brand logo
logo
ගිනියම් වැඩි කාලේ ඇඟප‍තේ රුදාව නම් අළුපුහුල් මුත්‍රා අඩස්සිය නම් දියලබු

ගිනියම් වැඩි කාලේ ඇඟප‍තේ රුදාව නම් අළුපුහුල් මුත්‍රා අඩස්සිය නම් දියලබු

01 August 2026 | සඳුපමා විජේරත්න

අධික උණුසුම් කාලගුණයක් ඇතිවිට ශරීරයෙන් වැඩිපුර දහදිය පිටවීම සාමාන්‍ය දෙයක්. මේ නිසා ශරීරයේ ජල ප්‍රමාණය අඩුවීමෙන් තද පිපාසය, මුත්‍රා දැවිල්ල, ශරීරයේ පණනැති බව හා මලබද්ධය පවා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ලබු සහ අළුපුහුල් කියන්නේ මේ ගැටලු සියල්ලට එකම විසඳුමයි. කාලයක පටන්ම හේන්වල මේවා වගා කළ අතර ගෙවතුවලත් බහුලව දක්නට ලැබුණා. නමුත් අද ලබු වගේම පුහුල් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින් වුණත් වෙළෙඳපොළෙන් මිලදී ගන්නත් එතරම්ම අපහසු නැහැ.

ලබු සහ අළුපුහුල් කියන්නේ අපේ රටේ පුරාණයේ පටන් භාවිත වූ එළවළු වර්ග දෙකක්.


අළුපුහුල්

ආයුර්වේදයට අනුව වැල්වල හටගන්නා ගෙඩි අතුරින් සිරුරට හොඳම වර්ගය අළු පුහුල් බවයි පැවසෙන්නේ. ජලය අධිකයි. විටමින් බී කාණ්ඩයේ පෝෂණ සංඝටකත්, ප්‍රෝටීන්, විටමින් සී ආදියත් අළුපුහුල්වල තිබෙනවා. මේදය ඉතා අඩුවෙන් පවතින මෙහි සෝඩියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, ආදී ඛනිජත් අඩංගුයි. අද බොහෝ දෙනෙක් පීඩා විඳින ආමාශයේ සහ ආහාර ජීරණ පද්ධතියේ රෝගවලට මෙම එළවළුව ඉතා කදිමයි. බඩවැලේ පිළිකා වැළැක්වීමටත් අළුපුහුල් උපකාරී වන බව හෙළිවී තිබෙනවා. මොළයට ද මේ එළවළු ගුණයි. පුහුල් නිසා මොළයට හොඳින් රුධිරය සැපයෙන අතර මතක ශක්තිය වර්ධනය කරනවා. මානසික රෝග ඇති අයටත් ලබු වගේම පුහුල් ගුණදායක යි. ඉන් මානසික ආතතිය අඩුකරනවා.

අළුපුහුල් යුෂ බීම ද ඉහත රෝග තත්ත්වයන්ට කදිම ඔසුවක්. මුත්‍ර පිටකිරීමේ අපහසුව ද අළුපුහුල්වලින් මගහැරෙනවා. ඒ වගේම වකුගඩුවලින් මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටද අළුපුහුල් උපකාරී වෙනවා.

අධික පීනස නසන අළුපුහුල් කෙට්‌ටු ශරීර තර කරන බව ද සඳහන්. ඒ වගේම එය කාම ශක්‌තිය දෙන එළවළුවක්. ආහාර රුචිය ඇති කරන අතරම පිත නසනවා.

සිරුරේ විස නැසීමට ද අළු පුහුල් හොඳයි. සමහර අවස්ථාවලදී වැරැදීමකින් ඖෂධ වර්ග වැඩිපුර බීමෙන් ශරීරයේ විස තත්ත්වයක් ඇතිවූ විට අළුපුහුල් යුෂ බීමට දීම ඉතාමත් ගුණදායකයි. සමහර මස්, මාළු, තක්කාලි ආදිය අහාරයට ගත්විට සමහරුන්ට ඇස් දැවිල්ල, තුනටියේ වේදනාව, හන්දි කැක්කුම ආදී අසාත්මිකතා ඇති වෙනවා. එවැනි පීඩා ඇති අයට මෙය ආහාරයට කදිමයි.


මෑතකදී ඉන්දියාවේ කළ පරීක්ෂණයකින් හෙළිවූයේ අළුපුහුල් දියවැඩියාව වැළැක්වීමටත් විශාල මෙහෙයක් කරන බවයි.


පුහුල්වලින් රසකැවිලි සහ ව්‍යාංජන පමණක් නොවේ, සුප්, රසම් ආදියත් සකස් කර ගන්නවා. ඉන්දියානු නිර්මාංශ ආහාර අතර පුහුල්වලට ලැබෙන්නේ මුල් තැනක්.


දියලබු

ශරීරයේ අධික දහඩිය දැමීමෙන් ඇතිවන මුත්‍රා පෙරීම අඩුවීම නිසා හටගන්නා පීඩා වළක්වා ගැනීමට ලබු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කරගැනීමේ ශක්තියක් දිය ලබු සතුයි.

දේශීය වෙදකමේ දී නිද්‍රාකාරක ආහාරයක් ලෙස ප්‍රචලිත දියලබුවලට ශරීරය ශාන්ත කිරීමේ හැකියාවක් පවතිනවා. ස්නායු පද්ධතිය ශාමක කිරීමටත් (ශාන්ත කිරීමට) දියලබු අඟනා ඖෂධයක් බව ආයුර්වේදයේ සඳහන්. රුධිර සීනි මට්ටම පාලනයට වගේම රුධිර පීඩනය නියමිත මට්ටමේ පවත්වා ගැනීමටත් එය උපකාරී වෙනවා.

මානසික ආතතිය නැති කිරීමට සහ ස්නායු රෝග වළක්වා ගැනීමට දියලබු නිතර ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. නින්ද නොයන අයට මෙය ගුණදායකයි. පිපාසය සංසිඳුවන දියලබු හෘදයට හිතකරයි. කෙඳි සහිත ආහාරයක් නිසා මලබද්ධය වළක්වන එළවළුවක් වශයෙන් ද එය වැදගත්. දියලබු දින කිහිපයකට වරක් ආහාරයට ගැනීම හදවතට ගුණදායකයි. කොලෙස්ටරෝල් අඩුකර එය හදවත ශක්තිමත් කරන බව සඳහන්.

මෙහි කැලරි අඩංගු වන්නේ ඉතා අඩුවෙන් නිසා තරබාරුකමින් පෙළෙන බර අඩු කරගන්න අවශ්‍ය අයට මෙය කදිම ආහාරයක්. තවද ආහාර ජීරණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමටත් දිය ලබු යුෂ වීදුරුවක් උදෑසන පානය කිරීම කදිම ප්‍රතිකර්මයක්.

දිනපතා ලබු යුෂ වීදුරුවක් පානය කිරීම ශරීරයට ඉතා ගුණදායක බව ආයුර්වේදයේ මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයේත් සඳහන්. මුත්‍රා දැවිල්ල හටගත්විට ලබු ඉස්ම ගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර දිනපතා උදෑසන හිස්බඩ පානය කරන්න. දින කිහිපයකින් සුවතාවක් ඔබට දැනේවි. ලබු මදය කිරිබත්වලට දමා ලබුකිරිබත් පිසීම අතීතයේ අප අතර තිබුණත් අදනම් එය දකින්නට නැහැ.

පොල් බැද හෝ අඹරා මිටිකිරට දියකර ලබු ව්‍යාංජනයක් ලෙස මෙන්ම සුප් ලෙසත් සකස්කර ගත හැකියි. එමෙන්ම ලබු මදයෙන් දෝසිවලට සමාන රසකැවිල්ලක් ද සාදාගත හැකියි.


ආයුර්වේද වෛද්‍ය

එස්.එම්. මධුෂාණි වත්සලා කුමාරි



 

More News..