ජාතික ස්කොෂ් ශූරතාවලිය හෙට සිට රත්මලානේදී
26 December 2025 | දර්ශාන් කානිල් - මොරටුව
ජාතික ස්කොෂ් ශූරතාවලිය හෙට සිට රත්මලානේදී
26 December 2025 | දර්ශාන් කානිල් - මොරටුව
ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය මගින් සංවිධාන කරනු ලබන 45 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය හෙට (27 වැනිදා) සිට එළැඹෙන 30 වැනිදා දක්වා රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ලෝක වෘත්තීය ස්කොෂ් සංගමයේ (පී.එස්.ඒ.) සැටලයිට් ඉසව්වක් ලෙස පැවැත්වෙන මෙම ශූරතාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ශ්‍රේණිගත කිරීම් සඳහා ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ද අවස්ථාව හිමිව තිබේ.
විවෘත පිරිමි සහ කාන්තා අංශයන්හි තරග ඉසව්වලට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා වයස අවුරුදු 35, 40, 45, 50 සහ 55න් පහළ මෙන්ම 60න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ ද තරග ඉසව් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම ආධුනික තරගකරුවන් සඳහා ද තරගාවලියක් පැවැත්වීමට නියමිතය. විවෘත පිරිමි අංශයේ තරග 64 දෙනාගේ වටයෙන් ඇරැඹීමට නියමිත අතර විවෘත කාන්තා අංශයේ තරග 16 දෙනාගේ වටයෙන් ඇරැඹෙනු ඇත.
තරගකරුවන් 110 දෙනකු සහභාගිවීමට නියමිත ශූරතාවලිය සඳහා පසුගිය වසර ජාතික ශූර රවිඳු ලක්සිරි සහ ජාතික ශූරිය වන චනිත්මා සිනලි ද සහභාගි වනු ඇත. පී.එස්.ඒ. තරගාවලි තුළ විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පී.එස්.ඒ. සැටලයිට් ශූරතා 11ක් සහ පී.එස්.ඒ. ජාත්‍යන්තර ශූරතා 5ක් දිනා ගෙන තිබෙන රවිඳු 2024 වසරේ පී.එස්.ඒ. ක්‍රීඩකයා ලෙසද සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඔහු මේ වන විට අඛණ්ඩව අවස්ථා 12කදී ජාතික ශූරතාව දිනා තිබීම විශේෂත්වයකි. වත්මන් ජාතික ශූරිය වන චනිත්මා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල පැවැති පී.එස්.ඒ. තරගාවලිවලදී අවසන් පූර්ව වටය දක්වා පිවිසෙමින් දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත.

