කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට
15 April 2026
කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට
15 April 2026
ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු නමැති සැකකරු ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන ඔහු දිවයිනට රැගෙන ඒමට අද (15) රාත්‍රියේදී හෝ හෙට (16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඉන්දියාවට යෑමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පසුගිය කාලය මුළුල්ලේ ක්‍රියාත්මක වූ ඝාතන රැල්ල සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ සෝබන හන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දාට හා ඔහුගේ සහෝදරයා වන සෝබන හන්දි සනත් ද සිල්වා හෙවත් රාජු නැමැත්තාටය.
කුලී ඝාතකයන් ලෙස සිය පාතාල ගමන ඇරඹූ ඔවුන්ගෙන් ප්‍රධානියා කරන්දෙණියේ සුද්දා වූවත් ඔහු ලබාගන්නා ඝාතන කොන්ත්‍රාත්තු සියල්ල මෙහෙයවා ඇත්තේ රාජු නැමැත්තා විසිනි.
ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර පසුව යුද හමුදා විශේෂ බලකායට එක්ව අනතුරුව සේවය අතහැර අපරාධ ක්‍රියා සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරයි.
හිත හොඳ දොස්තර ඝාතනය, පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය ඇතුළු ඝාතන සහ අපරාධ ක්‍රියා 15කට අධික සංඛ්‍යාවකට රාජු නැමැත්තා පොලිසියට අවශ්‍යව සිටින අයෙකි.
ඒ අනුව පොලීසිය ඔහුට විරුද්ධව රතු වරෙන්තුවක් ලබාගෙන, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ඔහු මීට වසර කිහිපයකට පෙර ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍රයක් භාවිත කර සිය සහෝදරයාද සමගින් ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවය.
එවන් පසුබිමක ඔහු මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ ඇති බවටත් එහි සිට යුරෝපා රටකට වීසා ලබාගෙන පලායෑමට සූදානමින් සිටින බවටත් මෙරට ආරක්ෂක අංශ වෙත රහසිගත තොරතුරක් ලැබී තිබේ.
ඒ පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමෙන් පසුව රාජු නමැත්තා ඉකුත් සඳුදා දිනයේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ මෙරටට නිලවශයෙන් තහවුරු කර ඇත.
මේ අතර කරන්දෙණියේ සුද්දාගේ ගිනිඅවි ප්‍රවාහනය කළ නුවන් ධනුෂ්ක නැමැත්තෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ද සමගින්ය.
දකුණු පළාතේ පසුගිය කාලයේ සිදු වූ ඝාතන රැසක් සඳහා මොහු විසින් ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවත්, ඒ එක් අවස්ථාවක් සඳහා සැකකරුට රුපියල් 25,000ක මුදලක් ගෙවා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.
26 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

