brand logo
logo
රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

04 November 2026


රිදී විහාරය මූලික කරගනිමින් මසකට විදේශීයන් 5,000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.


ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා රිදී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය රිදීගම වනරතන හිමිපාණන් වහන්සේ ඇතුළ රාජ්‍ය නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ. 


කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනාගත් රිදී විහාරය එහි පෞරාණික වටිනාකම් රැකගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සහ අධ්‍යාත්මික සුවතා ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.


එමගින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .


එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ඉදිරි සංචාරක ඉලක්ක සපුරා ගැනීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි සාකච්ඡාවට ලක් විය.


යෝගී භාවනා වැඩසටහන් ඇතුළු අධ්‍යාත්මික වැඩසටහන් තුළින් මෙම විහාරස්ථානය ජාත්‍යන්තර අවධානය දිනාගත හැකි ස්ථානයක් බවට, පත් කළ හැකි බව මෙහිදී අවධාරණය කල බව එම නිවේදනයේ සඳහන් වේ. 


කාබන්වලින් තොර කලාපයක් ලෙස, මෙම විහාරස්ථානය සහ අවට පරිසරය පවත්වාගෙන යමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම ඉලක්කය සහිතව රථවාහන ධාවනය, අවන්හල් පවත්වාගෙන යාම ආදි කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.


මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ පුහුණු කිරිම පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබිණ.


රිදී විහාරය සහ අවට සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සහ අනෙකුත් සංවර්ධන කටයුතු විධිමත් සැලැස්මකට අනුව සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.‍


මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ ඒ යටතේ වන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර ගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

 

More News..