brand logo
logo
බැංකු ගිණුම් තොරතුරු සයිබර් වංචනිකයන්ට දීම ගැන විමර්ශනයක්

බැංකු ගිණුම් තොරතුරු සයිබර් වංචනිකයන්ට දීම ගැන විමර්ශනයක්

18 April 2026 | ඉෂාර රත්නකාර / එෆ්. අස්ලම්


අන්තර්ජාලය ඔස්සේ අධික පොලී මත ක්ෂණික ණය දෙන ආයතන විසින් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු දත්ත සයිබර් අපරාධකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ණය මුදල් ගෙවීම පැහැර හැර තිබෙන පුද්ගලයන්ගේ දත්ත අදාළ ආයතන විසින් නයිජීරියානු, චීන සයිබර් අපරාධකරුවන් වෙත ලබාදී තිබෙන බවට අනාවරණය වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විමර්ශන ආරම්භ කර තිබේ.


ශ්‍රී ලංකාව තුළ සංචාරක වීසා මත රැඳී සිටින සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැකපිට මෑත කාලයේදී චීන, නයිජීරියානු, වියට්නාම ජාතිකයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබිණි.


එම සැකකරුවන් සමග පොලිස් භාරයට ගෙන තිබූ නවීන පරිගණක, ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික උපකරණවල දත්ත පරීක්ෂා කිරීමේදී, මෙරට පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු දත්ත තිබෙන බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් ‘සති අග අරුණ’ ට පැවසීය.


අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළු දත්ත සයිබර් අපරාධකරුවන් වෙත ලබාදී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ අධික පොලී මත ක්ෂණික ණය ලබාදෙන ආයතන මගින් බව අනාවරණය වී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


 

More News..