චීනයේ විද්‍යුත් මගී ගුවන් යානය මිනිසුන් සහිත පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කරයි
14 November 2026
චීනයේ විද්‍යුත් මගී ගුවන් යානය මිනිසුන් සහිත පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කරයි
14 November 2026
චීනයේ නිෂ්පාදිත නව විද්‍යුත් මගී ගුවන් යානයක් මිනිසුන් සහිත සිය මංගල පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කර තිබේ.
ටොන් 10ක බරකින් යුත් මෙම ගුවන් යානය අද (14) චීනයේ නැගෙනහිර ෂැන්ඩොං (Shandong) පළාතේ බින්ෂෝ (Binzhou) නගරය ආශ්රිත අහසේ පියාසර කර ඇති බව වාර්තා වේ.
ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ පියාසැරි පරීක්ෂණ ඉංජිනේරුවරයෙකු විසින් යානය මෙහෙයවා තිබේ.
පැයකට මඳක් අඩු කාලයක් පැවති මෙම පරීක්ෂණ මෙහෙයුමේදී යානය විනාඩි 16යි තත්පර 38ක කාලයක් ගුවනේ රැඳී සිට ඇති අතර, එහිදී කිලෝමීටර් 60.4ක දුරක් ආවරණය කර තිබේ.
යානයේ සියලු කාර්යසාධන දර්ශක අපේක්ෂිත මට්ටම් සපුරාලමින් පියාසැරිය ඉතා සුමටව සිදු වූ බව එය සංවර්ධනය කළ කණ්ඩායම ප්‍රකාශ කර ඇත.
මින් පෙර පෙබරවාරි 2 වැනිදා මෙම යානය යොදාගෙන මිනිසුන් රහිත බුද්ධිමත් පරීක්ෂණ පියාසැරියක් ද සිදුකර තිබේ.
චීනයේ වාණිජ ගුවන් යානා සංස්ථාව (COMAC) විසින් සංවර්ධනය කරන ලද CE-25A යානය එම සමාගමේ පළමු විද්‍යුත් වාණිජ ගුවන් යානයයි. නගර අතර කෙටි දුර ගමන් සඳහා නිර්මාණය කර ඇති එයට මගීන් 19 දෙනෙකු දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී.
යානයට පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයකින් පියාසර කළ හැකි අතර, මීටර් 2,400ක උන්නතාංශයක සිට කිලෝමීටර් 400ක දුරක් ආවරණය කළ හැකි බව ද සඳහන් වේ.
යානයේ නාමයෙහි ඇති “C” අකුරෙන් චීනය සහ COMAC යන දෙකම නියෝජනය වන අතර, “E” අකුරෙන් විද්‍යුත් ප්රචාලන පද්ධතිය සංකේතවත් කෙරේ. “25” යන අංකයෙන් ඇමරිකානු ගුවන් සේවා සහතිකකරණයේ Part 25 ප්‍රමිතීන්ට අනුකූල වීමත්, “A” අකුරෙන් එම ශ්‍රේණියේ පළමු යානය වීමත් අදහස් කෙරේ.
COMAC ආයතනය, ලොව ප්‍රමුඛතම බැටරි නිෂ්පාදකයෙකු වන CATL, ෂැංහයි ජියාඕ ටොං විශ්වවිද්‍යාලය (Shanghai Jiao Tong University) සහ තවත් හවුල්කරුවන් කිහිපදෙනෙකුගේ ඒකාබද්ධ ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම යානය නිර්මාණය කර තිබේ.
මේ වනවිට මිනිසුන් රහිත පරීක්ෂණ පියාසැරි 19ක් සාර්ථකව නිම කර ඇති අතර, යානය සඳහා වර්ග සහතිකයක් (Type Certificate) ලබාගැනීමට ඉදිරිපත් කළ අයදුම්පත ද බලධාරීන් විසින් පිළිගෙන ඇත. එය වාණිජ ගුවන් සේවයට එක් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම සාර්ථක පරීක්ෂණ පියාසැරිය විද්‍යුත් ගුවන් සේවා ක්ෂේත්රය දියුණු කිරීම සඳහා චීනය ගෙන යන වැඩපිළිවෙළේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.


