බර ඉසිලීමේ ක්‍රීඩාව උහුලාගෙන සිටින චින්තක ගීතාල්
14 November 2026 | රෂ්නිකා ලියනගේ /ඡායාරූප - ඉෂාන් සංජීව
බර ඉසිලීමේ ක්‍රීඩාව උහුලාගෙන සිටින චින්තක ගීතාල්
14 November 2026 | රෂ්නිකා ලියනගේ /ඡායාරූප - ඉෂාන් සංජීව
“පොකට් හර්කියුලිස්” ලෙස හැඳින්වුණු නායිම් සුලෙයිමානෝ බර ඉසිලීමෙන් පිට පිට ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූවෙකි. බර ඉසිලීමේ ක්‍රීඩාවේ එවැනි දක්ෂතාවක් දැක්වූ පළමුවැන්නා ඔහුයි. දේශපාලනික බලපෑම් නිසා ඔහුට සිය රට පවා අතහැර යාමට සිදුවිය. ලෝක වාර්තා රැසකට හිමිකම් කියූ මේ විශිෂ්ටයා දෙවතාවක් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. ඔහු ඊට සම්පූර්ණයෙන් තිත තබද්දීත් වයස අවුරුදු 30 සම්පූර්ණ වී නොතිබිණ. සාමාන්‍යයෙන් ඔලිම්පික් බර ඉසිලීමේ ශූරයෝ වයස අවුරුදු 30 පමණ වෙද්දී ක්‍රීඩාවෙන් සමුගනිති. ක්‍රීඩාවේ ස්වභාවය ද ඊට බලපායි. බර ඉසිලීමේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ වයස්ගතම ක්‍රීඩකයා වන්නේ චීනයේ ලූ ෂ්යාවෝජූන්ය. ඔහු ද වයස අවුරුදු හතළිහට පෙරම ක්‍රීඩාවෙන් සමුගත්තේ ය. බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනයට වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් සිටින්නේ සිව්දෙනකු පමණි. ඒ සුනිල් මනික් සිල්වා, මාලින් විජේවික්‍රම, චින්තන ගීතාල් විදානගේ සහ සුදේශ් පීරිස්ය. මේ අතරින් තවමත් බර උසුලන්නේ විදානගේ පමණි.
මේ වසරේදී චින්තනට වයස අවුරුදු 45 සපිරේ. එහෙත් එය ඔහුට ඉලක්කමක් පමණි. තවමත් ඔහු තරග වදී; වාර්තා පිහිටුවයි. දෙතුන් සතියකට ඉහතදී පැවැති පනස්වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ දී කිලෝග්‍රෑම් හැත්තෑ නවය බර පන්තියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනූයේ ඔහුය. ඒ නව වාර්තාවක් ද සමගිනි.
ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක්‍රීඩාව අද පවතින තැනට ගෙන ඒමේ ඉහළ ගෞරවයක් අවිවාදයෙන්ම චින්තනට හිමිවේ. ඔහු තමා ජයගන්නවා පමණක් නොව, අන්‍යයන් ජයග්‍රහණයට උත්තේජනය කරයි. ඔහු සිය ජීවිතයම කැප කළේ බර ඉසිලීමේ ක්‍රීඩාව වෙනුවෙනි.
චින්තනගේ ගම පොලොන්නරුවය. 1981 දෙසැම්බර් 31 වැනිදා උපන් ඔහු පැටි වියේ සිටම නිහඬ චරිතයකි. පිරිමි ළමුන් සිව්දෙනකුගේ පවුලේ ඔහු දෙවෙනියායි. චින්තනගේ පියා සංගීත ගුරුවරයෙකි. ඔහුගේ හදිසි අභාවය නිසා පිරිමි දරුවන් සිව් දෙනකුගේ බර තනිව දැරීමට මවට සිදුවිය. එය දැනුණු නිසාම හැකි සෑම විටම ගෙදර දොරේ වැඩවලට චින්තන මෑණියන්ට සහය වූයේය. ඔහු ඉගෙනීමට ද දක්ෂයෙකි. වැඩි කතාබහක් නැති නිසා නෑදෑයන්, අසල්වාසීන් අතර ඔහු ආඩම්බරකාරයකු ලෙස ද ප්‍රචලිතව සිටියේය.
නිහඬ, ආඩම්බරකාර චින්තන චිත්‍රපට රසිකයෙකි. ඔහු නොබැලූ හින්දි චිත්‍රපටයක් නැති තරම්ය. හින්දි සිනමාවේ ආක්ෂය කුමාර් වැන්නන් සේම ජැකී චෑන්, බෲස් ලී චින්තනගේ වීරයෝ වූහ. අටේ නවයේ පන්තිවලට එද්දී ඔවුන්ගේ මෙන් සිරුර සකසා ගැනීමට චින්තනට ඕනෑ විය. ඔවුන් පෙන්වූ ව්‍යායාම් චින්තන කළේ කාටත් රහසෙනි. නිවසේ සියල්ලන් නින්දට ගිය පසු මිදුලට එන චින්තන ව්‍යායාම කළේය. මාංශපේෂි වර්ධනයටත්, ශක්තිය වැඩි කිරීමටත් භාවිත කරන බර ඉසිලීමේ උපකරණයක් වන ඩම්බෙල් චින්තනට නොතිබිණ. ඒ වෙනුවට ඔහු භාවිත කළේ වත්තෙන් සොයාගත් ගලකි. සමාන බරැති ගල් දෙකක් නොතිබූ බැවින් චින්තන මාරුවෙන් මාරුවට දෙඅතට ව්‍යායාම කළේය. චිනප් ව්‍යායාමට ඔහු යොදාගත්තේ අඹ ගසේ අත්තකි. හිටිහැටියේම ඔහුගේ මාංශ පේශි වර්ධනය වීමට හේතුව පවුලේ සාමාජිකයන්ට රහසක් ම විය. මිතුරකු සමගවත් ඔහු කිසිවක් පැවසුවේ නැත. කිසිදු උපදෙසක් නොමැතිව කළ ව්‍යායාම සඳහා ඔහුගේ සිනමා වීරයන් නිවැරදි මග පෙන්වීම කර තිබිණ. මේ වෙද්දීත් කරාතේ වැනි ක්‍රීඩා විනා බර ඉසිලීමේ ක්‍රීඩාවක් ගැන චින්තනගේ හිතේ කොනකවත් නොතිබිණ.
“හරියට නොදැන කළාට එක්සයිස් හරි විදියට වෙලා. අවුරුද්දක් දෙකක් යද්දි මගෙ මසල්ස් හොඳට හැදුණා. මටත් ඕන වුණේ සුනිල් ෂෙට්ටි, ආනෝල්ඩ් වගේ ඇඟ හදාගන්න. යාළුවොත් මගෙ ඇඟ ගැන කතා කරන්න ගත්තා. ඔන්න ඔය කාලෙ වෙද්දී අපේ ඉස්කෝලෙ, පොලොන්නරුව රාජකීය විදුහලේ අයියා කෙනෙක් හිටියා ඩන්කන් ජයසිංහ කියලා. එයා ඒ කාලෙ ලංකාවෙ වේට් ලිෆ්ටින් බෙස්ට් ප්ලේයර්. එයා ඉස්කෝලෙ වීරයා. හැබැයි වේට් ලිෆ්ටින් ඒ තරම් ජනප්‍රිය නෑ. දිගටම ක්‍රීඩාව කළානං එයත් දිනනවා. සමාජයෙ ආකල්ප වගේ දේවල් එක්ක එයා ඉක්මනින්ම ක්‍රීඩාව අත ඇරියා. මං ඒ වෙද්දි ඉස්කෝලෙ එන්නෙත් උදේම එක්සයිස් කරලා. ඔය අතරෙ කට්ටිය මට කිව්වා වේට් ලිෆ්ටින් කරන්න කියලා. මං ඩන්කන් අයියව හම්බවෙලා කතා කළා. එයා කිව්වා කුමුදු අයියව හම්බවෙන්න කියලා. එයා තමයි වේට් ලිෆ්ටින් ක්ලබ් එකේ කෝච්, කුමුදු කුමාර සිල්වා. ජිම් එක තිබුණෙත් ඉස්කෝලෙ කිට්ටුව. පොලොන්නරුවටම තිබුණෙ එච්චරයි. මං කෝච්ව හම්බවුණා. එයා මට ජිම් එකට එන්න කිව්වා. මං ඕලෙවල් කාලෙ යාළුවො එක්ක ජිම් ගියා. මාස තුනක් විතරම බොඩි බිල්ඩින් එක්සසයිස් කළා. ඒත් වේට් ලිෆ්ටින් කරන්න කවුරුත් කියලා දුන්නෙ නෑ. අන්තිමට මං කුමුදු අයියට කිව්වා මට වේට් ලිෆ්ටින් කරන්න ඕනෙ කියලා. එයා කියලා දීපු පළමුවෙනි පාරෙන්ම අල්ලගත්තා. අවුරුද්දක් ඇතුළත මම ලොකු දියුණුවක් ගත්තා.”
චින්තන ගීතාල් පෙන්වා දෙන්නේ තමාගේ දෛනික ජීවන රටාව ද බර ඉසිලීමේ ක්‍රීඩාවට පිටිවහලක් වූ බවයි. ඔහුගේ ක්‍රීඩා දිවිය සැලකු විට එදිනෙදා ක්‍රියාකාරකම්වලින් සැලසුම් සහගතව නොවුණද පෙර සූදානම ලැබී තිබිණ. ව්‍යායාම කිරීමට අමතරව මිතුරන් සමග විවේක වේලාවට එල්ලේ, ක්‍රිකට් ගැසුවේය; කුඹුරු වැඩවලට සම්බන්ධ විය. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සාමාර්ථ පහක් සහ සම්මාන සාමාර්ථ තුනක් සමග සමත් වූ චින්තන උසස් පෙළට තෝරාගත්තේ ජීව විද්‍යාවයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ සිහිනය ඔහුට විය. එනිසා අතිරේක පන්තිවලට කොළඹ ඒමේ අපේක්ෂාවෙන් ඔහු කුඹුරු වැඩ කරමින් මුදල් එකතු කළේය. කුඹුරු වැඩවලට අත් උදව් දීම චින්තන ඇරඹුවේ අටේ පන්තියේ ඉද්දීය. ඒ, කරල් ඇහිලීමෙනි. මුලින්ම ඔහු උපයාගත්තේ රුපියල් තිස් දෙකකි. අවුරුද්දට ඇඳුමක් ගන්නටත් මවට කරදර නොකර චින්තන ඒ මුදල් භාවිත කළේය. ගොයම් කැපීමෙන් ඔහු මුලින්ම ඉපයුවේ රුපියල් පනහකි.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු චින්තන උදෑසන හතරයි තිහේ බසයේ නැගී පොලොන්නරුවේ ශරීර සුවතා මධ්‍යස්ථානයට ගියේය. නැවත අට වෙද්දී කුඹුරේය. ගොයම් කපන කාලයට අනෙක් අයගේ හිසට ගොයම් මිටි ඔසවා දුන් චින්තන තමාගේ ගොයම් මිටිය ඔසවා ගත්තේ තනිවය. කිලෝග්‍රෑම් පනහේ හැටේ වී මිටි එසවීම ද එසේය.
උසස් පෙළ කරද්දීත් චින්තන පුහුණුව අත හැරියේ නැත. කෙසේ වුවද සැලසුම් කළ පරිදි පළමු වතාවේ ඔහුට කොළඹ එන්නට හැකි වූයේ නැත. පාසලේදී විෂය කරුණු ඔහුට හරියාකාරව නොවැටහිණි. එනිසා පාසලෙන් කට්ටි පනින්නට චින්තන පුරුදු වූයේ ය. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ ජිම් එකය. පොළොන්නරුවේ තරුණයන් රැසක් එහි එන නිසා තරුණ ප්‍රජාව අතර ඔහු ජනප්‍රිය වූයේය. ඔහු උසස් පෙළ කළේ මිතුරකුගේ සටහන් ඉල්ලාගෙන පාඩම් කිරීමෙනි. එවර ඔහුට හිමි වූයේ ‘එස්’ සාමාර්ථ දෙකක් පමණි. විභාගය කරද්දීම ජාතික කනිෂ්ඨ තරගාවලියට ද සහභාගි වූ චින්තන එහි පළමුවැන්නා වූයේය. 2000 උසස් පෙළ අවසන් කළ වහාම ඔහු කැලණියේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලට ආවේය. එහිදී චින්තන පළමුවැනියා විය.
“මට කුමුදු අයියා ගොඩක් උදව් කළා. තරගවලට යන්න වියදම් කළෙත් එයා. ජූනියර් නැෂනල් එන්න බස් එකටවත් මට සල්ලි නෑ. එයා තමයි කන්න බොන්නත් වියදම් කළේ. ඉස්කෝලෙට එන්න සීසන් එක පවා හදලා දුන්නා. එයා නිසා තමයි අපි අල්ලගෙන හිටියෙ.”
උසස් පෙළ විභාගයෙන් පසු චින්තන ඇතුළු සිව් දෙනකු ගුවන් හමුදාවට ඉල්ලා තිබිණ. තමන් සමග පුහුණුවට ඉඩ දෙන්නේනම් පමණක් ඊට අවසර දෙන බව කුමුදු කුමාර පැවසීය. ඊට ගුවන් හමුදාව මනාප විය. ගුවන් හමුදාවට බැඳීමට ඉඩ ලද චින්තන කොළඹට පැමිණ පුහුණුවීම් කළේය; උසස් පෙළ පුනරීක්ෂණ පන්තිවලට ද සහභාගී විය. අමිත් පුස්සැල්ල, සුසන්ත වික්‍රමසිංහ සහ තිලක් රාජකරුණාගෙන් ඔහු ඉගෙන ගත්තේ ය. වෙහෙසකර ව්‍යායාම් අතර පවා රෑ එළිවනතුරු ඔහු පාඩම් කළේය. ඔහුට ඒ තරම් ඇල්මක් අධ්‍යාපනයට තිබිණ. ගුවන් හමුදාවෙන් සහයක් ලැබුණ ද ගමන වෙහෙසකර විය. ඔහු අනුයුක්ත කර තිබුණේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරටය. සතිය පුරා කොළඹ පුහුණුවීම් කර අතිරේක පන්ති අවසන් වී සිකුරාදා ඔහු පොලොන්නරුවට යන්නේය. සති අන්ත පුහුණුවීම් එහියි. සඳුදා උදෑසන කඳවුරට වාර්තා කර යළි කොළඹ ආ යුතුය. ඒ, වෙහෙසකර ගමන හමුවේ වුව, ඔහු ‘සී’ සාමාර්ථයක් සහ ‘එස්’ සාමාර්ථ දෙකක් සමග විභාගය සමත් වූයේය. එහෙත් සරසවි සිහිනය සපුරාලීමට එය ප්‍රමාණවත් නොවීය.
කොළඹ පුහුණුවීම් කරද්දී චින්තන ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ එකොළොස්වැනියාය. ඒ කාලයේ සාෆ් ක්‍රීඩා වෙනුවෙන් පුහුණු සංචිතයක් කැඳවා තිබිණ. තරගාවලියට තෝරා ගන්නේ අට දෙනෙකි. අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකු පමණි. එය කුමුදු කුමාරට ගැටලුවක් වූ නිසා ඔහු චින්තනට අධ්‍යාපනය හෝ ක්‍රීඩාව දෙකෙන් එකක් තෝරාගන්නැයි කීවේය. එහෙත් තරමක් හිතුවක්කාර චින්තනට දෙකම කිරීමට ඕනෑ විය.
“මං දිගටම කොළඹ ආවා. මගෙ බර පන්තියෙ පළමුවෙනියා ඒ වෙද්දි එමිල් අයියා. ඒත්, මට කිසිම වෙනසක් නෑ. එයා මට ඉන්න තැන් දුන්නා. කන්න දුන්නා. 2002 කොමන්වෙල්ත් තරගවලට ෆයිනල් ට්‍රයල්ස් තිබුණා 2001 දී. ඒක තිබුණෙ ඒලෙවල් ඉවර කළාට පහුවදා. මං ශ්‍රී ලංකා රෙකෝඩ් තුනක් තියලා මගෙ වේට් ක්ලාස් එකේ පළමුවෙනියා වුණා. කොමන්වෙල්ත් රෑන්කින් පළමුවෙනියා වුණෙත් මං. ඒ නිසා තරගාවලියට ගියා. ඒ කාලෙ එයාර් ෆෝස් එකෙන් මට ගොඩක් උදව් කළා. මං අවුරුදු පහකින් පස්සෙ එතනින් අයින් වුණා. ඊට පස්සෙ 2006 කොමන්වෙල්ත් රන් පදක්කම දින්නා. එතනින් තමයි ගොඩක් දේවල් වෙනස් වුණේ.”
ඒ අතරතුර ද චින්තනට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. 2002 පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග නිසා ඔහුට තුන්වන වර උසස් පෙළට පෙනී සිටීමට නොහැකි විය. උසස් පෙළ ලියන අයුරු ඔහු සිහිනයෙන් ද දුටුවේය. එහෙත් තරගාවලිය නිසා එය අතැර දැමූ චින්තන 2003 විභාගයට පෙනී සිටීමට පුනරීක්ෂණ ඇරඹීය. චින්තනගේ දුරින් ඥාතියකු වන ප්‍රසන්න බද්දෙවිතාන චින්තනගේ ගාස්තු ද නිදහස් කළේය. එහෙත් ඔහුට දිගටම පන්ති යාමට නොහැකි වූයේ ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහා මහනුවරට කැඳවීම නිසාය. පුහුණුවීම් තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේය. එවකට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ප්‍රධාන ලේකම් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කායික අධ්‍යාපන අංශයේ එකල අධ්යක්ෂ මොතිලාල් ජයතිලකය. සංගමය විසින් පාකිස්තානයේ කිසර් හයාත් ජාතික පුහුණුකරු ලෙස ද ගෙන්වීය. පසුකාලීනව ඔහු චින්තනගේ පෞද්ගලික පුහුණුකරු ද විය. විශ්වවිද්‍යාලයේ මිතුරන්ගෙන් ද චින්තනට උදව් හිමිවිය.
පේරාදෙණියේ පුහුණුවීම් අතර ද චින්තන පාඩම් කළේය. එවර විභාගය පැවතියේ අප්‍රේල් මාසයේය. ඒ අතරතුර අප්‍රේල් නිවාඩුව හිමිවිය. ගෙදර ගොස් පාඩම් කිරීමට නොහැකි නිසා විශ්වවිද්‍යාල මිතුරෙක් චින්තනට සිය කාමරයේ නවාතැන් දුන්නේය. සියලු දෙනා නිවාඩු ගිය අතර පරණ අවුරුද්ද දා චින්තනගේ මිතුරා ද ගමේ ගියේය. නේවාසිකාගාරයේ සිටියේ චින්තන පමණි. ඒ ආරංචිය ලැබී ආරක්ෂක අංශ කාමරයට ආවේය. යුද්ධ කාලය නිසා එකල තිබුණේ තදබල ආරක්ෂක විධිවිධානය. පාඩම් කරන දරුවකු බව ආරක්ෂක අංශ තේරුම් ගත්ත ද ඔවුන්ට චින්තන පොලීසියට භාර කිරීමට විය. පොලිස් පොතේ ලියා ගැනීමෙන් පසු චින්තන පොලිස් කූඩුවේය.
ඒ වෙද්දී චින්තන විභාගය නොකරන තරමට මානසිකව බිඳ වැටී හමාරය. පසුදා ඔහුගෙන් ප්‍රශ්න කිරීම්ය. සැර වැර කිරීම් ද තිබිණ. එහෙත් පාඩම් කිරීමට නැවතුණා කියනවා හැර කියන්නට දෙයක් චින්තනට නොවීය. චින්තනගේ මවට ද කතා කිරීමෙන් පසු පොලීසියට ඔහුගේ වරදක් නැති බව වැටහිණ. ඒ අනුව ඇප දීමට තීරණය විය. බර ඉසිලීමේ ලේකම්ගේ දැනුම්දීම මත චින්තන නිදහස් කරගෙන යාමට අලුත් අවුරුදු දා පැමිණියේ මහාචාර්ය අශෝක දංගොල්ලයි. ඔහු චින්තන තම නිවසට ගෙන ගොස් කිරිබත් කෑමට ද දුන්නේය. පසුව ඔහු සමග මහනුවරට පැමිණි චින්තන බසයක නැගී මාතලේ නැන්දාගේ නිවසට ගියේය. එහි සිටියදී ඔහුගේ පුංචි කතා කර උසස් පෙළ කරන්නැයි චින්තනගේ හිත හැදුවාය.
“මං දවස් දෙක තුනක් නැන්දාගේ ගෙදර හිටියා. එතකොටයි පුංචි කතා කළේ. පුංචි කිව්වා එයාගෙ ගෙදරට වෙලා පාඩම් කරලා කොහොම හරි විභාගෙ කරන්න කියලා. ඒ සැරෙත් සී එකයි එස් දෙකයි. කැම්පස් යන්න ස්පෝට්ස් ලකුණු එකතු කරන්න ගන්න ඕන ඉසෙඩ් ස්කෝර් එකට දශම බිංදුවයි පහක් මදි. මං හරියට දුක් වුණා. පොලීසියේ සිදුවීම නොවුණනං මට ඒක කරගන්න තිබුණා. තුන් වෙනි සැරෙන් ඉවර වෙන්නෙ නැත්තං මං ආයෙ විභාගෙ ලියනවා. ඒ තරං ආසයි කැම්පස් යන්න. හැබැයි කොමන්වෙල්ත් දිනලා ආවට පස්සෙ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මාව ගෙන්නලා ඇහුවා මොනවද ඕනෙ කියලා. මං කිව්වා මට ඉගෙනගන්න ආසයි කියලා. ඒ වෙලාවෙම ශ්‍රී ලංකා ඔලිම්පික් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහත්තයව ගෙන්නලා ජනාධිපතිතුමා කිව්වා ඒක කරලා දෙන්න කියලා. ඒ කියූ විදියටම මට ඇමරිකාවෙ ශිෂ්‍යත්වයක් දුන්නා. ඒත් එහෙ ගියානං මට ක්‍රීඩාව අත අරින්න වෙනවා. අන්තිමට හරිම අමාරුවෙන් ඒ අවස්ථාව අත හැරියා. මට හැමදේම ලැබුණෙ මේ ක්‍රීඩාවෙන් නිසා ඒක ඉදිරියට ගෙනියන්න මට ඕන වුණා. මං දින්නට පස්සෙ බර ඉසිලීමේ ක්‍රීඩාවේ ලොකු ප්රබෝධයක් ඇති වුණා. බඩු ලැබුණා. ජිම් හැදුණා. ඒ නිසා ඒකට මගෙ උදව් ඕනෙ කියන තැන මං හිටියා.”
2005 ජාතික ක්‍රීඩා උළෙලට චින්තන ඇතුළු පිරිස පුහුණු වූයේ මහනුවරය. ඊට හේතුව පොලොන්නරුවේ සියලු උපකරණ කැඩී බිඳී තිබීමයි. මහනුවරදී අතුල විජේවික්‍රමගේ සහය ඔවුන්ට හිමිවිය. පසුව චින්තන 2006 වසරේ ජය ගැනීමෙන් පසු එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමෙන් බඩු බාහිරාදිය හිමිවිය. ඉන්පසු බර ඉසිලීමේ ක්‍රීඩාවට රට පුරා දැඩි අවධානයක් ලැබිණ. පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාමගේ මැදිහත්වීමෙන් සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංවිධානය ඔස්සේ එහි ගොස් ඉගෙනීමට චින්තනට අවස්ථාව ලැබිණ. බ්‍රැන්ඩික්ස් ආයතනයේ රැකියාවක් ද හිමිවිය. ඉපයූ මුදල් චින්තන යෙදවූයේ ක්රීඩාවටමයි. ඔහු කුරුණෑගල ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කළේය. හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි ගෙන්වා ගත්තේය. විදෙස් පුහුණුකරුවන් පෞද්ගලික වියදමින් ගෙන්වීය. තම මුදලින් කන්න බොන්න දුන්නේය. රැකියා අවස්ථා සඳහා පවා ඔවුන්ට චින්තන මග සාදා දී තිබේ. අද ඔහුට ස්ථිර රැකියාවක් ද නැත. ඉතිරි කළ මුදලක් ද ඔහු සතු නොවේ. එහෙත් බර ඉසිලීමේ ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් තමා දැක්වූ දායකත්වය පිළිබඳ ඔහු සිටින්නේ උපරිම සතුටිනි. අදටත් ඔහු නවකයන්ට ද ක්‍රියාවෙන් ආදර්ශයක් වෙමින් මේ ක්‍රීඩාව තවදුරටත් උසුලාගෙන සිටී.
“මං මාත් එක්ක තරග කරන අයටත් කියලා දෙනවා මාව පරද්දන්න කරන්න ඕනෙ මොනවද කියලා. මගේ උපරිමය මේ ක්‍රීඩාව වෙනුවෙන් කළා. මට ලැබුණු දේවල්වලට කෘතගුණ දැක්වූවා. මට ටිකක් හරි දුකක් තියෙන්නෙ ඉගෙනගන්න ඇමරිකාවෙ නොගිය එක. ඒත්, එහෙම ගියානං මේ ක්‍රීඩාවට මගෙ දායකත්වය දෙන්න බැරිවෙන්න ඉඩ තිබුණා. මං මගෙ හැම දේම මේ වෙනුවෙන් කැප කරලා මගෙ යුතුකම ඉටු කරලා තියෙන්නෙ. මගෙ අනාගතය අවිනිශ්චිත වුණත් මට ඒ ගැන සතුටුයි.”


