brand logo
logo
රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි

26 October 2026


රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 15,000කට අධික ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.


අද (26) මධ්‍යහ්න 12 වන විට ජලාශය වෙත ලැබෙමින් පවතින ජල ධාරිතාව පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.


ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය සහ ජලාශයට එකතුවන ජල ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී විවෘත කර තබන වාන් දොරටු සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


මේ හේතුවෙන් රාජාංගන ජලාශයට පහළින් පිහිටි කලා ඔය ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පදිංචි ජනතාවට ගංගාවේ ජල මට්ටම් පිළිබඳව විමසිලිමත්ව පසුවන ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ මගින් නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි අවධානය යොමුකර කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.


මේ අතර, මී ඔය ගංගා ද්‍රෝණියට අයත් තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 04ක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.


අද මධ්‍යහ්න 12 වන විට ලැබුණු ජල ධාරිතාව කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව මී ඔයට තත්පරයට ඝන අඩි 880ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙමින් පවතී.


එබැවින් තබ්බෝව ජලාශයට පහළ ප්‍රදේශවල සහ මී ඔය දෙපස පදිංචි මහජනතාවට ද නිරන්තරයෙන් ජල මට්ටම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් උපදෙස් දී ඇත.

 

More News..