අයතුල්ලා අල් කමේනි ඝාතනය කළ හැටි හෙළිවෙයි
06 March 2026
අයතුල්ලා අල් කමේනි ඝාතනය කළ හැටි හෙළිවෙයි
06 March 2026
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් පිවිස එහි දත්ත සොරාගත් ආකාරය ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ.
එමගින් කමේනිගේ එදිනෙදා ගමන්, රථවාහන ගාල් කරන ආකාරයේ සිට ඔහුගේ ආරක්ෂකයින්ගේ වැඩ මුර වැනි සියුම් කරුණු ද සමීපව නිරීක්ෂණය කර ඇති බවත් මෙහිදී අනාවරණ කෙරුණි.
ඒ ඔස්සේ ලබාගත් දත්ත ජාලයක් සකසනු ලැබ ඇත්තේ මොසාඩ් සංවිධානයේ එයිටි ටූ හන්ඩ්‍රඩ් නම් ඒකකය මගිනි.
ප්‍රහාරය එල්ල වූ දිනයේදී කමේනිගේ කාර්යාලය තුළ දුරකථන සන්නිවේදන ක්‍රියාවලියට බාධා කර ඇති අතර, එහි සිටි ඔත්තුකරුවන්ගේ ද සහායෙන් යුතුව සැලසුම තහවුරු කර ඇති බව වාර්තා වෙයි.
මෙවන් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි ඉරානය කිසිසේත් අපේක්ෂා නොකළ දහවල් කාලයක ඇරඹි මෙම ප්‍රහාරයේ පළමු පැය තුළදීම කමේනි ඝාතනය කෙරුණේ සැලසුමේ සූක්ෂ්ම බව මනාව පෙන්වමිනි.
මේ අතර ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ටෙහෙරානයේ ඉරාන පාලන තන්ත්‍ර නායකත්ව සංකීර්ණයේ අලි කමේනිගේ භූගත හමුදා බංකරය විනාශ කළ බව පැවසෙන දර්ශන පෙළක්ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.
මේ අතර ඉරාන නායක කමේනි ඝාතනය කිරීම පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සැලසුම් කළ බවත් එය මාස 6කින් පමණ ක්‍රියාත්මක කිරීමට සිටි බවත් ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස් අනාවරණය කර තිබේ.
නමුත් එම ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට හැකිවූ බව ඔහු පෙන්වාදී ඇත.
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස්,
"කමේනි ඝාතනය කිරීමට අපි තීරණය කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි. ඒ ගැන අපේ හමුදාව සහ මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා කළා. ඒ වගේම අගමැති නෙතෙන්යාහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඉන් පසුව පැවති සාකච්ඡාවලදි මේ ගැන කතා වුණා. ඉරානයේ විරෝධතා ආරම්භ වුණේ ඒ අතර. ඉරානය අපිට කලින් පහර දෙයි කියලා අපිට සැකයක් කොහොමත් තිබුණා. මේ වගේ මෙහෙයුමක් අවශ්‍ය බවට තහවුරු වුණේ ඒකත් එක්ක."
මැදපෙරදිග කලාපය නොසන්සුන් කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කර අදට සතියකි.
වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයකින් ඉරානය පාලනය කළ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ද ඇතුළුව 1,332 දෙදෙනෙක් එරටට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින්, මේ වනවිටත් මියගොස් අවසන් ය.
ඉරාන රතු අඩසඳ සංවිධානයට අනුව යුද්ධයෙන් ඉරානයේ සිවිල් වැසියන්ගේ නිවාස 3090ක් වැනසී ඇති අතර ඊට අමතරව ඔසුසල් හා රතු අඩසඳ මධ්‍යස්ථාන ද ඇතුළුව ස්ථාන 600කට පමණ හානි සිදුව තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළ පරිදි ගෙවුණු පැය 72 අතරතුර එල්ල කළ ඇති ප්‍රහාර ගණන 200කට අධිකය.
මේ අතර ඉරානයේ නව නායකයා පත්කරන්නේ තම අභිමතය පරිදි පමණක් බවත්, කමේනිගේ පුතු එරට අධ්‍යාත්මික නායකයා ලෙස පත්කිරීමට තමන් විරුද්ධ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා ඉරාන හමුදා අංශවලින් ඉල්ලා ඇත්තේ අවි අත්හැර යටත්වන ලෙසය.
මේ අතර ඉරානය ද අසල්වැසි රටවල් වෙත එල්ල කරන ප්‍රහාර තවත් දැඩි කර තිබේ.
ඒ අනුව ඔවුන් පසුගියදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා පළමුවරට ඉරානයේ නිපදවූ කරම්ෂා 4 කෘෘස් මිසයිල යොදාගත් බවට ඉරානය පවසයි.
එම ප්‍රහාරය බවට සැලකෙන වීඩියෝ දර්ශන පෙළක්ද සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණි.
කෙසේ නමුත් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය එල්ල කළ කිසිදු ප්‍රහාරයකින් තම රටට දැඩි හානි සිදුනොවූ බවය.
ඉරානයේ නිපදවූ කරම්ෂා මිසයිල සැලකෙන්නේ එක්වර ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි අති නවීන මිසයිලයක් ලෙසය.
කිලෝ මීටර් 2000ක උපරිම දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක් බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි බව සඳහන් වෙයි.

