Best News Website award
brand logo
logo
කාවන්තිස්සගේ නඩුව CIDයට

කාවන්තිස්සගේ නඩුව CIDයට

12 November 2026 | අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද


කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මින් ඉදිරියට මෙහෙයවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මහව මහෙස්ත්‍රාත්‍ අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය ගල්ගමුව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නට නියෝග කළාය.


අලියා සහ ඇතා රජයේ පොදු දේපළ පනත යටතට නොගැනෙන බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නැගූ තර්ක ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය අලියා සහ ඇතා පොදු දේපළ පනත යටතට ගැනෙන බව අධිකරණයේ ස්ථාවරය බව ප්‍රකාශ කළේය. ඒ අනුව කාවන්තිස්ස දල ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියාට සහ අනෙක් සැකකරුට ඇප ලබා දීමට තම අධිකරණයට අධිකරණමය බලයක් නැති බවද ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනාම මේ මස 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (11) දින මහව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ protect elephant world global association වෙනුවෙන් අධිකරණයට කරුණු දක්‌වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන විජිත වික්‍රාමනායක සහ සඳගිරි බණ්ඩාර යන මහත්වරුන් පැවසුවේ කාවන්තිස්ස දල ඇතාට පමණක් නොව වර්තමානයේ මෙරට අනෙකුත් අලි ඇතුන්ගේ ජීවිතවලට ද දැඩි බලපැමක් එල්ල වී ඇති බවයි. ඊට හේතුව යු ටියුබ්කරුවන් මුදල් ඉපැයීමේ අරමුණින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් බවද නීතිඥවරු අවධාරණය කළහ. කාවන්තිස්ස දල ඇතා පොදු දේපළ පනත යටතට ගැනෙන බවද පෙන්වා දුන් නීතිඥවරු ඒ සම්බන්ධව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින වනජීවි නිලධාරියාන්ගේ සහ අධිකරණයේ අවධානය යොමු විය යුතු බවද පැවසූහ.


මේ අතර කාවන්තිස්ස දල ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ නිරීක්ෂණ සහිත අතුරු වෛද්‍ය වාර්තාවක් පේරාදෙණිය විශ්වවිද්‍යලයේ මහචාර්ය පී.පී එම්. ඒ. විජේසුන්දර විසින් අධිකරණයට එවා තිබූ අතර එය කියවා බැලූ මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ මිය ගිය කාවන්තිස්ස ඇතාගේ උදරයේ දකුණු පස තිබූ වෙඩි උණ්ඩවලට අදාළ මූනිස්සම් 3 ක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයාගෙන ඇති බවයි. ඒ අනුව අදාළ මූනිස්සම් 3 රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා පැමිණිල්ලේ 3 වන සාක්ෂිය ලෙස නම් කර ඇති සැකකරුවන් දෙදෙනා සමග අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි දෙක හා සැසදෙනවාද නැද්ද යන්න වන රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය වනජීවි නිලධාරින්ට නියෝග කළාය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්‌වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උදය රාජපක්ෂ පැවසුවේ මෙම වැටලීම සිදුකළ මෙන්ම සාක්ෂි සටහන් කර ගත් චතුර ගුණරත්න වනජීවී නිලධාරියා මෙම පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව සිය විරෝධය පළ කරන බවයි. දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව නඩු තීන්දු කිහිපයක් ගෙන හැර දක්වමින් කරුණු දැක්වූ නීතිඥවරයා සිය සේවාදායකයන්ට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලය ඇති බැවින් තම සේවාදායකයන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. සියලු පාර්ශ්වයන්වල කරුණු දැක්වීම් කෙරෙහි අවධානය යොමුකළ මහව මහෙස්ත්‍රාත්‍ අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය ප්‍රකාශ කළේ අලි ඇතුන් රජයේ පොදු දේපළ පනත යටතට ගැනෙන බව අධිකරණයේ ස්ථාවරය බවයි. ඒ අනුව කාවන්තිස්ස දල ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප ලබාදීමට තම අධිකරණයට බලයක් නැති බවද ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මෙම මස 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවාය. පැමිණිල්ල වෙනුවෙන් ගල්ගමුව 6 වනජීවී අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ. Protect elephant world global association වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන විජිත වික්‍රාමනායක සහ සඳගිරි බණ්ඩාර පෙනී සිටි අතර අලි ඇතුන් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර ඉරුගල් බණ්ඩාර පෙනී සිටියේය.

 

More News..