brand logo
හෙට පෘථිවිය ආසන්නයට එන වල්ගා තරුව

හෙට පෘථිවිය ආසන්නයට එන වල්ගා තරුව

31 January 2023 | සහන් වික්‍රමගේ

වසර 50,000ක දීර්ඝ කාලයකට පසු පෘථිවිය ආසන්නයට පැමිණෙන වල්ගා තාරකාවක් දැක ගැනීමට දකුණු අර්ධගෝලයේ රටවල ජනයාට මේ සතියේ හැකියාව ලැබෙන බව නාසා ආයතනය සඳහන් කරයි.


කොළ පැහැති වල්ගා තරුවක් ලෙස හැඳින්වෙන මෙහි විද්‍යාත්මක නාමය වන්නේ C/2022 E3 (ZTF) යන්නය. මෙම වල්ගා තරුව අවසන් වරට පෘථිවිය ආසන්නයට පැමිණ ඇත්තේ නියැන්ඩතාල් යුගයේ බවද නාසා විද්‍යාඥයෝ සඳහන් කරති.


මෙම සතියෙන් පසු එය නැවතත් පෘථිවියෙන් ඈතට ගමන් කරන බවත්, එය යළිත් පෘථිවිය ආසන්නට පැමිණෙන්නේ වසර මිලියන ගණනකට පසුව විය හැකි බවත් පැවසේ.


මෙම අපූරු වල්ගා තරුව පෘථිවිය ආසන්නයටම ළඟා වීමට නියමිතව ඇත්තේ හෙට (01 වැනිදා) ය. එම අවස්ථාවේ පෘථිවිය සහ වල්ගා තරුව අතර දුර කි. මී. මිලියන 42ක් (සැතපුම් මිලියන 26 ක්) පමණ වනු ඇත.


C/2022 E3 (ZTF) වල්ගා තරුව පළමු වරට තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගන්නා ලද්දේ පසුගිය වසරේ මාර්තු මාසයේය. ඒ ඇමරිකාවේ පැලෝමාර් අභ්‍යවකාශ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මෙවලම්වල ආධාරයෙනි. එහි දීප්තිය මේ වනවිට තවදුරටත් වර්ධනය වී ඇති බව සඳහන් වේ.


අහස පැහැදිලි නම් සහ වායු දූෂණයෙන් තොර නම් මෙය පියවි ඇසින්ද දැකබලා ගැනීමට හැකිවනු ඇති බව විද්‍යාඥයන් පවසා ඇත. පෙබරවාරි 10 වැනි දින වනවිට මෙම වල්ගා තරුව අඟහරු ග්‍රහයා ආසන්නයට ළඟා වීමට නියමිතය.


මෙම වල්ගා තරුවේ හිස කොටස කි. මී. 1.6ක (සැතපුමක) පමණ විශ්කම්භයකින් යුතු බව සඳහන් වේ. එහි වල්ගය කිලෝ මීටර් මිලියන ගණනක් දුරට විහිදෙයි.


C/2022 E3 (ZTF) වල්ගා තරුව වෙනත් වල්ගා තරුවලට වඩා පෘථිවිය ආසන්නයට පැමිණෙන්නක් ලෙස සැලකේ. මේ නිසා එය වැඩි දීප්තියකින් යුතුව දිස්වන බව සඳහන් වේ. 

මේ ආකාරයෙන් පෘථිවිය ආසන්නයට පැමිණීම හේතුවෙන් විද්‍යාඥයන්ටද ඒ ගැන වඩ වඩාත් පර්යේෂණ කිරීමට අවස්ථාව උදාවන බව ද පැවසේ. මෙයට වසර 50,000කට පෙර මෙය පෘථිවිය ආසන්නයට පැමිණි අවස්ථාවේ නියැන්ඩතාල් මානවයන්ට එය දැක ගන්නට ලැබුණාද යන්න සැක සහිත බව විද්‍යාඥයෝ සඳහන් කරති.


මන්දයත්, එම අවස්ථාවේ එය කෙතරම් ආසන්නයට පැමිණියාද යන්න ගැන අදහසක් නොමැති බැවිනි.


වල්ගා තරු යනු සූර්යයා වටා ගමන් කරමින් තිබෙන ආකාශ වස්තු විශේෂයකි. ඒවා සෑදී ඇත්තේ මිදුණු වායූන්, ධූලි සහ පාෂාණවලිනි. මෙවැනි වල්ගා තාරකාවක් සූර්යයාට ආසන්න වෙද්දී ඒවායේ ඇති මිදුණු වායූන් වාෂ්ප වීමට පටන් ගනියි.


සූර්යයාගේ විකිරණ බලය නිසා ඒවා සූර්යයාගෙන් විරුද්ධ දිශාවට විසිරෙයි. වල්ගා තරුවක වල්ගය වැනි කොටස නිර්මාණය වන්නේ එලෙසිනි.

 

More News..