brand logo
logo
අයහපත් කාලගුණයෙන් කළුතර පවුල් 63කට පීඩා

අයහපත් කාලගුණයෙන් කළුතර පවුල් 63කට පීඩා

27 October 2026 | ලක්ඛ්ත විද්‍යසේකර - කළුතර


මහ වැසි හා තද සුළං සහිත අයහපත් කාලගුණික තත්වය හමුවේ නිවෙස් මතට ගස් කඩා වැටීම හේතුකොටගෙන කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 63 කට අයත් සාමාජිකයින් 243 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා පැවසීය.


මේ අනුව දිස්ත්‍රික්කය තුළ නිවාස 03කට පූර්ණ හානි සිදුවී ඇති අතර නිවාස 47 කට අර්ධ හානි සිදුවී තිබේ.


දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 809 ඒ තෙබුවන බටහිර ග්‍රාම නිලධාරි වසමේ තෙබුවන මාබඩවත්තේ වතු නිවාස පෙළක් මතට බෝ ගසක් කඩා වැටීම නිසා නිවාස 05 කට අලාභහානි සිදුවී ඇත.


බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 736 පිනිදියමුල්ල ග්‍රාම නිලධාරි වසමේ පස් කන්දක් කඩා වැටීම නිසා නිවාස තුනකට අලාභහානි සිදුවී තිබේ.


මේ අතර පාලින්දනුවර , බුලත්සිංහල හා දොඩන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය අවදානම් සහිත නිවාසවල වෙසෙන පවුල් රැසක් ඊයේ (26) ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවද කළුතර දිසා ලේකම්වරයා කීය.


කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු ඇරීම නිසා බුලත්සිංහල - මෝල්කාව මාර්ගය, ගල් පෙරැලීම නිසා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තොටහ - වන්නිමුල්ල මාර්ගය , කළුතර - නෑබඩ මාර්ගය ඇතුළු මාර්ග රැසක රථවාහන ධාවනයටද බාධා එල්ලවී තිබුණි.

 

More News..