අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
27 August 2026
අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
27 August 2026
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ අයිතිවාසිකම් හා යහපත සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවන බැවින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට ප්‍රතිපත්තිමය පදනමක් මත විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
එම සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති බවද එම සංගමය පවසයි.
පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, එම සංශෝධනයෙන් ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය 2026 දෙසැම්බර් 1 වැනිදා අවසන් වීමට නියමිත බැවින්, එම ධුර කාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට පුළුල් මතයක් පවතින බවද එහි සඳහන් වේ.
මේ අතර, අධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අතරතුර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ චෝදනා ඉදිරිපත් වන ආකාරය මෑත කාලයේදී දැක ඇති බව නීතිඥ සංගමය පවසයි.
එම කාලසීමාව තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සමාජ මාධ්‍ය සහ වෙනත් වේදිකා ඔස්සේ පදනම් විරහිත ප්‍රහාරවලට ලක්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
මහජන බලය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක් මෙන්ම අධිකරණයද නීත්‍යානුකූල විමර්ශනයට සහ වගවීමට යටත්විය යුතු බවත්, නඩු තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ යුක්තිය පසිඳලීම සාධාරණ හා කරුණු මත පදනම් වූ වගකීම්සහගත විවේචනයකට ලක් කළ හැකි බවත් නීතිඥ සංගමය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් විශ්වසනීය කරුණු හෝ චෝදනා මතුවන්නේ නම්, ඒවා වෛෂයිකව විමර්ශනය කර, සාධාරණත්වයට සහ නිසි ක්‍රියාපටිපාටියට ගරු කරමින් පවතින ව්‍යවස්ථාමය හා පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි ඔස්සේ විමර්ශනය කළ යුතු බවද එම සංගමය සඳහන් කරයි.
තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ පුද්ගලික ප්‍රහාර හේතුවෙන් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමටත්, අධිකරණ ක්‍රියාවලියේ සහ සමස්ත යුක්ති පද්ධතියේ ස්වාධීනත්වයට හා අඛණ්ඩතාවට බලපෑම් ඇතිවීමටත් ඉඩ ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අධිකරණයේ ස්වාධීනත්වය කිසිදු පුද්ගලයෙකු නීත්‍යානුකූල විමර්ශනවලින් හෝ වගවීමෙන් ආරක්ෂා කිරීම සඳහා නොවන බවත්, එය ආරවුල් අපක්ෂපාතීව විසඳීම, පුද්ගල අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාමය පර්යාය ආරක්ෂා කිරීම සඳහා ජනතාව වෙනුවෙන් පවතින ආරක්ෂණයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
එබැවින් අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට ගරු කරන ලෙසත්, යම් අව්‍යාජ ගැටලුවක් මතුවන්නේ නම් එය සාධාරණව, වගකීම්සහගතව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය මගින් ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටි ඔස්සේ ආමන්ත්‍රණය කරන ලෙසත් රාජ්‍යයේ සියලු අංශවලින්, අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සහ මාධ්‍යයෙන් නීතිඥ සංගමය ඉල්ලා සිටී.

