විදේශගත ලාංකිකයන්ට පවත්වන පුහුණුවට මූල්‍ය සාක්ෂරතාව සහ ඉතිරි කිරීම් පිළිබඳව මොඩියුලයක් තිබිය යුතුමයි
03 November 2026 | සංවාදය - සෙව්මිණී වාසල
විදේශගත ලාංකිකයන්ට පවත්වන පුහුණුවට මූල්‍ය සාක්ෂරතාව සහ ඉතිරි කිරීම් පිළිබඳව මොඩියුලයක් තිබිය යුතුමයි
03 November 2026 | සංවාදය - සෙව්මිණී වාසල
මුහුණු පොතේ සටහනක් තබමින් ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වී සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික තරුණයාට පනවා තිබූ මරණ දඬුවම, 2026 ඔක්තෝබර් 13 වැනිදා සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබීය. මෙම සිදුවීමත් සමග විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කතාබහ නැවැත කරළියට පැමිණියේ ය. රැකියා සඳහා විවිධ රටවලට යන ශ්‍රී ලාංකිකයන්ට එම රටවල නීති පිළිබඳව මෙන්ම ආගම, සංස්කෘතිය ආදි කාරණා පිළිබඳව ද නිසි අවබෝධයක් නොමැති වීම විශාල ගැටලුවක් බව කියැවෙයි. මේ ඒ ගැන සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ මහාචාර්ය චාමින්ද අබේසිංහ සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි.
සෞදි අරාබියේදී අපේ රටේ තරුණයකුට මරණ දඬුවම නියම වීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කළා. ඒ තරුණයාට මරණ දඬුවම නියම වුණේ සෞදි අරාබියේ නීතිය සහ ආගම පිළිබඳව අවබෝධයක් නොමැති නිසයි කියලා සමහරු කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයාට පනවා තිබූ මරණ දඬුවම මේ වන විට ඉවත් කරලා තියෙනවා. ඒ ගැන අපිට සතුටුයි. කොහොම වුණත් ඒ තරුණයාට මරණ දඬුවම නියම වුණේ ඒ රටේ නීති පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි කියන කතාව පිළිගන්න බෑ. ආගමික අදහස් පළකිරීම සෞදිය වැනි රටකදී බරපතළ වරදක් හැටියට සලකනවා කියලා ඒ රටේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ සේවකයකුට මරණ දඬුවම නියම කිරීම අතිශයින්ම අසමානුපාතික ප්‍රතික්‍රියාවක් කියන එකයි මගේ අදහස. එවැනි ඉරණමක් අත්වෙන්න සැබෑ හේතුව, නීතිය නොදැන සිටීම පමණක්ම නොවෙයි. සේවායෝජකයා සතු අසීමිත බලයත් එයට හේතුවක්. එරට නීති පද්ධතිය ඉතාමත් දැඩියි වගේම අසමානුපාතිකයි. ඒ නිසා සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයාට මරණ දඬුවම හිමිවීමට බලපෑ සැබෑ හේතුව නීතිය නොදැනීමට වඩා එහි ඇති අසමානුපාතික බව සහ ශ්‍රමිකයන්ගේ පවතින අසරණකමයි කියලා මට හිතෙනවා. කොහොම වුණත් සෞදි අරාබිය වැනි රටක නීති පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් මේ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට මූලික අවබෝධයක් හෝ තිබිය යුතුයි කියලා මම හිතනවා.
මෙතැනදී මට 2013 වර්ෂයේදී මරණ දඬුවමට යටත් වූ රිසානා නෆීක්ගේ ඛේදවාචකයත් මතක් වෙනවා. මේ කාරණා දෙකේම තියෙන්නේ සමාන බල ව්‍යුහයක්. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී නිදහස් වූ තරුණයාගේ සිදුවීම ගත්තොත් සයිබර් අවකාශය තුළ ආගමික හැඟීම්වලට හානි වන පරිදි අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව ඉතා දැඩි ලෙස ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමක් බවයි පෙන්නුම් කරන්නේ. මෙම සිදුවීමේදී ශ්‍රමිකයන්ගේ පවතින අන්ත අසරණභාවය සහ එරට නීති පද්ධතියේ පවතින දැඩි ස්වභාවය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්.
ශ්‍රී ලාංකික තරුණයා මරණ දඬුවමෙන් නිදහස් වුණත් පසුගිය දවසක සෞදි අරාබිය බංග්ලාදේශජාතික යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කළා නේද?
ඔව්. පසුගිය ඔක්තෝබර් 14 මක්කමේ පල්ලියක සිද්ධියක් මුල් කරගෙන බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකුට සෞදියේදී මරණ දඬුවම ක්‍රියාත්මක කළා. ඒ දෙදෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරුම බංග්ලාදේශ රජය ඒ ගැන කිසිවක් දැන සිටියේ නෑ. ඒක තමයි බරපතළම ගැටලුව. මිලියන තුනකට වඩා ශ්‍රමිකයන් ඉන්න බංග්ලාදේශය වැනි විශාල රටකට පවා තමන්ගේ පුරවැසියන් බේරාගැනීම සඳහා නඩු විභාගය ගැන කල්තියා දැනුම් දීමක්වත් දී නැහැ. ඒ රටේදී සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අතිශය අවදානම් සහගත තත්ත්වය මෙවැනි සිදුවීම්වලින් පැහැදිලිව ඔප්පු වෙනවා.
ලාංකික තරුණයාට මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමත් බංග්ලාදේශ ජාතික යුවළ මරණ දඬුවමට යටත් වීමටත් හේතුව මොකක්ද?
ශ්‍රී ලාංකික තරුණයාගේ සිද්ධිය සහ බංග්ලාදේශ වැසියන්ගේ සිද්ධිය අතර ඇති ප්‍රධානම වෙනස මැදිහත් වීමට ලැබුණු කාලයයි. අපේ රටේ තරුණයාගේ නඩුවේදී අපේ රජය සහ නීතිඥ කණ්ඩායම අභියාචනා කාලය තුළදීම ඉතා වේගයෙන් ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම් කරන්න සමත් වුණා. විදේශ රටකදී අපේ ශ්‍රමිකයකුට නීතිමය ප්‍රශ්නයක් මතු වූ ක්ෂණයකින්, එනම් අවසාන තීන්දුව ලැබීමට පෙර මූලික අවධියේදීම රාජ්‍යයක් ලෙස මැදිහත් නොවුණහොත් ලැබෙන ප්‍රතිඵලය අතිශය ඛේදනීය විය හැකියි. බංග්ලාදේශ ජාතිකයන්ට අත් වුණේ එවැනි ඉරණමක්.
විදේශ රටවල රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක්ට ඒ රටවල නීති රීති පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ කියන කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
අපේ රටේ තිබෙන දැඩි ආර්ථික අර්බුදයත් එක්ක බොහෝ දෙනෙක් විදේශගත වෙනවා. ජීවනෝපාය රැකගැනීමේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියටයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රටවලට යන්නේ. ඒ විදිහට විදේශගත වන බොහෝ දෙනෙක් නීති නොදන්නවා හෝ ඒ නීති ගැන තැකීමක් කරන්නේ නැහැ කියලා කියන්න බෑ. සමහර රටවල නීති රීති දැඩි බව දැනගෙනත් අපේ රටේ පිරිස් ඒ රටවලට යනවා. ඒ තරම් ආර්ථික අර්බුදයකට අද ජනතාව පත්වෙලා තියෙනවා. ඒ නිසා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල නීති රීති දන්නේ නැහැ කියලා ඔවුන්ට පමණක් දොස් පැවරීම සම්පූර්ණයෙන්ම අසාධාරණයි. කොහොම වුණත් ගමනාන්ත රටේ අපරාධ නීතිය, සයිබර් නීතිය සහ ආගමික සංවේදීතාව ගැන බොහෝ දෙනෙක්ට ඇති දැනුම ඉතා දුර්වලයි. සංක්‍රමණික සේවකයකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රැඳී තියෙන්නේ සේවායෝජකයා සහ එරට බලධාරීන් මතයි. එවැනි බල ව්‍යුහයක් තුළ සුළු වරදක් පවා බරපතළ ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ නිසා යම් අර්බුදයකදී කාටද කතා කළ යුත්තේ සහ කුමක්ද කළ යුත්තේ යන්න පිළිබඳව විදේශගත වීමට ප්‍රථමයෙන් ලාංකිකයන්ට කියා දිය යුතුයි.
යම් පුද්ගලයෙක් විදේශ රටක රැකියාවකට යන්න සැලසුම් කරලා තියෙනවා කියලා හිතමුකෝ. අදාළ රටට යාමට පෙර ඒ රටේ පවතින නීති රීති පිළිබඳව ඒ පුද්ගලයා දැනුම්වත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ලංකාවේ තියෙනවාද?
වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් ඒ වැඩපිළිවෙළ ප්‍රමාණවත් නැහැ. විදේශ රැකියා සඳහා යන සෑම කෙනෙක්ම ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පුහුණු වැඩසටහන්වලට සහභාගි විය යුතුයි. නමුත් එහි ප්‍රධාන අඩුපාඩු කිහිපයක් තිබෙනවා. ඒ පුහුණුව බොහෝ විට පොදු ස්වභාවයක් ගන්නවා. ඒ නිසා එක් එක් රටවලට සුවිශේෂී වූ නීති සහ ආගමික සංවේදීතාව ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු වෙන්නේ නෑ. සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳ මාර්ගෝපදේශ මේ පුහුණුවල කොටසක් නොවීමත් ගැටලුවක්. අනෙක එක් වරක් දෙන පුහුණුවකින් පසුව සේවකයා සමඟ දිගුකාලීන සන්නිවේදනයක් පවත්වන පද්ධතියක් නැති වීමත් තිබෙනවා. මෙම ගැටලුවලට විසඳුම් දෙමින් විදේශගත වන ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සම්පාදනය විය යුතුයි.
ලාංකිකයන් පිට රට යවන පෞද්ගලික ආයතනවලටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සේවකයන්ගෙන් ගාස්තු අය කරනවා. ඒ නිසා එම ආයතන ශ්‍රමිකයාට අදාළ රටේ නීතිමය සහ සංස්කෘතික තොරතුරු කලින්ම දිය යුතුයි. නමුත් මේ වගකීම පෞද්ගලික ආයතනවලට පමණක් පවරලා රජයට නිහඬ වෙන්න බෑ. මෙහිදී රජයටත් ලොකු කාර්යභාරයක් පැවරෙනවා.
විදේශගත වන ලාංකිකයන් සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය මොකක්ද?
නියාමනය කළ යුතු බඳවා ගැනීමේ නියෝජිතයන්ම කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වී සිටීම ගැන මීට පෙර එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙක් පෙන්වා දී තිබුණා. රිසානාගේ සිද්ධියේදී මතු වූ වයස වෙනස් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා නැවැත නොවීමට නම් රජය විසින් බලපත්‍ර කොන්දේසි ඉතා තදින් බලාත්මක කළ යුතුයි. අර්බුදයක් ඇති වූ පසු කලබල වෙනවාට වඩා එය වළක්වා ගැනීමට ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික පද්ධතියක් කල් තබා සකස් කිරීමයි කළ යුතුව තියෙන්නේ. පළමුව ශ්‍රමිකයන් යන රටවල් සමග විධිමත් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුයි. අත්අඩංගුවට ගත් වහාම තානාපති කාර්යාලයට දැනුම් දීම සහ පැය 48ක් ඇතුළත නීතිඥ සහය දීම එහි අනිවාර්ය කොන්දේසි විය යුතුව තිබෙනවා. කොළඹ ක්‍රියාවලිය වැනි කලාපීය වේදිකා හරහා ගල්ෆ් රටවල් සමග සාමූහිකව සාකච්ඡා කිරීමත් වැදගත්. ඒ වගේම කලාපවල නව රැකියා වෙළෙඳපොළවල් සොයා යාමත් අවශ්‍යයි. මෙම කාරණාවලට මූලිකත්වය දෙනවා වගේම ඩිජිටල් යුගයට ගැළපෙන ලෙස සමාජ මාධ්‍ය හැසිරීම ගැන ශ්‍රමිකයන් අඛණ්ඩව දැනුම්වත් කිරීමත් කළ යුතුයි. එමෙන්ම රට තුළ ද්වේෂ සහගත ප්‍රකාශ සහ ආගමික ගැටුම් අවම කිරීමටද කටයුතු සම්පාදනය කළ යුතු බවට මම යෝජනා කරනවා.
ලාංකිකයෙක්ට විදේශ රටකදී යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක ආණ්ඩුවේ ක්‍රියාකලාපය කෙසේ විය යුතුද?
වැළැක්වීමේ ස්ථරය, ආරක්ෂණ ස්ථරය සහ රාජ්‍යතාන්ත්‍රික ස්ථරය ලෙස ආණ්ඩුවක වගකීම මූලික වශයෙන් ස්ථර තුනක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී නිදහස් වූ තරුණයාගේ සිද්ධියේදී අප ලැබූ සාර්ථක ප්‍රතිඵලයට හේතු වූයේ තෙවන ස්ථරය එනම් රාජ්‍යතාන්ත්‍රික ස්ථරයේ වේගවත් ක්රියාකාරීත්වයයි. ජනාධිපතිවරයා සෘජුවම ඔහුගේ මව්පියන් හමුවුණා. සෞදි රජුට සමාව ඉල්ලා නිල ලිපියක් ඉදිරිපත් කළා. විදේශ කටයුතු ඇමැතිවරයා ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා සැලසුම් කළා. නීතිඥ කණ්ඩායමක් රියාද් බලා පිටත් කර හැරීමටත් සියලු නීතිමය වියදම් රජය දැරීමටත් පියවර ගත්තා. මෙවැනි කාරණාවකදී ආණ්ඩුව සහ විපක්ෂය භේදයකින් තොරව එකම ස්ථාවරයක සිට ක්‍රියා කිරීම අපේ දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන සුබවාදීම ප්‍රවණතාවක්. රිසානාගේ සිද්ධියට සාපේක්ෂව බලද්දී මෙවර රජය ගත් ක්‍රියාමාර්ග ඉතා වේගවත් මෙන්ම ප්‍රායෝගිකයි. සෞදි අරාබියේ ස්වේච්ඡා අධිකරණ ක්‍රියාවලියකට සෘජුව මැදිහත් වීමේ සීමා තිබුණත් ලංකා රජය උපරිම කුසලතාවයෙන් යුතුව කටයුතු කරලා තියෙනවා. විපක්ෂයක් තමන්ටම හැකි ආකාරයෙන් මේ සඳහා මැදිහත් වුණා.
"කොරියාව ආදී රටවල සේවයට යන ශ්‍රී ලාංකිකයන් ඒ රටවලදී විශාල වශයෙන් මුදල් උපයනවා. ඔවුන් ඒ මුදල් වියදම් කරමින් අති සුඛෝපභෝගී විදිහට ජීවත් වෙනවා. නමුත් ලංකාවට ආවාම නැවැත ඔවුන්ගේ ආර්ථිකය බිංදුවටම වැටෙනවා" කියන කතාව කාලාන්තරයක් තිස්සේම අපිට ඇහෙනවා. මොකක්ද මෙහෙම වෙන්න හේතුව?
ඇත්තටම එය අපේ රටේ ශ්‍රමිකයන් මුහුණ දෙන විශාල ඛේදවාචකයක්. මෙයට ප්‍රධාන හේතුව විදේශගත වීමට පෙර ඔවුන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳව කිසිදු අවබෝධයක් නොලැබීමයි. බොහෝ දෙනා විදේශගත වෙන්නේ මෙරට පවතින දැඩි ආර්ථික අවශ්‍යතා නිසයි. ඒත් ඔවුන්ට පැහැදිලි මූල්‍ය සැලසුමක් නෑ. ඒ රටවලදී ඉහළ වැටුපක් ලැබෙන්න පටන් ගත් වහාම බොහෝ දෙනෙක් අධික ලෙස මුදල් පරිභෝජනය කරමින් සුඛෝපභෝගී ජීවිතයකට හුරු වෙනවා. අනෙක ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල අයටත් ඒ පුද්ගලයන් එවන මුදල් ඵලදායී ලෙස ආයෝජනවලට යෙදවීම සම්බන්ධයෙන් අවබෝධයක් නෑ. බොහෝ විට වෙන්නේ එදිනෙදා කටයුතුවලට මුදල් වැය කිරීමක් පමණයි. කොහොම වුණත් අවසානයට අර විදේශගත වන පුද්ගලයා තමන්ගේ කොන්ත්‍රාත් කාලය නිමාකරලා ලංකාවට එනකොට ඔවුන් සතුව කිසිදු ඉතිරිකිරීමක් නෑ. ඉතින් ඔවුන් නැවැත විදේශගත වෙන්න පවා ණය ගන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක්.
මේ ගැටලුවට විසඳුමක් හැටියට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශගත වුණත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පවත්වන පුහුණුවට මූල්‍ය සාක්ෂරතාව සහ ඉතිරි කිරීම් පිළිබඳව මොඩියුලයක් අනිවාර්යෙන්ම ඇතුළත් කළ යුතුමයි. තමන් උපයන මුදල් කළමනාකරණය කරන්නේ සහ ඒවා ඵලදායී ව්‍යාපාරවල ආයෝජනය කරන්නේ කෙසේද යන්න ශ්‍රමිකයාට මෙන්ම පවුල්වලටත් කියා දිය යුතුයි. ඒ වගේම රජයේ මැදිහත් වීමෙන් විදේශ ප්‍රේෂණ ලංකාවට එවන ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ ඉතිරිකිරීම් සහ ආයෝජන ක්‍රම හඳුන්වා දීම කළ යුතුයි. විදේශවල සිට නැවැත ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහනදායී ණය පහසුකම් දෙන ක්‍රමවත් පද්ධතියක් තිබීමත් අත්‍යවශ්‍යයි.

