brand logo
logo
මෙට්‍රෝ සමාගමට රු. බිලියනයකට අධික හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අනුමැතිය

මෙට්‍රෝ සමාගමට රු. බිලියනයකට අධික හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අනුමැතිය

11 August 2026

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත මෙම වසරේදී රුපියල් මිලියන 800ක සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025 ඔක්තෝබර් 3 දින සංස්ථාගත කර ඇත.


‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ලබාදුන් අරමුදල් මඟින් මිලදී ගත් පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් සමාගම කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එම සේවාවේ වාණිජමය ශක්‍යතාව සහ මහජන පිළිගැනීම තහවුරු වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස් රථ 112ක් සේවයට එක් කිරීමට සැලසුම් කර තිබේ.


මෙම මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අංගසම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදිකිරීම, තලංගම, කඩවත, රත්මලාන සහ හෝමාගම යන ස්ථානවල නවීන බස් ඩිපෝ ඉදිකිරීම මෙන්ම අභ්‍යන්තර මාර්ග හා බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීම ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව, එම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම වසරේ රුපියල් මිලියන 800ක් සහ 2027 වසරේ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5ක් ලෙස හිමිකම් ප්‍රාග්ධනය ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

 

More News..