ජීවිතාන්තය දක්වා ඉන්න බැහැ කියා සිරකරුවෝ පිරිසක් ගෙදර යන්න හදලා
24 August 2026 | කමල් සුරවීර - මහනුවර
ජීවිතාන්තය දක්වා ඉන්න බැහැ කියා සිරකරුවෝ පිරිසක් ගෙදර යන්න හදලා
24 August 2026 | කමල් සුරවීර - මහනුවර
මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ කුටියක රඳවා සිටි මරණ දඬුවම නියමවූ සිරකරුවන් සිව්දෙනකු සහ දීර්ඝකාලීන සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනකු ඔවුන් රඳවා සිටි සිරකුටිවල වැසිකිළිය ආසන්නයේ තිබූ සිරකුටියේ යකඩ කූරූ කපා පලා යාමට තැත් කිරීමේදී එම බන්ධනාගාරයේ අධිකාරී වරයා ඇතුළු නිලධාරින් කීපදෙනකු එක්ව එය වළක්වා තිබේ.
මෙම සිරකරුවන් සූක්ෂ්මව සිරකුටිවල යකඩ කූරූ සියුම් කියත් තලයකින් කපා පලායාමේ තැත පිළිබඳව වෙනත් සිරකරුවන් කීපදෙනකු හරහා ලැබුණු තොරතුරක් මත වළක්වා ගන්නට හැකිව තිබේ.
සිරමැදිරියේ යකඩ කූරු කැපීමට යොදාගත් කුඩා කියත් තල ඇතුළු උපකරණ කීපයක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන ඇත.
සිද්ධියට මූලික වූ මරණ දඬුවම නියම වී සිටි සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයටත් අනෙක් සිරකරුවන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටත් මාරු කිරීමට පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ පාලනාධිකාරිය පියවර ගනු ලැබීය,
මෙම සිරකරුවන්ට සිරමැදිරියේ යකඩ කූරු කැපීම සඳහා කුඩා කියත් තල ලැබුණු ආකාරය පිළිබඳව බන්ධනාගාර අධිකාරී ඩබ්.ඩබ්.එල්. වර්ණකුලසූරියගේ මෙහෙයවීම මත විශේෂ පරීක්ෂණයක්ද පැවැත්වෙයි.
සිද්ධියෙන් පසුව බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයා කටයුතු කර තිබේ. මෙම සිරකරුවන් පලායාමට තැත්කිරීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරින් කීපදෙනකුගේ සහ වෙනත් සිරකරුවන් කීපදෙනකුගේ සහාය ලැබී ඇද්දැයි මේ වන විට සොයා බලමින් සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

