brand logo
logo
SLS සහතිකය නැති PVC බට 1140ක් පාරිභෝගික අධිකාරිය භාරයට

SLS සහතිකය නැති PVC බට 1140ක් පාරිභෝගික අධිකාරිය භාරයට

18 October 2026 | ගයාත්‍රි ගීගනආරච්චි


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීමකදී එම බට සහ සන්ධි උපාංග 1140ක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබේ.


පසුගිය 13 හා 14 යන දෙදින පුරා දිස්ත්‍රික්ක 20ක් ආවරණය වන පරිදි මෙම විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.


මෙහිදී පරීක්ෂාවට ලක්වූ වෙළෙඳ ආයතන 87න් ආයතන 65ක අදාළ භාණ්ඩ මිලදී ගැනීමේ බිල්පත් නොමැති බව අනාවරණය වී තිබේ.


2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති 2008 සැප්තැම්බර් 08 දිනැති අංක 1566/1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 25 මඟින් අදාළ PVC ජලනළ බට සහ සන්ධි උපාංග සඳහා ප්‍රමිති සහතිකකරණ අවශ්‍යතා නියම කර ඇත.


මෙම භාණ්ඩ සම්බන්ධයෙන් අදාළ නීතිමය අවශ්‍යතා උල්ලංගනය වී ඇති ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශන කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.


ඒ අනුව, අදාළ භාණ්ඩ සැපයූ ආයතන හඳුනාගෙන නිෂ්පාදකයන්, ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට අවධානය යොමු කර ඇත. 

 

More News..