brand logo
logo
චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

04 October 2026 | සංජය නල්ලපෙරුම


චීනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ශියැංෂාන් සමුළුවට ඔබ ගිය සතියේ සහභාගී වුණා මොකක්ද මේ සමුළුව?


චීනයේ ජාත්‍යන්තර මුල පිරීම් හතරක් තිබෙනවා. එකක් තමයි ග්ලෝබල් ඩිවලොප්මන්ට් ඉනීෂියේටිව් කියන එක. අනෙක තමයි ග්ලෝබල් ගවර්නස් ඉනීෂියේටිව් කියන එක. ග්ලෝබල් සිකියුරිටි ඉනීෂියේටිව් සහ ග්ලෝබල් සිවිලයිෂේශන් ඉනීෂියේටිව් කියන එක. සංවර්ධනට මුලපිරීම තමයි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ක්‍රියාත්මක වෙන ශියැංෂාන් කියන එක කාලයක් තිස්සේ සිට ක්‍රියාත්මක වෙනවා. මුල් කාලයේදී ආරක්ෂක තත්ත්වයන් එක්ක කටයුතු කළා. මුලදී චීනයට හිතවත් රටවල් විස්සක් විතර තමයි හිටියේ. ඒත් මෙවර රටවල් එකසිය දහයක් විතර මේක නියෝජනය කළා.


ඔබ ඒකේ මොකටද සම්බන්ධ වුණේ?


මම සම්බ්න්ධ වුණේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් වන කොටසට. හිටපු නාවික හමුදාපතිවරයෙක් වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන අද්මිරාල් ජයනාත් කොළඹගේ ඉන්දීය සාගරයේ පවතින ආරක්ෂාව ගැන සංවාදයට දායකත්වය දුන්නා.


මොනවාද මේවායේ කතා කළේ?


සමහර ඒවා එළියට හෙළිදරව් කරන්න බැරි ක්ලෝස් ඩෝ සෙෂන් විදියටත් තිබුණා. නමුත් විවෘත සංවාදත් පැවැත්වුණා. ලෝකයේ බොහෝ රටවලින් නියෝජිතයන් ඇවිත් ඔවුන් ප්‍රශ්න දකින හැටි ගැන කතා කළා.


රජයේ ඉහළ පෙළේ නියොජිතයනුත් මේකට සම්බන්ධ වුණාද?


කලින් නම් ආරක්ෂක ලේකම්වරුන් එකතු වෙලා තිබෙනවා. නමුත් මෙවර එවැනි ඉහළ ගණයේ නියෝජනයක් සිදුවුණේ නෑ. ඒත් යුද හමුදාපතිවරයා සහභාගී වෙලා හිටියා.


ලංකාවේ වෙන දේශපාලනඥයන් සම්බන්ධ වුණාද?


වෙන දේශපාලනඥයන් සම්බන්ධ වුණේ නෑ. මම සහභාගී වුණෙත් බලශක්ති විශේෂඥයෙක් විදියට.


ඒ කියන්නේ චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?


එහෙම කියන්න බෑ. බලශක්ති හා පාරිසරික කරුණු පිළිබඳ කලාපීය වශයෙන් මා විශේෂඥභාවයක් දක්වනවා කියලා කලාපයේ අය දන්නවා. මම මේ වගේ අන්තර්ජාතික වේදිකාවල අදහස් දක්වා තිබෙනවා. මම ගිය අවුරුද්දේ ඉන්දියාවේ පශ්චාත් උපාධි ආයතනයක හමුවකට ගිහින් දේශගුණික විපර්යාස ගැන කතා කළා. ඒ විදියට දන්නා අය කතා කළාම යනවා. දැන් බහුද්‍රැව ලෝකයක් නිර්මාණය වෙමින් තිබෙනවා. බටහිර රටවල් පසු බසිමින් තිබෙනවා. එක්සත් ජනපදය බිඳ වැටිලා නැතත් පහළ යමින් තිබෙනවා. ආසියාව නැග එමින් තිබෙනවා. ආසියාවේ ලොකුම රට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුහුණ දිය හැකි රට ලෙස චීනය පත්වෙමින් තිබෙනවා.


බහුද්‍රැව ලෝකයේ ආරක්ෂාව හා සමාන වැදගත්කමක් බලශක්තියට ලැබෙනවාද?


අනිවාර් යෙන්ම. දේශපාලන බලයත්, භෞතික බලයත් එකට යන හැටි ගැන මම බලය හා බලය කෘතියෙන් පැහැදිලි කරලා තිබෙනවා. 2008 දී මූල්‍ය අර්බුදය පසුව බලශක්ති අර්බුදයක් බවට පත්වුණා. ඒක ලෝක ආර්ථික අර්බුදයක් බවට පත්වුණා. අද යුද්ධයත්, බලශක්ති අර්බුදයත් ලෝකයේ බරපතළ මූල්‍ය අර්බුදයක් හදලා තිබෙනවා. කොටස් වෙළෙඳපොළවල, බැඳුම්කරවල අර්බුද ඇතිවෙමින් තිබෙනවා. ඇමරිකාවේ මිඩිටර්ම් මැතිවරණය වන තෙක් විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඉන් පසුව හෝ ස්ථිර විසඳුමක් අවශ්‍ය වෙනවා. නැතිනම් ලෝකයට ඉදිරියට යාමට නොහැකියි.


ලෝකයේ මූල්‍ය අර්බුදයක් ගැන කතා කරන විට ඇමරිකාව වසර තුනකට පසුව තමන්ගේ පොලී අනුපාත ඉහළ දැමුවා. ලෝකයේ බලශක්ති තිබෙන තැන්වල ඇතිවෙලා තිබෙන යුද ගැටුම්ද මේ අර්බුදයට මුල් වෙලා තිබෙන්නේ?


එක හේතුවක් තමයි ඒක. ඒ නිසා උද්ධමනය ඇතිවෙලා තිබෙනවා. මුදල් තිබුණත් ඉන්ධන නොමැතිවී තිබෙනවා. එයින් ඇතිවූ උද්ධමනය පාලනය කිරීමට පොලී අනුපාත වැඩි කරනවා. ලංකාවේත් පොලී අනුපාත වැඩි කිරීම ගැන සාකච්ඡා ඇතිවෙවි. පොලී අනුපාතය ඉහළ යන විට ව්‍යාපාරිකයන් ණය ගන්නේ නෑ. ව්‍යාපාර ඉදිරියට යන්නේ නෑ. අනෙක් පැත්තෙන් බඩු මිල ඉහළ යන විට දේශපාලන අසහනය වැඩි වෙනවා.


තවදුරටත් තෙල්, ගල්අඟුරු සංචිත තිබෙන රටවල් කරන දේවල් බලන විට අපිට අලුත් විකල්පයකට යාමට වෙනවා. ඒකට හොඳ ආදර්ශයක් චීනය දී තිබෙනවා. චීනයේ ප්‍රාථමික බලශක්තිය විද්‍යුතය බවට පත් කරගන්නවා. අපේ රටේ ප්‍රාථමික බලශක්තියෙන් සියයට දහ තුනක් තමයි විදුලිය. චීනයේ මේක සියයට හතළිහක් වෙනවා. ඒකට හේතුව ඔවුන් බරපතළ ලෙස සුර්ය බලය, සුළං බලය වගේ පුනර්ජනනීය බලශක්තිය විශාල ලෙස යොදා ගන්නවා. ගොවි ජනතාවගේ ආදායම් ඉහළ දමා ගැනීමට, දුප්පත්කම නැති කිරීමට එක පැත්තකින් මේක යොදාගෙන තිබෙනවා. අනෙක් පැත්තට දත්ත මධ්‍යස්ථාන සඳහා ඒවා යොදා ගන්නවා. ඒත් ලංකාව කරන්නේ ඒකේ අනික් පැත්ත. පුනර්ජනනීය බලශක්තිය කප්පාදු කරන එකම රට බවට ලංකාව පත්ව තිබෙනවා. සූර්ය බලශක්තිය නිසා මේ අවුරුද්දේ පළමුවෙනි මාස හතේ විතරක් බිලියන අනූ අටක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒකත් නැති කරන්න තමයි අලුත් ප්‍රතිපත්තියෙන් කරන්න හදන්නේ. අපි පුළුවන් තරම් සූර්ය බලය, සුළං බලය ගන්න ස්මාර්ට් ග්‍රිඩ් එකක් දෙන්න ඕන.


ඔබ ලෝක දේශපාලනය, බලය පිළිබඳ විග්‍රහ කරමින් ‘එකට ගැටුම’ නමින් පොතක් එළිදැක්වූවා. ඒ ගැන සංවාදයකුත් මේ සතියේදී පැවැත්වුණා. ඔබ පොතෙන් සඳහන් කරලා තිබෙන නොනගත ඇමරිකාවේ ජනාධිපතිවරයාත්, අනාගත ආසියාවේ, චීනයේ ජනාධිපතිවරයාත් ගිය සතියේදී ධවල මන්දිරයේදී හමුවුණා. මේක ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?


මම එකට ගැටුම කෘතියේ මුල් පරිච්ඡේදය වෙන් කරලා තිබෙන්නේ. හෝමුස්, සූවස් ඇළ, බබ්බල් මැන්ඩේඩ් වගේ චෝක් පොයින්ට්වල තිබෙන අනතුරුදායක බව පැහැදිලි කරන්න. මේ වගේ චෝක් පොයින්ට් දා හතක් මම පැහැදිලි කරලා තිබෙනවා. මේ චෝක් පොයින්ට් තුනක් අද උණුසුම් වෙලා තිබෙනවා.


දැන් තිබෙන බල ප්‍රබලයා ඇමරිකාව. නැගී එන බලවතා චීනය. මේ දෙක අතරේ තිබෙන තරගකාරීත්වය, ගැටුම තමයි එකට ගැටුම වෙන්නේ. ඒ ගැන හොඳ විස්තරයක් ග්‍රැහැම් එළිසබෙත් කියන මාධ්‍යවේදියා ලියලා තිබෙනවා. ඔහු තුසුඩීස් උගුල කියලා එකක් හඳුන්වා දුන්නා. ලෝක ඉතිහාසයේ අවස්ථා දහසයකදී දෙවැනියා පළමුවැනියා ඉස්සර කළ අවස්ථා ඔහු හදාරා තිබුණා. එයින් දොළහක්ම කෙළවරවී තිබුණේ යුද්ධයෙන්. ඇමරිකාව හා චීනය අතර යුද්ධයක් ඇතිවේවිද කියලා ඔහු අවධානය යොමු කරලා තිබුණා. චීනය හා ඇමරිකාව අතර තිබෙන මේ තත්ත්වය කලාපයේ යුද්ධවලට බලපානවා. රුසියාවට එරෙහිව යුක්‍රේනයේ යුද්ධ කරන්නේ යුරෝපයයි. මේ වෙලාවේදී රුසියාවේ බලශක්තිය චීනය මිලදී ගත්තේ නැතිනම් මේ වන විට රුසියාව පරාදවෙලා ඉවරයි. ඒ වගේම ඉරානය. රුසියාව හා චීනය නොතිබුණා නම් ඉරානය මෙලහකට වැටිලා ඉවරයි.


එතකොට ඉන්දියන් සාගර කලාපය අවට ආරක්ෂකමය සම්බන්ධතාත් මෙයට සම්බන්ධ වෙනවා නේද?


ඉන්දියන් සාගර කලාපයේ එකිනෙකට පටහැනි ආරක්ෂක සම්බන්ධතා කිහිපයක් වැඩ කරනවා. චීනයට විරුද්ධව, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව හා එක්සත් ජනපදය එක්ව ක්වොඩ් එක හදාගෙන තිබෙනවා. ඕකස් කියලා එකක් තිබෙනවා. ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානියත් මේකේ ඉන්නවා. ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ග්‍රීසිය, මොරොක්කෝව සහ සෝමාලිලන්තය එක්ව හදාගත් හෙක්සගෝන් කියලා සන්ධානගතව ඉන්නවා. ඒකට විරුද්ධව මෙකා ගිවිසුම පාකිස්තානය, සෞදි අරාබිය හා තුර්කිය එක්ව ඇති කරගෙන තිබෙනවා. මේකට ඊජිප්තුව එක්වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. බංග්ලාදේශය, මැලේසියාව, මාලදිවයිනත් මේකට එකතුවීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව මෙකා එක සහ හෙක්සගෝන් එක අතර ගැටුම් ඇතිවෙන්න පුළුවන්. මෙතැනදී මොන විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාද කියන එක වැදගත්. අපි බොහෝ නිෂ්ක්‍රිය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.


මේ අය අතරින් ලංකාව බැලිය යුත්තේ කවුරුන් දිහාද? හෙක්සගෝන් එක දෙසද?


හෙක්සගෝන එක දෙස අපි බැලිය යුතු නෑ. අපි බලන්න ඕන ආසියාන් සංවිධානය දිහා. අපි දැන් නිෂ්ක්‍රිය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, එක් රටක බලපෑමට හසුවෙමින් යන බව තමයි පේන්න තිබෙන්නේ.


ආසියාවට ලංකාව විවෘත කරනවා නම් ඒකට හොඳම තැන තමයි තිරිකුණාමලය වරාය?


තිරිකුණාමලය වරාය අසූ හතේ ඉඳලා ඉන්දියාවට දුන්නත් කිසිම දෙයක් කරලා නෑ. තිරිකුණාමලය වරාය පිළිබඳ ප්‍රශ්නය ජේ.ආර්. ජයවර්ධනගේ පාලනයට තදින් බලපෑවා. ඔහුගේ ආර්ථික ක්‍රමය හැත්තෑ අටේ ඉඳලා අනූ අට වෙනකම් හරියට අරගෙන ගියානම් අපි අනිවාර් යෙන්ම දියුණු රටක් වෙනවා. ඒක වැළැක්වුණේ ඉන්දීය මැදිහත්වීම සහ බෙදුම්වාදී ක්‍රියාවලියයි, ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලයි නිසා. තිරිකුණාමලය වරාය ඇමරිකාවට දෙන්න යනවාය කියලා ඒ කාලේ ගියපු කතා බොරුවක්ම නෙමෙයි. දැන් මේක ඉන්දියාවට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දෙන්න යනවා. මේ දෙස මෙකා ගිවිසුමේ අය බලාගෙන ඉන්නවා. ඒ අනුව බල අරගලකරුවන්ගේ පාර්ශ්වකරුවන් බවට රට පත් කරලා තිබෙනවා. මේ වෙලාවේ ජාම බේරගන්න දේවල් කළාට වන්දිය ගෙවීමට වන්නේ වෙනත් අයට. ඉන්දීය මැදිහත්වීමත්, බෙදුම්වාදී අරගලයත්, ජවිපෙ කැරැල්ලත් නොවන්නට අනිවාර් යෙන්ම දෙදහසින් පසුව ඩොලර් දොළොස්දහසක ඒක පුද්ගල ආදායමක් ලබන රටක් බවට පත්වීමට හැකියාව තිබුණා.


ඉන්දියාවට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ත්‍රිකුණාමලයේ කටයුතු භාරදී අපිට ආසියාව දෙසට විවෘත වන්න පුළුවන්ද?


අපිට වැඩපිළිවෙළක් නැහැනේ. කිසිම උපායමාර්ගයක් නොමැතිව තමයි වැඩ කරන්නේ. ඩුබායි ආයෝජනයක් එනවා නම් ඒක තරගකාරීව කළ යුතුව තිබුණා. දැන් දේශපාලන අල්ලසක් විදියට ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට කරන දේවල්නේ. ඒක හොඳ ප්‍රතිඵල අපිට අත්කර දෙන්නේ නෑ.


ගෝලීය දකුණ ගැනත් දැන් සාකච්ඡාවට ලක්වෙනවා. ගෝලීය දකුණ කොතරම් වැදගත් සාධකයක්ද?


ගෝලීය දකුණ හැටියට ක්‍රියාත්මක වෙන්නේ බ්‍රික්ස් සංවිධානය. ඒකට නායකත්වය දෙන්න පුළුවන් රටක් තමයි ඉන්දියාව. ඒත් ඔවුන් ඒක කරන්නේ නෑ. ඔවුන් බටහිර රටවල් එක්ක තමයි වැඩි ඇගෑලුමක් තිබෙන්නේ. ගෝලීය දකුණේ රටවල සන්ධානය වූ බ්‍රික්ස් සංවිධානයත් එක්ක එකතුවෙලා, බණ්ඩාරනායක මැතිනිය කළා වගේ තීරණාත්මක වගකීමක් අපි ඉටු කළ යුතු වෙනවා.


බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයෝ ඉන්දියාවේදී දෙතුන් සතියකට ඉහතදී හමුවුණා. ඒකට ලංකාව ගියේ නැද්ද? නැතිනම් ලංකාවට ආරාධනාවක් තිබුණේ නැද්ද?


ලංකාව 2009 ඉඳලා බ්‍රික්ස් එකේ නිරීක්ෂක රටක් විදියට ඉන්නවා. අපි ඇමරිකාවට බයේ ඒවාට නොගිහින් ඉන්නවා. ඒවා මග හරිනවා. ඒක කිසිසේත්ම නොකළ යුතු දෙයක්. බ්‍රික්ස් එකේ නිව් ඉන්ටර්නැෂනල් බෑන්ක් කියලා එකක් තිබෙනවා. ඒකේ වෙනම ගෙවීම් වැඩපිළිවෙළක් ති‍යෙනවා. මේකට එකතු වුණොත් ඉන්ධන සහ අනෙකුත් දේ අඩු මිලට ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ඇමරිකාවට බයේ බ්‍රික්ස් එකට සම්බන්ධ වුණේ නෑ කියලා ඇමරිකාව අපිට විශේෂ සහන දී නැහැ. අනෙක් අයට බෙදන හැන්දෙන් තමයි බෙදලා තිබෙන්නේ. අපිත් එක්ක තරගයක් තිබෙන වියට්නාමයට, බංග්ලාදේශයට අපිට වඩා වැඩි සහන දී තිබෙනවා.


බ්‍රික්ස් සමුළුවට ගියේ නැති වුණාට රජයේ නියෝජිතයෝ නේටෝ සංවිධානයේ හමුවීම්වලට කැනඩාවට පවා යනවා?


මේ රජය තරම් තමන්ගේ ප්‍රතිපත්ති පාවා දුන් වෙන කවුරුවත් නෑ. ඡන්දදායකයාට පලස්තීනය, ලිබියාව, ඉරාකය වගේ රටවල් එක්ක ගෙන ගිය ගනුදෙනු, වෙනතකට හරවලා තිබෙනවා. මේ කලාපයේ ඇමරිකානු උපාය මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියානු උපායමාර්ගය අනුවයි. ඒත් අපිට උපායමාර්ගයක් නෑ. ඒ රටවල් කියන විදියට දැන් අපේ රටේ අය කටයුතු කරගෙන යනවා. එයින් අපට ලැබෙන වාසියක් නෑ.


ඔබ ලියූ එකට ගැටුම පොතෙත් යුරෝපය ගැන අවධානය යොමු කර තිබෙනවා. දැන් යුරෝපයේ වෙන්නේ මොකක්ද?


යුරෝපය බිඳ වැටිලා තිබෙන්නේ. යුරෝපයේ දැන් ජාතිකවාදීන් ජයග්‍රහණය කරනවා. ප්‍රංශ මැතිවරණය තවත් මාස කිහිපයකින් පැවැත්වෙනවා. යුරෝපයේ මැද මාවත ඉවරයි. අන්ත දක්ෂිණාංශිකයෝ සහ අන්ත වාමාංශිකයෝ තමයි දැන් ඉන්නේ. දැන් අන්ත දක්ෂීණාංශිකයෝ බලයට ඇවිත් වාමාංශිකයෝ විපක්ෂය බවට පත්වෙනවා. ඒක ජර්මනියේත්, එංගලන්තයේත් වෙනවා. යුරෝපයට තනි රටක් ලෙස ඉදිරියට යාමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් තිබෙනවා. දේශපාලන වශයෙන් බෙදී වෙන්වී ගොස් අවසන්.


යුරෝපයට මේ තත්ත්වය ඇති වුණේ ඇයි?


එකක් තමයි සංක්‍රමණිකයන් හරහා ලාභ ශ්‍රමය ගැනීමට යාම. අනෙක තමයි රුසියාවෙන් අඩු මුදලට ලැබුණ ඉන්ධනවලට පයින් ගහලා රුසියාවට එරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක කිරීම. තුන්වැනි දේ තමයි එක්සත් ජනපදයේ ආරක්ෂක දැල කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම. ට්‍රම්ප් ඉතාම උපායශීලී විදියට එයින් අයින්වී තිබෙනවා. දැන් යුරෝපයට තමන්ගේ ආරක්ෂක පිරිවැය වැඩි කරගැනීමට සිදුව තිබෙනවා. ඒ වගේම වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට සිදුව තිබෙනවා. ඒ නිසා සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුව මත යුරෝපය ජාතිකවාදී දේශපාලනයකට යමින් තිබෙනවා.


එයින් යුරෝපයේ වාමාංශිකයනුත් අවසන් වේවිද?


නැහැ. යුරෝපයේ අන්ත වමත් ඉහළට එසවෙමින් තිබෙනවා. අන්ත වමත් නගිනවා. අන්ත දකුණත් ඉහළට නගිනවා.


ඉන්දියන් සාගර කලාපය ගැනත් ඔබ එකට ගැටුම කෘතියෙන් සාකච්ඡාවට ලක් කරනවා. ඉන්දියන් සාගර කලාපයේ අනාගතය මොන වගේ වේවිද?


ඉන්දියන් සාගර කලාපයේ දරුණු තරගයක් තිබෙනවා. ඒ තරගයේදී අපේ උපායමාර්ගයක් හදාගත්තේ නැතහොත් හෙක්සගෝන් එකත් මැකා එකත් අතරේ අපි හිරවෙනවා. ඒ වගේම මේ කලාපයේ තවත් අනුතුරුදායක තත්ත්වයක් ඇතිවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ දෙමළ ඊළාම්වාදීන්ගේ ක්‍රියා කලාපය නැවත පටන් අරගනෙ තිබෙනවා. විදේශ රටවල බලපෑමෙන් ලංකාවේ දේශපාලනයේ නව දෙමළ ඊළාම් ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ජිහාඩ්වාදීන්ගේ ක්‍රියාකලාපයන් කල්මුණේ ඇතිවෙමින් තිබෙනවා. මේක භයානක තත්ත්වයක්.


ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂක තත්ත්වය ගැන කතා කරන විට පසුගිය සතිවලදී ඉරාන නැව් ලංකාව ආසන්නයේ රඳවා තබා තිබුණා. මේවා කලාපයේ ආරක්ෂාවට මොන විදියට බලපානවාද?


හෝමූස් සමුද්‍ර සන්ධිය හිර කළා කිව්වාට සැඟවුණ නැව් එනවා. තෙල් බැරල් මිලියන 18ක් පමණ යුද්ධයට කලින් ආවා. දැන් මිලියන 13ක් විතර එනවා. ඒ නිසා තමයි තෙල් මිල යම් ආකාරයකට පාලනය වී තිබෙන්නේ. මේ ආකාරයට සැඟවුණ නැව් නිරන්තරයෙන් එනවා. මේක කාලාන්තරයක් තිස්සේ ලෝකයේ තිබුණ දෙයක්. ලෝකයේ ආර්ථික අර්බුදවලට ඇතැම් අවස්ථාවලදී විසඳුම් වෙන්නේ මේවා. රටවල් වටලෑම් වන විට කළු ආර්ථිකය නගිනවා.


නීති විරෝධී න්‍යෂ්ටික දේ ලංකාවේ මුහුදු සීමාව හරහා හුවමාරු නොවීමට වග බලාගැනීමට ඇමරිකාව ලංකාවේ අය ගිය සතියේදී පුහුණු කළා. මේ යට තිබෙන්න පුළුවන් දේ මොකක්ද?


වියානාවල පරමාණුක බලශක්ති ඒජන්සියේ නියාමනය යටතේ තිබෙනවා නම් මේවා කළාට කමක් නෑ. නැතිනම් එක රටක ක්‍රියාවලියකට අපි නතුවෙනවා. චීනයේ, රුසියාවේ න්‍යෂ්ටික සබ්මැරීන් තිබෙනවා. ඒවා හඳුනා ගැනීමට අපේ බිම භාවිත කරනවා නම් භයානක ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්.


ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ ඉන්දියානු ආරක්ෂක ඇමැතිවරයෙක් ලංකාවට ආවා. මේක කොහොමද ජාත්‍යන්තර දේශපාලනත් එක්ක විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ?


ඉන්දියාව සමග ආරක්ෂක දේවල් කිරීමේදී විවෘත විය යුතුයි. අනුර කුමාර දිසානායක ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් හැංගුවා. ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් අත්සන් කරනවා කියලා ඡන්දයේදී කිව්වේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ ඉන්දියාව යැයි නලින් ජයතිස්ස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ, ලේවලින්, මිනී කඳුවලින් ප්‍රතිපත්ති ගොඩනැගුවේ. වඳුරු හමුදාව කියපු ඉන්දියාවත් එක්ක දැන් අලුත් පිම්මක් පැනලා තිබෙනවා.


ලංකාවට පැමිණි ඉහළම ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියා ලෙස, ඇමරිකාවේ පැසිපික් ආරක්ෂක විධානයේ නියෝජ්‍ය ප්‍රධානියා ලංකාවට ගිය සතියේ ආවා. ඇමරිකානු ආරක්ෂක අංශත් ලංකාව කෙරෙහි වැඩි බරක් තබමින් දැන් කටයුතු කරනවාද?


ලංකාවේ තානාපතිවරයා තරමක් පහළට ගෙනවිත් අපි සියලු දෙනාම සම්බන්ධීකරණය කළ හැකි අයෙක් ඉන්දියාවේ තානාපති ලෙස පත් කරලා තිබෙනවා. ඔහුට මේ කලාපයම භාරයි. ඒක ඇමරිකාවේ පැසිපික් විධානයේ කොටසක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇමරිකාව මේ කලාපයට විශාල අවධානයක් යොමු කරලා තිබෙන බව තමයි එයින් පේන්නේ.

 

More News..