාන්තා විරෝධය බුර බුරා නැගි අතර කාන්තාවන් මරා දැමීම, දූෂණය කිරීම ආදිය දිනපතා අසන්නට ලැබිණ. ස්ත්‍රීන් දූෂණයට ලක් වීමට සහ බලහත්කාරී විවාහයන්ට එළැඹීමට අකමැති වූ කාන්තාවන් සිය දිවි නසා ගන්නා තත්ත්වයක් උද්ගත විණ. තලෙයිබාන් සංවිධානයට හිස එසැවීමට ඉඩ ලැබුණේ මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.
තලෙයිබාන් සංවිධානය වෙත මුල් යුගයේදී ඇමරිකා එක්සත් ජනපදය, පාකිස්තානය, ඉරානය සහ සෞදි අරාබිය යන රටවල සහයෝගය ලැබිණ. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රකාශය වූයේ රට තුළ පවතින වියවුල්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් තලෙයිබාන් සංවිධානය වෙත සහයෝගය දෙන බවයි. 1996 වසරේ දී තලෙයිබාන් සංවිධානය බලයට පැමිණීමෙන් පසු යම් ප්‍රගතිශීලී තත්ත්වයක් පෙන්නුම් කළද ඉතා කෙටි කලක් තුළදී තලෙයිබාන් සංවිධානය දැඩි අන්තවාදයක් වෙත තල්ලු වී ගියේය. කාන්තාවන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා ඔවුහු අමර් බිල් මරූෆ් වා නහි අන් අල්- මුන්කර් නමින් වෙනම දෙපාර්තමේන්තුවක් ආරම්භ කළහ. සමාජ ක්‍රමයේ දැවැන්ත වෙනසක් කළහ. ඔවුන් තමන්ගේ නව නීති ජනතාව වෙත රැගෙන යෑම සඳහා යොදා ගත්තේ රේඩියෝවයි. ඊට හේතු වූයේ රූපවාහිනිය ඉස්ලාම් ධර්මයට විරුද්ධ විප්‍රකාරයක් ලෙස සලකා එය තහනම් කර තිබීමයි.
මේ අනුව, අවශ්‍ය ආහාර මිලදී ගැනීමකට හැර අන් කිසිදු දෙයකට නිවසින් බැහැර යෑමට කාන්තාවන්ට තහනම් කෙරිණ. කාන්තාවක් නිවසින් බැහැර යන්නේ නම් මහරම් හෙවත් පිරිමි ඥාතියෙකු සමග යෑම අනිවාර්යය විය. කාන්තාවන් බුර්කාව ඇඳිය යුතු බව නියම කෙරුණි. කිසිදු අලංකාරවත් සපත්තු හෝ සෙරෙප්පු පැලැඳීමක් කළ නොහැකි විය. එසේම සුදු පැහැති පාවහන් පැලැඳීමද තහනම් කර තිබිණ. ඊට හේතු වූයේ සුදු පැහැය තලෙයිබාන් කොඩියේ තිබූ බැවිනි. කාන්තාවන්ට වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම තහනම් කෙරිණ. ඔවුන් ප්‍රතිකාර ගත යුත්තේ වෛද්‍යවරියන්ගෙන් පමණි.
2001 වසරේදී ඇමරිකාව සහ මිත්‍ර හමුදා විසින් තලෙයිබාන් සංවිධානය පැරදවීම විශේෂයෙන් නාගරික ඇෆ්ගන් වැසියන් තුළ විශේෂිත ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුහු නව ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු තැබූහ. 2001 වසරට ආසන්න කාලයක දී උපත ලැබූ දරුවන් හැදුණේ වැඩුණේ තලෙයිබාන් සංවිධානයේ දැඩි නීති සම්බන්ධයෙන් දැනීමකින් තොරවයි. අද තරුණ තරුණියන් වී සිටින්නේ එම දරුවන් ය. එම ගැහැනු දරුවෝ සාර්ථක අධ්‍යාපනයක් ලබා සිටිති. 2001 වසරේ දී තලෙයිබාන් ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසු අන්තර් ජාතික ප්‍රජාව ඇමරිකා ඩොලර් බිලියන ගණනක් ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කළේය. 2018 වසර වන විට ඇෆ්ගනිස්තානයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගෙන් සියයට 38ක් ගැහැනු දරුවන් බවට පත් කිරීමට හැකි විය. 2001 වසරේ දී නව පාලනය ආරම්භ කිරීමෙන් පසු මුළු රටේම ගැහැනු දරුවන් 5000 ක් පමණක් අධ්‍යාපනය ලැබූ තත්ත්වයක් යටතේ එය අතිවිශාල ජයග්‍රහණයක් විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඇෆ්ගන් කාන්තාවන්ගේ සංඛ්‍යාවද පසුගිය වසර 20ක කාලය තුළ දී ඉහළ ගියේය.
1997 වසරේ දී තලෙයිබාන් සංවිධානය විසින් ඇති කරන ලද අතිපවිත්‍රතාවාදී ඉස්ලාම්කරණය සඳහා දීර්ඝ ඉතිහාසයක් නොපැවතියේය. තලෙයිබාන් සංවිධානය නිර්මාණය වන්නේ අල් ඛයිඩා සංවිධානයේ දෘෂ්ටිවාදී බලපෑම ඔස්සේය. ඇත්ත වශයෙන්ම සෞදි අරාබිය ඔස්සේ නිර්මාණය වූ අන්තවාදයක් ඒ තුළ පැවති අතර වහාබ්වාදය ඊට මුල් විය. 1970 දශකය පමණ වන විටත් කාබුල් නගරයේ ඇෆ්ගන් කාන්තාවෝ මිනි ගවුම් සහ මිනි සායවල් ඇන්දහ. 1933 වසරේ සිට 1973 වසර දක්වා ඇෆ්ගනිස්තානය පාලනය වූයේ මොහොමඩ් සහීර් ෂා නමැති රජෙකු යටතේයි. ඔහු පුද්ගල නිදහස සම්බන්ධයෙන් විශේෂයෙන් සාවධාන වූ පුද්ගලයෙකි. 1964 වසරේදී විශේෂ සමුළුවක් කැඳවමින් ඇෆ්ගන් ජනතාවගේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් ඇති කළේය.
එම සමුළුවට විවිධ ක්ෂේත්‍රවල උගතුන්, ආගමික උගතුන්, ගෝත්‍රික නායකයන් ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගි විය. 1960 දශකය යනු ඇෆ්ගනිස්තානයේ ලෞකික නිදහස සම්බන්ධ රැල්ලක් මතු වූ යුගයක් විය. මෙම නිදහස අඩු වැඩි වශයෙන් පවතිමින් 1990 දශකයේ මැද භාගයේදී තලෙයිබාන් සංවිධානය විසින් බලය අල්ලා ගන්නා තුරු කාන්තාවන් සඳහා නීතියෙන් රැකවරණයක් පැවතිණ. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය ලබා ගත්තේ 1920 දශකයේදීය. එය මෙම කලාපයේ කාන්තාවන් ලැබූ මුල්ම ජයග්‍රහණයක් විය. 1960 දශකය වන විට කාන්තාවන් සහ පිරිමි සම තත්ත්වයේ සිටින බවට ඇෆ්ගන් ව්‍යවස්ථාව මගින් පිළිගැනීමක් ලැබිණ. එබැවින් විසි වැනි සියවසේ මුල් භාගයේත් මැද භාගයේත් පැවැතියේ කාන්තාවන් වෙනුවෙන් යම් ආකාරයක සාධාරණ සමාජයකි.
1977 වසර වන විට ඇෆ්ගන් පාර්ලිමේන්තුවෙන් සියයට 15ක් පමණ කාන්තාවන් විය. එසේම 1990 දශකය වන විට එරට ගුරු ප්‍රතිශතයෙන් සියයට 50ක් පමණ කාන්තාවෝ වූහ. රජයේ සේවකයන්ගෙන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අතරින්ද සියයට 50ක් පමණ කාන්තාවන් විය. 1990 දශකයේ දී කාබුල් නුවර වෛද්‍ය ප්‍රතිශතයෙන් සියයට 40 ක් පමණ කාන්තාවන් විය. තලෙයිබාන් සංවිධානයට බලයට පැමිණීමත් සමගින් මේ සියල්ල උඩු යටිකුරු විය. ඉස්ලාම් ඇදහීම සම්බන්ධයෙන් වන තලෙයිබාන් අර්ථ නිරූපණය සෙසු ඉස්ලාම් ලෝකයෙන් වෙනස් වූ අතර කාන්තාවන් සම්බන්ධයෙන් කෲරතරම ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ තලෙයිබාන් සංවිධානය බව පෙනී යයි.
මෙම තත්ත්වයන් යටතේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අනාගතය කුමක්ද යන්න දැඩි අවිනිශ්චිත තත්ත්වයක් බවට පත් වී තිබේ. පසුගිය මාසයේදී කාන්තාවක් බුර්කාව නොපැලඳීම නිසා තකර් ප්‍රාන්තයේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ලක් වී මියගියාය. තලෙයිබානුවන් විසින් පසුගියදා බලය ලබා ගැනීමෙන් පසු වහාම ප්‍රසිද්ධ ස්ථානවල ඇති කාන්තා රූප තීන්ත ගා මකා දැමූහ. කාන්තාවන් තනිව නිවෙස්වලින් පිටව නොයෑම, දෑවැදි නීති පැනවීම ආදිය දැනටමත් සිදු වී තිබේ. එසේම තලෙයිබාන් සෙබළුන්ට බලහත්කාරයෙන් ගැහැනු දරුවන් විවාහ කරදීමද ආරම්භ වී ඇත. ඇෆ්ගනිස්තානයේ දැන් බොහෝ දුරට 1990 දශකයේ පැවති තත්ත්වය ම ඇති වී තිබෙන බව බොහෝ විචාරකයන්ගේ අදහසයි.
දර්ශන අශෝක කුමාර
70 දශකයේ ඇෆ්ගන් තරුණියෝ මිනි ගවුමුත් ඇන්දා