අමෙරිකාවේ 'ගෝලීය තීරුබදු' පහළට
24 February 2026
අමෙරිකාවේ 'ගෝලීය තීරුබදු' පහළට
24 February 2026
අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත පනවන ගෝලීය තීරුබදු ප්‍රතිශතය අද (24) සිට සියයට 10ක් දක්වා පහත දමා තිබේ.
එරට තීරුබදු ප්‍රතිශත මෙලෙස වෙනස් වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ හඳුන්වාදුන් ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත නීතිවිරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන්ය.
අමෙරිකානු ජාතියේ නිදහස ලැබීමේ දිනය ලෙස නම් කරමින් ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීයි.
කෙසේ නමුත් එම තීරුබදු හඳුන්වාදීමේදී ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇතැයි පවසමින් අදාළ බදු නීතිවිරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.
තීන්දුව ලබාදී පැය තුනක් ඉක්මයාමටත් මත්තෙන් ජාතිය ඇමතූ ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක ගෝලීය තීරුබද්දක් පනවන බවය.
එම තීරුබද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිවරයා පසුව තීරණය කළේය.
ඒ තීරුබදු සම්බන්ධව ගිවිසුම්වලට පැමිණීම මඟහැරීමට උත්සාහ කරන රටවල් සම්බන්ධව දැඩි තීන්දු ගන්නා බවට ද තර්ජනය කරමින්ය.
කෙසේ නමුත් ප්‍රකාශිත නිල ලේඛනවලට අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ සියයට 10ක තීරුබද්දක් පමණි.
ඒ 1974 වෙළෙඳ පනතේ 122 වැනි වගන්තිය ප්‍රකාරව කොංග්‍රස අනුමැතියකින් තොරව දින 150ක කාලයකට බදු පැනවීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල භාවිත කරමින්ය.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රසය අමතා සිදුකරන වාර්ෂික දේශනය හෙට පැවැත්වෙන අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ නව තීරුබදු සම්බන්ධව ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් පළකරනු ඇතැයි අපේක්ෂිතයි.

