brand logo
logo
සභාපතිලා පැන දුවතේ....

සභාපතිලා පැන දුවතේ....

30 August 2026


පානදුර, ගල්ගොඩ විහාරයේ වාර්ෂික පෙරහර වීදි සංචාරය සඳහා මග දිගට පෙළගස්වා තිබුණේය. පෙරහරේ නර්තනයට ඇඳගෙන සිටි නොන්චි අක්කාට මාලිමා ආණ්ඩුවේ ඉතා ජනප්‍රිය චරිතයක්ව සිටි නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිවරිය මහ පාරේ සිටිනු දකින්නට ලැබිණ.


අලුත් ආණ්ඩුව සහල් වෙළෙඳපොළ නිසි ආකාරයට එදා පාලනය කළේ නැති නිසා කැකුළු සහල් හිඟයක් රටේ පැවැතියේය. නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිතුමිය වෙත ළංවූ නොන්චි අක්කා ‘ඈ නෝනේ, හාල් ගණං. අපි බත් කන්නේ කොහොමද?’ යැයි ඇසුවේ මහා හඬිනි.


ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තිවලද නොන්චි කෝලම කොට්ටහච්චි මන්ත්‍රිතුමිය සමග කළ උපහාස දෙබස විකාශනය කෙරුණේය. එය නව රජය විවේචන උසුලන්නට සමත් බව පෙන්වන්නට කළ කදිම වැඩකි. එක්වරම අලුත් ආණ්ඩුවේ රූපවාහිනී සභාපති ධුරයේ සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා රූපවාහිනී සභාපති තනතුරෙන් ඉල්ලා අස්වූයේය. ඉහළ විභාගයකට සූදානම් වීමට තිබෙන නිසා තනතුරෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ සභාපතිවරයා ඉදිරි කාලයේදී මීට වඩා වැදගත් තනතුරක් ලබාගෙන ආණ්ඩුවට සේවය කරන බව කීවේය. මේ ආණ්ඩුවේ තනතුරකින් පළමුවෙන් ඉල්ලා අස්වූ සභාපතිවරයාගේ විභාග නිමාව ඇද්ද නැද්ද යන වගවත්, නව තනතුරක් ලබාගෙන තිබේද යන කාරණය ගැන ආරංචි මාත්‍රයක්වත් නැතිව තිබියදී ඉල්ලා අස් වූ එකොළොස් වැනියා වෙමින් සංචාරක මණ්ඩලයේ සභාපතිද මේ මාසයේ මැද අස්වූයේ පෞද්ගලික හේතුවක් ඉදිරිපත් කරමිනි.


මාලිමා ආණ්ඩුව ආ අලුතම දේශීය වශයෙන් පමණක් නිෂ්පාදනය කරන දුඹුරු සීනි අලෙවි කිරීමට නුගේගොඩ වෙළෙඳසලක් ආරම්භ කළේය. එබඳු වෙළෙඳසල් රටපුරා පිහිටුවා දුඹුරු සීනි කිලෝ දෙක ගණනේ අඩු මිලට අලෙවි කිරීම රජයේ අරමුණ විය. දැන් නුගේගොඩින් ආරම්භ කළ දුඹුරු සීනි කඩය, සීනි ඇටයක් කූඹි ගුලකට වැටුණා සේ වැසී නැසී ගොසිනි. දුඹුරු සීනි විකුණන සීනි වෙළෙඳසල් රටවටා පිහිටුවීම කෙසේ වෙතත් සෙවණගල උක් කර්මාන්තශාලාවේ සභාපතිනියද ඒ කාලයේම ඉල්ලා අස්වූවාය. ඇය ඉවත් වූයේද තම වෘත්තීය කටයුතුවල ඉදිරියට යෙදීමේ අභිලාෂයෙනි.


ඊට පසු ප්‍රවාහන අමාත්‍යාංශයේ සභාපතිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්වන්නට පටන් ගත්තේ බස් පෝලිමක් පරිද්දෙනි. ප්‍රථමයෙන් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වූයේය. වෛද්‍යවරයකු වූ එහි සභාපතිවරයා ඉල්ලා අස්වන විට එම අමාත්‍යාංශයේම සෙසු ආයතනවලටද අස්වීමේ රෝගය බෝ වූයේය. ඊළඟට ඉල්ලා අස්වූයේ ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිය. ඊළඟට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වූයේ කලාතුරකින් වුව දුම්රිය දෙපාර්තමේන්තුවේත් එහෙම දේවල් වෙන බව ලෝකයට පෙන්වමිනි.


මාලිමා ආණ්ඩුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස පත්වී සිටියේ ආණ්ඩු මාරු වුවත්, ඇමැතිවරු මාරු වුණත්, 1994 සිට ලංගමයේ සභාපති ධුරය දරා පුරුදු ලංගමයේ කීර්තිමත් සභාපතිවරයකු වූ රමාල් සිරිවර්ධනය. රජය කොළඹ මධ්‍යම බස් නැවතුම් පර්යන්තය යළි පිළිසකර කරන්නට පටන් ගත් කාලයේ ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වීමේ ලියුම භාර දුන්නේය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලවල මේ ආකාරයට අතරමැදදී ඉල්ලා අස් නොවී සේවය කළ රමාල් ඉතා කෙටි කලකදී ලංගමයෙන් අස්වූයේ ගමට සේවය කරන්නට ලැබීම වඩා හොඳය කියමිනි. ලංගමයෙන් රටකටම සේවය කරන්නට තිබෙන අවස්ථාවක් අතහැර ගමක් භාරගත් මිනිස්සුත් ඉන්නවා නේද යන හැඟීමට වඩා දෙයක් පිටට​ නොදෙන හැටියට ඒ ලියුම හදන්නට රමාල් වගබලාගෙන තිබිණි. ඔහු සේම මාලිමාවේ ආධාරකරුවකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්ද ඛනිජ වැලි සංස්ථා සභාපතිකමින් ඉල්ලා අස්වූයේ ඇතුලේ ගිනි ගැන එළියේ කතා නොකරමිනි.


‘නාකින්ට ගෙදර යතුරවත් භාරදීලා ගමනක් යන්නේ නෑ. එහෙම නාකින්ට රටක් භාරදීලා කොහොමද?’ මිහින්තලේ නායක හාමුදුරුවන්ගේ මේ කියමනට එදා​ හිස්මුදුනින් ගරු කළ මාලිමාව, ජාතික තරුණ සේවා සභාවට පත්කරන්නට ඇත්තේ විශ්‍රාමයක් ගැන හිතන්නේවත් නැති ජවාධික තරුණයකුය. එහෙත් තරුණ සේවා සභාවට පත් කළ සභාපතිවරයාද වසරක්වත් වැඩ කරන්නේ නැතිව ඉල්ලා අස්වූයේය. එතැනින් නතර වූයේ නැත. ටික දිනක් යනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිද ඒ අස්වීමේ ගොඩටම පැන්නේය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පීඨාධිපති සේම කුලපතිව සේවය කළ සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය භාරගත් විට ‘‘අති විශාල පඩියක්, සුඛෝපභෝගී වාහන අතහැර මාලිමා ආණ්ඩුවට සේවය කරන්න කැමැති උගතුන්’’ ඉන්නා බව කියමින් රාජ්‍ය නායකයාද උදම් ඇණුවේය. ආණ්ඩුකාරවරුන්ගේ වැඩ ගැන සෙවීමට පක්ෂයේ කාඩර්වරුන් යෙදවීමෙන් මහ අවුලක් වන බවට ජනාධිපතිගේ සහෘදයකු වූ උවිදු කුරුකුලසූරිය ආණ්ඩුව පත් වී ටික කලක් යද්දී අනතුරු ඇඟවූයේය. වැටුප්, නිල වාහන අභිනිෂ්ක්‍රමණය කර මාලිමා ආණ්ඩුවට බැඳුන සරත් අබේකෝන් එහි ආණ්ඩුකාර ධුරය අතහැරියේ විශ්වවිද්‍යාල ජීවිතය ආණ්ඩුකාරකම වෙනුවෙන් අතහැරියට වඩා වේගයෙනි. ඇතුළු වීමට වඩා පිටවීම වේගවත් විය. ගුවන් සේවා හා ගුවන්තොටුපොළ සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ ඉල්ලා අස්වීමද ‘‘පෞද්ගලික හේතූන්’’ නමැති සීතම්බර සළුවෙන් වසා තිබුණේය.


ලංකාවේ ප්‍රධාන පෙළේ කවියා වන රත්න ශ්‍රී විජේසිංහයන් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමේ ලියුම ජූලි මාසයේ අමාත්‍යවරයාට භාර දුන්නේ කාව්‍යකරණයේ යෙදීමට තිබෙන අවස්ථාවත්, වියපත් බව නිසා විවේක සුවය ලැබීමටත් මේ තනතුර බාධාවක් වන බව පවසමිනි. එහෙත් සංස්කෘතික අමාත්‍යවරයා ඒ ලියුම භාර ගත්තේ නැත. කවියා මහ බඹු වැනි යැයි කවියන්ම කියා තිබේ. තෙරක් නොමැති කවි සයුරේ මහ බඹු කවියා විතරේ යැයි ලියා ඇත්තේ සම්භාව්‍ය කවියෙකි. වියපත් වුවත් මහ බඹු වැනි කවියන්ට ඕනෑ නම් තරුණ බව ලබාගන්නට පුළුවන් බව කියන්නාක් සේ එතුමා තවමත් තනතුරේ වැඩය.


බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයාද දැන් ඉල්ලා අස්වීමේ ලියුම දී ඇත. එතුමා වෙනත් ආණ්ඩුකාරවරයකු පත් කරන තෙක් වැඩ බලන්නේය.


මීට කලින් පැවති ආණ්ඩුවල සභාපතිවරුන් දුම්මල ගසාවත් පුටුවලින් නෙරපිය නොහැකි විය. එයට හේතුව වැටුප, සමාජ තත්ත්වය, සුඛෝපභෝගී යාන වාහන ඇමැතිටත් එක්ක හම්බු කරගන්න අවස්ථාව යැයි කීවොත් එය නිවැරදිය.


සභාපතිකමට සුඛෝපභෝගී සැප සම්පත්, වැටුප් හම්බු කර ගැනීමට තිත තියන්නට පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය. සභාපති කෙනකුගේ වැටුප රුපියල් ලක්ෂයට සීමා කොට ජනාධිපතිගේ පින්තූරය අමාත්‍යාංශයේ එල්ලීමත් තහනම් කළේය. පාක්ෂිකයන්ට තනතුරු දීමෙන් වැළකුණු ඔහු සභාපතිවරු තෝරා ගත්තේ විවෘත පොදු පරීක්ෂණයකිනි. සභාපතිවරු පත් කිරීමේ වැඩේ හොඳටම කළ ගෝඨාට ගෙදර යන්න පාර කැපීම හොඳටම කරලා දුන්නේද සභාපතිවරුමය. දැන් රජයේ නිලධාරින් ටෙන්ඩර් කමිටුවල ඉඳගන්නේ මර බයේය. ඇමැති දෙන නියෝග ක්‍රියාවට නැගීම විසිවසරකට ජම්පර් ඇඳීමට මග බව සභාපති දනී. ඇමැතිගේ නියෝග මත පාක්ෂිකයකුට රස්සාවක් දීම ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට මග බව සභාපතිවරු දනිති.


එසේ තිබියදීත් මේ ආණ්ඩුවේ ඉල්ලා අස්වීම් සියල්ලම පාහේ පෞද්ගලික හේතු මත කෙරෙන ඒවාලු. පත්කෙරුණ බොහෝ උගතුන්ට තමන්ට ඉගෙන ගන්න, විභාග ලියන්න තියෙන බව, කාව්‍ය රචනා කරන්න තිබෙන බව, වයස වැඩි බව මතක් වී තිබෙන්නේ තනතුරු ලැබී මාස දෙක තුනක් ගෙවී ගිය විටය.


බර්ටෝල් බ්‍රෙෂ්ට් රචනා කළ හුණුවටය කතාවේ සිංහල පරිවර්තනයේ යුද්දෙට ගිය හතර දෙනකු වූ සෙන්පතියන් ගැන කාව්‍යයක් තිබේ. යුද්දෙට ගිය ඔවුන්ට මෙසේ සිතේ.


පළවෙනියාට බියක් සිතේ


දෙවනියාට හති වැටෙතේ


තුන්වැනියා මග මැරෙතේ


අන්තිමයා පැන දුවතේ


රට හදන සංග්‍රාමයට එක්වූ සභාපතිවරුන්ටත් එහෙම හිතෙනවාදැයි නොදැනේ.

 

More News..