කැබැල්ලෑවෙකු මරා දැමූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට
19 November 2026
කැබැල්ලෑවෙකු මරා දැමූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට
19 November 2026
මැදිරිගිරිය ප්‍රදේශයේදී කලකට පෙර සිදුවූ කැබැල්ලෑවෙකු මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු මැදිරිගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙලෙස පොලිස් භාරයට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු බාලවයස්කරුවෙකු බව සඳහන්.
සත්ත්වයා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මැදිරිගිරිය පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පාසල් සිසුවෙකු පාසලට රැගෙන ආ ජංගම දුරකථනයක් ගුරුවරයෙකු විසින් පරීක්ෂා කිරීමේදී මෙම වීඩියෝ දර්ශන හමුවී ඇති අතර, ඒ පිළිබඳව අනාවරණය වීමත් සමග බලධාරීන් වහාම ක්‍රියාත්මක වී තිබේ.
අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින්ගේ නිවාස සහ සැකකටයුතු ස්ථාන කිහිපයක් සෝදිසියට ලක්කිරීමෙන් පසු මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇත.
කෙසේ වෙතත් කැබැල්ලෑවා මරා දැමූ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂාව හිමි කරදී ඇති කැබැල්ලෑවා, වඳවීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සත්ත්ව විශේෂයකි.
පරිසර අමාත්‍යාංශය අවධාරණය කරන්නේ වනසතුන් ඝාතනය කිරීම, හිංසනයට ලක්කිරීම සහ නීතිවිරෝධී ලෙස දඩයම් කිරීමට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු පවතින්නේ නම් වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


