brand logo
logo
ජූලි හතයි මළ කෙළියයි මෙහෙම වෙන්නෙ ඇයි

ජූලි හතයි මළ කෙළියයි මෙහෙම වෙන්නෙ ඇයි

09 August 2026

රජයේ ප්‍රධාන ව්‍යාපෘතිය වූ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භයේ අගමැතිනිය වෙරළ පිරිසුදු කරමින්ද, ආණ්ඩුවේ ඇමැතිවරු වැව්වල බැස ජපන් ජබර ගලවමින්ද, දිසාපතිවරු රජයේ සේවකයන් සමග මාවත් පිරිසුදු කරමින්ද මහා සංග්‍රාමයේ සාර දර්ශනය දැකගත හැකි වූයේ කෙටි කාලයකි. ඒ සාර දර්ශනය කෙටි කලෙකින්ම අදෘශ්‍යමානව ගියේය. කැවුම් කිරිබත් කඤ්ඤං නිදහසේ පෙරහර කරඤ්ඤං, සාධු නාදෙන් ගිඟුම් දෙඤ්ඤං කියන්න ලැබෙන්නේම නැත. මඟුල් බෙර මැද පීත්ත පටි කපා මහා ව්‍යාපෘති විවෘත කරනු, වැව්වල මංගල දියවර මුදා හරිනු, මහා මාවත් විවෘත කෙරෙනු දකින්නට ලැබෙන්නේම නැත. ඒ වෙනුවට එකපිට එක තිගැස්සීමට ලක්වන දේවලින් අඩුවක් නැත. අප ඉදිරියට යන්නේ මේ නිහැඬියාවට ලක් වෙන දෙයින් ජන මනස සුවපත් කරගෙන නොවේ. මෑත කාලයේ එබඳු තිගැස්මකට හේතුව වූ ඛේදවාචකය වූයේ දිට්වා කුණාටුවය. කුණාටුව ගැන වේලාසනම අනතුරු අඟවා තිබුණත් ආණ්ඩුවේ බලධාරින් ඒ ගැන ක්‍රියා කළේ නැති නිසා මහා ව්‍යසනයක් වූ බව ඒ කාලයේ දැඩිව කියැවුණේය. වේලාසන අනතුරු ඇඟවීම කර තිබූ කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිට්වා කුණාටුවෙන් පසු මුඛ බන්ධනය කරගෙන විශ්‍රාම ගියේය. කොත්මලේ ජලාශයේ වාන් දොරටු හැර ජලාශය වේලාසන හිස් නොකළ නිසා කුණාටුවෙන් පසු පිරුණ මහ ජලකඳ ගලා නගර, ගම් බිම් යටව මහා විනාශයක් වීමට ඉඩ සැලසීමට එරෙහිව නඩු දමා යුක්තිය ඉටුකර ගන්නා බව ඒ කාලයේ ඇසුණේය. උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක කිය කියා සුද්දාගේ කාලයේ සිට උඩරට ගිය උඩරට මැණිකේ දුම්රිය දිට්වා කුණාටුවෙන් පසු නුවරට යන්නේ නැත්තේ දුම්රිය මාර්ගය බිඳී ගිය නිසාය. ජනතාව දැන් නුවර යන්නේ බසයෙනි.


ඒ කුණාටුවෙන් බිඳුණ රට ඉක්මනින් හැදුණේ නැති නිසාය. පෝක් සමුද්‍ර සන්ධියට වඩා හෝමූස් සමුද්‍ර සන්ධිය අපට බලපෑවේ මේ වතාවේය. හෝමූස් වසාගෙන ජාත්‍යන්තරව හැමූ යුද කුණාටුව නිසා තෙල් කෝටාවක් හඳුන්වා දුන්නේය. කෝටාවට තෙල් ගැනීම දැන් අපේ පුරුද්දට ගොසිනි.


දැන් හෝමූස් සමුද්‍ර සන්ධියේ බාධාවක් නැතිව නැව් යන්නට පටන්ගෙන තිබේ. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල බහින්නට පටන්ගෙනය. එහෙත් වාහනයකට ගහන තෙල් කෝටාව එහෙමමය. තෙල් මිල සමග ඉහළ ගිය බිත්තර ආප්පයද තවම ඒ මිලේමය. අප ඉදිරියට යන්නේ ඒ බරත් දරාගෙනය.


අපේ භාණ්ඩාගාරය රජ කාලේ කොල්ල කෑවේ පරංගිය. ඊට පසු නොරටක හැකරකු භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන දෙකහමාරකට විද්දේය. ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට පටන් ගත් විට හැකරාට ගෙවීම් කළ භාණ්ඩාගාර නිලධාරියා කකුලේ බලනහර කපාගෙන මිය ගියේ බලධාරින් අතර සියදිවි නසා ගැනීම් රැල්ලක් අරඹමිනි. දැන් පිටරටට ඇද්ද ඩොලර් මිලියන දෙක සොයාගෙන භාණ්ඩාගාරයට ගෙන ඒම හිටපු කථානායක රංවලගේ උපාධි සහතිකය සොයාගෙන ලංකාවට ගෙන ඒම බඳු වැඩකි.


ශ්‍රීලංකන් ගුවන් තොටුපොළේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගුවන් යානා මිලදී ගැනීමේදී කළ දැවැන්ත මූල්‍ය වංචාවක් ගැන ආණ්ඩුව පරීක්ෂණ කරන්නට පටන් ගත්තේ ඔහු ඒවායින් ඉපැයූ මුදල් අත්පත් කර ගැනීමේ චේතනාවෙන් විය යුතුය. ගුවන්යානා ගෙන්වීමේ මූල්‍ය වංචාවට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇප ලබාගෙන ආ කපිල චන්ද්‍රසේන ගෙළ වැලලාගෙන මිය ගියේය. රජයේ නිලධාරින්ට ඉතිරි වූයේ ඔහුගේ මළකඳය.


කොහොමත් ජූලි මාසය ඉතිහාසගත වී ඇත්තේ දේශපාලන ගිනිකෙළි සිද්ධ වෙන මාසයක් ලෙසය. 1915 ජූලි 07 දා හෙන්ද්‍රි පේද්‍රිස්ට බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙඩි තබා මරණීය දණ්ඩනය දීමෙන් පසු ජූලි හතයි - මළ කෙළියයි කියන කතාව පැතිරුණා සේම මේ ජූලියද මළ කෙළි පිරුණකි. ජූලි පහ සහ හය මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මහ කැරැල්ලෙන් රැඳවූවන් 28 ක්ද මරා දැමුණේය. බන්ධනාගාර නිලධාරින් අටකි. එය වළක්වා ගැනීමට නොහැකිවීම ගැන අධිකරණ ඇමැති වගකිව යුතු බැවින් විපක්ෂය ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ජූලි විසිහතර වැනිදා පාර්ලිමේන්තුවට ගෙනාවේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් ඒ විශ්වාසභංගය අධිකරණ ඇමැති ජයගෙන ගත වූයේ දින අටකි. අගෝස්තු පළමුවැනිදා මහර බන්ධනාගාරයේ සිරකරුවන්ද බන්ධනාගාර බිම කැරලි බිමක් බවට පත්කර ගත්තෙන් එය වළක්වා ගන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය සාධක බළකායද මහර බන්ධනාගාරයට මහා යුද්ධයකදී මෙන් යොදවන්නට වීමෙනි. මේ අර්බුදයෙන් හෙම්බත් වූ අධිකරණ ඇමැති මේවා එළියෙන් මෙහෙයවන කුමන්ත්‍රණ නිසා වෙන දේවල් දැයි සැක හිතෙන බව කීවේය. එසේම හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන මිය ගියේය. කලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරදට මරණ දඬුවම නියම වූයේත් මේ මාසයේය. සියදිවි නසාගත් එකම හා පළමු පොලිස්පති බිහිවූයේත් මරණීය දණ්ඩනය හිමි වූ පළමු හා එකම පොලිස්පති බිහිවූයෙත් මළකෙළිවලට පසිඳු ගෙවුණ මාසයේය.


ඊළඟ මළකෙළියට අර ඇදුණේ ජූලි 29 පෝයදාය. දෙවිනුවර විෂ්ණු දේවාලයේ රන්දෝලි පෙරහර ළංවන විට කංජිපානි ඉම්රාන්ගේ උදහස එහි බස්නායක නිලමේ කෙරෙහි එල්ල විය. දේව ශාපයකට වඩා ආණ්ඩුව එයට බිය වූයේය. පෙර වසරවල විනය විරෝධී හැසිරීම නිසා තහනමට ලක් වූ කාවඩි කණ්ඩායම් යළි පෙරහරට ගන්නා ලෙස එතෙර සිට තර්ජනය කළ කංජිපානි එසේ නොකළහොත් තෝව මරනවා යැයි දේවාලයේ බස්නායක නිලමේට කීවේය. තර්ජනය පුවත වාර්තා වූ දා දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තනය මුළුමනින්ම තහනම් කරන්නට පොලිසිය කටයුතු කළේය. ලොව දරුණුම ත්‍රස්තවාදීන්ගේ තර්ජනය තිබෙද්දීත් නුවර දළදා පෙරහර පවා කළ බව ආණ්ඩු විරෝධීන් සිහි ගන්වන්නට පටන් ගත් නිසා ආණ්ඩුව රැකෙම්වා-මියෙම්වා තීන්දුවක් ගත්තේය. පෙර වසරවල තහනම් කළ කාවඩි කණ්ඩායම් ද යළි පෙරහරට ගනිමින් බස්නායක නිලමේ වෙනුවට නිලමේගේ පෞද්ගලික ලේකම් බස්නායක නිලමේ හැටියට අන්දවා පෙරහරේ යවන්නට ආණ්ඩුවට සිදුවිය. ‘රජෙකු ලැබුණොතින් පෙරහර කරඤ්ඤං - සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං’ කියා කුංකුණාවේ හාමුදුරුවන් නුවර යුගයේ කියූ කවිය මේ මාසයේ සිහි ගැන්වූයේය. ඒ සමගම අගෝස්තු පළමු වැනිදාවට වර්ෂාවෙන් මධ්‍යම පළාත යළි අනාථ වූයේය. පාසල් වැසී ගියේය. පවුල් දහස් ගණනක් අනාථ වූයේය. මේ සියල්ල සිදු වූයේ සති දෙකක කාලයක් තුළදීය. මේ ලියන මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරයේ පටන් ගත් කැරැල්ල මැඬ ඇති අතර කුරුවිට බන්ධනාගාරයේද පල්ලන්සේන බන්ධනාගාරවලද සිරකරුවන් කැරලි ගසන්නට යොමුව ඇති බව කියැවේ.


දැන් රට සාමකාමී යැයි කිව හැක්කේ කෙසේද? මහා යුද්ධයක් රටේ සිද්ධ වෙන්නේ නැති නිසා රට සාමකාමීය. මහාමාරිය, කොරෝනා වැනි රෝග පැතිරෙන්නේ නැති නිසා පමණක් වසංගත බිය නැත. එදිනෙදා ජන ජීවිතය සන්සුන් යැයි කිව හැක්කේ තෙල්, ගෑස්, ආහාර පෝලිම් නැති නිසාය. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇත්තේය. ඒ ආණ්ඩුව ඕනෑම විහ්වාසභංගයක් ජයගන්නා නිසාය.


දැන් වැස්සේ ඝෝෂාව අතරින් මෙසේ ඇසේ.


‘‘මේවා වෙන්නේ පිටින් කෙරෙන කුමන්ත්‍රණ නිසාද?’’රජ

 

More News..